සුනිල් ආරි­ය­රත්න ආර­ණ්‍ය­වා­සී මුනි­ව­ර­යෙක් නොවන ශාස්ත්‍ර­ව­න්තයා | දිනමිණ

සුනිල් ආරි­ය­රත්න ආර­ණ්‍ය­වා­සී මුනි­ව­ර­යෙක් නොවන ශාස්ත්‍ර­ව­න්තයා

සුනිල් ආරියරත්න සම්මානිත මහාචාර්යතුමාගේ දවසකට හෝරා කොතෙක් තිබේද කියා කවුරුන් හෝ විමසා තිබේද? මා සිතන ලෙස, මට දැනෙන ලෙස එය හෝරා විසිහතරක් නම් නොවිය යුතුය. මට එසේ කල්පනා වූයේ ඔහු විසින් සංග්‍රහ කරන ලද අලුත්ම සාහිත්‍ය කෘතිය, නූතන ගේය කාව්‍ය සංහිතා ඌන පූරණය මා අත පත්වීමෙන් අනතුරුවය. කෘතිය ඇරැඹුමෙහි දී ම සම්පාදකවරයාගේ සාහිත්‍ය කෘති කිහිපයක් යනුවෙන් ග්‍රන්ථ නාමාවලියක තොරතුරු හමුවේ. ශාස්ත්‍රීය කෘති වර්ගීකරණයෙන් ඇරැඹෙන නාමාවලියෙහි ඇතුළත් අනෙක් ප්‍රභේද වන්නේ, ගාන්ධර්ව අපදාන පොත් පෙළ, නිර්මාණ කෘති, සංස්කරණ, පරිවර්තන කෘතීන්ය. මෙයට අමතරව ඔහු විසින් රචිත වෙනත් කෘති පිළිබඳ තොරතුරු ද දත හැකිය. මෙහි කෙතරම් ග්‍රන්ථ සංඛ්‍යාවක් වේ ද කියා ගණනය කිරීමට මා නොවෙහෙසුණේ එය අතිශය වෙහෙසකර කාර්යයක් ලෙස හැඟෙන බැවිනි. මේ තොරතුරු සියල්ල අදාළ වන්නේ ඔහුගේ සාහිත්‍ය සම්ප්‍රදානයට නිදසුන් සේ සැලකීමටය.

ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන පැරැණි සුභාෂිත කියමන නිෂ්ප්‍රභ කරන සුනිල් ආරියරත්නගේ වෙනත් භූමිකා කිසිවක තොරතුරු මෙහි සඳහන් නොවේ. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු, මහාචාර්යවරයකු ලෙස දශක ගණනාවක් පුරා ශාස්ත්‍ර ඥානය බෙදා දුන් ගුරු භූමිකාව, අන්තර් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනීය නිර්මාණ කුසලතා තරගාවලියේ ( කවිතා ) ජාතික අධ්‍යක්ෂවරයා ලෙස තරගාවලී ද්වයක් සඳහා කළ මෙහෙවර හෝ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යාර්ථීන්ගේ සැඟවුණු නිර්මාණ කුසලතා ලොවට හඳුන්වා දීමේ අධ්‍යාශයෙන් වසර ගණනාවක් පවත්වන ලද නල මුදු සුවඳ පිළිබඳ හෝ තොරතුරු මෙහි නොවේ.

විශ්වවිද්‍යාලය තුළ ශ්‍රාස්ත්‍රවන්තයාගේ සුනිල් ආරියරත්න භූමිකාවට අමතරව සුනිල් ආරියරත්න නම් විචාරකයා, ශ්‍රාස්ත්‍රීය දේශකයා, ගේය පද රචනාවෙහි අපේ කාලයෙහි විශිෂ්ටයා ගේ මෙහෙවර කෙබඳු ද යන්න මේ කුඩා පිටුවෙහි දකින්නට නොමැත. මේ සියලු ක්ෂේත්‍රවලට වඩා ඔහු මෑත කාලයේ සිට වඩාත් ආසක්තව සිටින ඔහුගේ සිනමා නිර්මාණ කාර්යය ගැන තොරතුරු බිඳක් හෝ දැන ගැනීමට පාඨකයකුට හෝ සාමාන්‍ය රසිකයකුට ලැබෙන කිසිදු පිහිටක් නොවේ. මේ සියල්ලට අමතරව, මිත්‍ර සමාගමයෙහි දී අප දැක ඇති, අප ඇසුරු කොට ඇති, නිහඬ එහෙත් සොඳුරු මිනිසා , කවුරුන්ද කියාත් හඳුනාගැනීමට නොලැබේ. දවසකට ඇති හෝරා විසිහතරක් තරම් කෙටි කාලයක් තුළ දශක පහක් තරම් ශ්‍රාස්තීය හා නිර්මාණ ජීවිතයක දී මේ සා විසාල වූ මෙහෙවරක යෙදුණු වෙනත් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හැර අන් කවර සරසවියක මෑත කාලයේ සිටියාදැයි නොදනිමි.

තම ජීවිතයේ හයවන දශකය කෙළවර සිටින සුනිල් ආරියරත්න මහැදුරුතුමා ගේය පද රචනය, සාහිත්‍යය, විචාරය හෝ ශාස්ත්‍රීය පර්යේෂණ කටයුතුවලින් ඈත් වී මෑතක සිට සිනමා නිර්මාණකරණයේ අභිරුචියකින් නිරතව සිටින්නේ යැයි පැවසේ. ඔහුගේ ආසන්න සිනමා කෘතී වන පත්තිනි, හා යශෝධරා ආදායම් වාර්තා පිහිට වූ හා පිහිටුවීමට ආසන්න චිත්‍රපට වී හමාරය. මේ අතරින් ද යශෝධරා ඔහුගේ සිනමාකරණයේ ඉදිරියෙන් සිටින නිර්මාණය බව බොහෝ විචාරක මතය වූවත්, සුනිල් ආරියරත්න නොරුස්නා ඊනියා සිනමා විචාරක පඬිවරුන් විසින් දෙන්නම් බැටේ විචාරයෙන් චිත්‍රපටයේ සාධනීය ලක්ෂණ අමතක කොට වෙන්ට ගම්ලත්ලා වන්නට දරන තැත ද අපි දකිමු. සුනිල්ගේ චිත්‍රපට විචාරයට පමණක් නොව, ඔහුගේ සාහිත්‍ය ක්‍රියාවලිය, සාහිත්‍ය දේශන අරබයා ද වෙන්ට ගම්ලත් විචාරයෙන් ප්‍රශ්න කරනු දකින්නට ලැබිණ.

මෙරට මහාචාර්යවරුන් පර්යේෂණ නොකරන පිරිසෙකැයි ගොස නගන ඇතැම් සරසවි ඇදුරන්, කථිකාචාර්ය, මහාචාර්යවරුන් විසින් ලියන කියන දෑ අපට ද කියවන්නට ලැබෙන බැවින්, ඔවුන්ගේ ශාස්ත්‍රීය පර්යේෂණ ඥානය හෝ කාර්යභාරය පිළිබඳ සිනා නොවන්නේ කෙසේද කියා සිතමින් සිටිමු. මහාචාර්ය සුචරිත ගම්ලත් වැනි ප්‍රාඥයකුගේ විචාර ඥානයට, එහි කැටි වූ සදය උපහාසයට අලගු තබන්නටවත් අසමත් සරසවි ඇදුරන් ශාස්ත්‍රවන්තයන්ට, නිර්මාණකරුවන්ට ගරහමින් තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කරනු බලා සිටිමු. ඔවුනගේ ඇතැම් ශාස්ත්‍රීය යැයි කියැවෙන ලියවිල්ලක් කිය වූ අප කල්පනා කළේ මේ ඇදුරන් විසින් උසස් පෙළ සිංහල විෂය හදාරන දූ දරුවන් මෙන්ම එම විෂය පාසලේ දී උගන්වන ආචාර්යවරුන් ද කෙතරම් අසරණ තත්වයකට පත් කොට ඇති ද කියායි.

පුද්ගලබද්ධ විචාරය හිස දරා ගෙන තමන්ට නොහැකි නිර්මාණකරණයෙහි හෝ විචාරයෙහි හපන් අනෙකුත් නිර්මාණකරුවන්ට, ශාස්ත්‍රවන්තයන්ට ගරහන ඊනියා මහැදුරන් මෙරට පාසල් දරුවන්ගේ සාහිත්‍ය අධ්‍යාපනයට අකුල් හෙළන්නට ගත් උත්සාහයන් කවරේද කියා උසස් පෙළ සිංහල විෂය නිර්දේශයට නියමිත නිර්මාණ තෝරාගැනීමේ දී ප්‍රදර්ශනය වූ බව සිහි වේ. මේ දුෂ්ට පළිගැනීම් ක්‍රියාවලියට එරෙහිව තතු විමසා ඒ පිළිබඳ සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන්නැයි මහාචාර්ය සුනිල් ආරියරත්නට කළ ඉල්ලීම ඔහු විසින් පිළි නොගත්තේ නම් , අපගේ උසස් පෙළ සිංහල විෂය හදාරන සිසු සිසුවියන්ට කොළඹ යුගයේ කවීන් කවුරුන්දැයි දැනුමක් නොලැබෙනු ඇත. විමලරත්න කුමාරගම, ආනන්ද රාජකරුණා, එස්.මහින්ද හිමි, පී.බී.අල්විස් පෙරේරා, හෙළ හවුලේ කුමාරතුංග මුනිදාස, රැ. තෙන්නකෝන් හෝ නවීන කවීන් අතර සිටිනා විමල් දිසානායක, ආරියවංශ රණවීර හෝ නන්දන වීරසිංහ වැන්නන් ගේ පද්‍ය කාව්‍ය මොනවාද කියා හෝ දැනගැනීමට අවස්ථාව නොලැබෙනු ඇත. මෑත ඇතැම් මහැදුරන් තම සිවිල් බලය පාවිච්චි කරමින්, විශ්වවිද්‍යාල විෂය නිර්දේශ පවා කපා හැරිය අන්දම ජයවර්ධනපුර සරසවියේ ලේඛකත්ව හා සංනිවේදන පශ්චාද් උපාධි හා ඩිප්ලෝමා පාඨමාලාවෙන් ගේයකාව්‍ය විධි විෂය ඉවත් කිරීමෙන් මනාව පෙනේ. එහෙත් මෙවන් මුග්ධ ක්‍රියාවන්ගෙන් සැබෑ නිර්මාණකරුවකුගේ ශාස්ත්‍රවන්තයකු ගේ ගමන් මග වළකාලනු නොහෙන බව ඊනියා මහැදුරන්, ඇදුරන් විසින් වටහා ගත යුතු කාලය එළැඹ ඇතැයි සිතමු.

මෙබඳු මොහොතක දී මගේ මතකයට නැගෙන සුභාෂිතයේ හතළිස් හත්වන කවිය මෙසේය.

අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ

අනත වෙහෙස ලදුවත් නො මැ වෙති දුහද

දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ

සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ

මේ නම් සුනිල් ආරියරත්නයන් වැන්නන්ගේ කීර්තිය දරා ගත නොහී ගොස නගන්නවුන්ට කිවියර අලගියවන්න මුකවෙටි තුමා එදා දුන්නා වූ පිළිතුරයි. මහැදුරු සුනිල් ආරියරත්නගේ සාහිත්‍ය කලා, විචාර, නිර්මාණ සම්ප්‍රදානය පිළිබඳ මෙම තීරුව ලිවීම මූලික අරමුණ වූවත්, මෑත කාලයේ එතුමන්ගේ නිහඬ මෙහෙවර විඳ දරා ගත නොහී ඔහුට අභියෝග කරන්නන්ට හෙතෙම නිසි පිළිතුරක් දී ඇත්තේ 2005 දී සංග්‍රහ කළ කෘතියකට ඇතුළත් විය යුතුම නිර්මාණකරුවන් රැසකගේ ගේය කාව්‍ය රචනා පිළිබඳ තොරතුරු සම්පාදනය කොට ඔහුගේ හෘද සාක්ෂියට නැගුණු දොසින් මිදෙනු වස් නූතන ගේය කාව්‍ය සංහිතා ඌන පූරණය ප්‍රකාශයට පත් කිරීමෙනි. නූතන ගේය කාව්‍ය සංහිතාවෙහි 1870 -1970 දක්වා ගේය කාව්‍ය රචනා කළ නිර්මාණකරුවන් හැත්තෑපස්දෙනෙකුගේ තොරතුරු ඇතුළත්ව තිබුණ ද, එය අසම්පූර්ණ නාමාවලියක් බව සම්පාදක සුනිල් ආරියරත්නට වැටහී ගොස් තිබිණ.

එවැන්නකින්, ඉතා අපූරු එක් ගේය කාව්‍ය නිර්මාණයක් වුව කළ රචකයකුට අසාධාරණයක් වන්නේ යැයි ඔහු සිතුවා විය යුතුය. මෙම යුගයටම අයත් තවත් ගේය පද රචකයන් එකසියතිස්පස් දෙනකුගේ ගීත සංකල්පනා හා අදාළ තොරතුරු ඇතුළත් මෙම ඌනපූරණය ගේය කාව්‍ය විෂය කෙරෙහි ඔහු තුළ ඇති ආදරය, භක්තිය මෙන්ම එකී නිර්මාණකරුවන් කෙරෙහි පතළා වූ අවංක ආදරය ද පෙන්වන කැඩපතක් වැන්න. වසර සියයක් තුළ අපගේ ගේය කාව්‍ය රචක පරපුර දෙසිය දහ දෙනෙක් පමණක් ද කියා ප්‍රශ්නයක් නැගෙන්නට ද ඉඩ ඇත. එහෙත් මේ ඌන පූරණය මගින් සුනිල් ආරියරත්න නම් සම්පාදකවරයා විසින් ඔහුගේ ශක්ති ප්‍රමාණයෙන් තොරතුරු හා දත්ත එක් රැස් කොට මෙම එකසියතිස්පස් දෙනාගේ නිර්මාණ තොරතුරු සොයා එක් රැස් කොට පළ කොට ඇති බව පෙනේ. එය විශිෂ්ට මෙහෙවරක් ඉටුකිරීමක් ලෙස අපි දකිමු. ඒ සඳහා ඔහු තුළ වූ ඉවසීම, දහසකුත් එකක් අනෙකුත් නිර්මාණ කාර්යාවලී අතර දවසේ පැය විසි හතරින් පැය කිහිපයක් හෝ වෙන් කොටගෙන ඉටු කරන ලද මේ සද්ක්‍රියාව ඔහුට විරුදුව ගොස නගන්නන්ට කදිම පිළිතුරකි.

පළමු කෘතියට ඇතුළත් නොවූ, එහෙත් ඌන පූරණයට ඇතුළත් වූ ඇතැම් ගේය පද සංකල්පනාවක හිමිකරුවන්ගේ නම් ගම් දුටු කල අපි මවිතයට පත් වෙමු. අපගේ සිත් තදින් පැහැර ගත්තා වූ ගේය කාව්‍ය සංකල්පනාවක අයිතිකරුවා කවුරුන්දැයි නොදැන ළතැවුණු වාර අනන්තය. අනේ ඩිංගක් ඉන්නකෝ ( ඩී.සී.ජයසිංහ - සී.ටී ප්‍රනාන්දු ) මහ රෑ යාමේ මේ ඇල් හේනේ ( මර්වින් සේනාරත්න - දයාරත්න අමරා ) ලස්සනට පිපුණු වනමල් ( සරත් මුණසිංහ - නිහාල් නෙල්සන් ) බුදු සාදු ( අසෝක කොළඹගේ - නන්දා මාලිනී ) මැණිකේ හිනැහෙනවා ( පෙරමුණේ තිලක - විජේරත්න වරකාගොඩ ) සෝක සැනසුම් වේදනාවන් ( මීගොඩ විල්සන් - වික්ටර් රත්නායක ) සිනහව අතරින් කඳුලක් උපන්නා ( සී.ටී.පෙරේරා - මිල්ටන් මල්ලවාරච්චි ) දෙතොලග සිනහා ( වබ්ලිව්.එම්.ටී.බණ්ඩාර - වික්ටර් රත්නායක ) දුක හාදු දෙන රැයේ ( වසන්ත බණ්ඩාර දිසානායක - ගුණදාස කපුගේ ) සොවින් පිරි මගේ හදවත ( ප්‍රේමනාත් ජයතිලක - සනත් නන්දසිරි ) කිරි අම්මාවරු දනට වඩිනවා ( හෙක්ටර් විජයසිරි - චන්ද්‍රලේඛා පෙරේරා ), අඳුර අඳුර මගේ ( රෝහන ප්‍රනාන්දු - ප්‍රියා සූර්යසේන ) ඌන පූරණයට ඇතුළත් වූ ගේය කාව්‍ය රචකයන් එකසිය තිස් පස් දෙනෙකුගේ සංකල්පනා අතර අපට දැන හැඳින ගැනීමට අවශ්‍ය වූ ගීත රාශියක් අතරින් අප සිත ඉල්ල සිටි, අප සිත මේ ගේය කාව්‍ය හිමිකරුවන් පිළිබඳ කුකුසක් තිබූ නිර්මාණාවලියකින් අංශුවක් පමණි අප ඉහත දක්වා ඇත්තේ.

විමල් දිසානායක, සෝමවීර සේනානායක, සරත් අමුණුගම, රෝහණ වීරසිංහ, එඩ්වින් ආරියදාස, ආදීන් ගේය කාව්‍ය රචනා කළ බව අප දන්නේ සුනිල්ගේ ඌන පූරණයට පිහිටවන්නටය. දශක ගණනාවක් තිස්සේ බක් මාසයේදී අපට ඇසෙන, ගුවන් විදුලියට, රූපවාහිනී මාධ්‍යයට කිසිදා අමතක නොවන, ශ්‍රාවක අපගේ ද මතකයෙන් ඈත් නොවී ඇති බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි ( හෙන්රි තෙන්නකෝන් - පියසිරි විජේරත්න - අමිතා වැදිසිංහ ) ගේය පද මාලා ඌන පූරණය මගින් අපගේ සවනට ද දෑසට ද ළං වී ඇත. ගේය කාව්‍ය යන යෙදුම පිළිබඳ 2005 දී ඇති වූ සංවාදයක තොරතුරු සිහිපත් කරන සුනිල් ආරියරත්න මහැදුරුතුමා එම යෙදුමෙහි වරද දකිමින් එහි එල්ලී ඔහුට අවලාද නගමින් පහර දෙන ප්‍රවීණ ගේය කාව්‍ය රචකයකුගේ , ඔහුට තරම් නොවන ගැරහුම් ද අප දකින්නේ ඒ පිළිබඳ ඌන පූරණ ප්‍රස්ථාවනාවෙහි දීර්ඝව සඳහන් කොට ඇති බැවිනි. එහෙත් මේ වන විට ගේය කාව්‍ය යන යෙදුම ජනගත වී අවසන් බවයි අපගේ විශ්වාසය.

සුනිල් ආරියරත්න නම් වූ නිහඬ සොඳුරු මිනිසා, සම්මානිත මහැදුරු ශාස්ත්‍රවන්තයා, ආරණ්‍යවාසයට වී ඔහුගෙන් මෙරට යහපත් කලාවක් සඳහා, යහපත් ජන සමාජයක් බිහිකිරීමට අවශ්‍ය කලා නිර්මාණ බිහිකිරීමේ උදාර මෙහෙවරෙහි පංගුකාරයෙකු වෙමින් දවසේ හෝරා විසිහතර තිස් හයක් සේ සලකා අවදියෙන් සිටින්නෙකු ලෙස දකිමු. ජන්ම දින හැට නවයක් ගෙවුණු තැන් සිට ඔහු අලුත් මිනිසකු ලෙසින් ලෝකය දෙස බලන බව අපි දනිමු. ඔහුගේ ප්‍රතිභාන්විත පරිකල්පනීය සිතුවිලි හෙට දවසේ දිදුලමින්, සාහිත්‍ය කලා, ශාස්ත්‍රීය හා සිනමා ක්ෂේත්‍ර බබළවනු නිසැක බව අපගේ විශ්වාසයයි.

බුද්ධදාස ගලප්පත්ති

නව අදහස දක්වන්න