මේ හැරවුමක අැරඹුමක් | දිනමිණ

මේ හැරවුමක අැරඹුමක්

උදාර පල්ලියගුරු

l “තුත්තිරි” මොන වගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ ටෙලිනාට්‍යක්ද?

“තුත්තිරි” කියන්නේ ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂයක්. මින් පෙර ලංකාවේ සාම්ප්‍රදායික ටෙලිනාට්‍ය කතා මාලාවල කවදාවත් ම විද්‍යාත්මක ප්‍රහසනයක් දකින්න ලැබිලා නෑ. ප්‍රහසන කරලා තිබුණට විද්‍යාත්මක ප්‍රහසනයක් කවදාවත් ම කරලා තිබුණෙ නෑ. මේ නිර්මාණය ප්‍රථම වතාවට ලාංකේය විද්‍යාත්මක ප්‍රහසන කාණ්ඩයට ඇතුළත් වෙනවා. මේ නිර්මාණයට පාදක වෙන්නෙ සරල කතාවක් නෙවෙයි. ලෝකවාසීන් සිදු කරන පරිසර විනාශය සහ ඒ සමග සිදුවන ලෝක විනාශය ගැනයි මේ කතා කරන්නේ. මේක පිටසක්වල ජීවීන්ගේ කතාවක්. පෘථිවියේ ආධිපත්‍ය දරාගෙන හිටපු ඩයිනෝරස්ලා පවා එක්තරා කාලයකදි තර්ජනයක් වෙලා තියෙනවා අනෙකුත් ජීවීන්ට.

මේ ටෙලිනාට්‍යයට අනුව පිටසක්වල ජීවින් කරන්නේ මෙවැනි දේ සමතුලනය කරන එක. හරියට ගත්තොත් මේ කතාවෙදි පෘතුවිය කියන්නේ ඒ අයගේ පර්යේෂණාගාරයක් වගේ. මේ වෙනකොට මිනිසා කියන සත්වයා අනෙකුත් සියලුම සතුන්ට එහායින් ගිහිල්ලා සතාසිව්පාවා, ගහකොළ පවා විනාස කරමින් තමනුත් විනාස වෙමිනුයි ඉන්නෙ. මේ හේතුව නිසා අන්තර් සෞරග්‍රහ මණ්ඩලයෙන් නිරන්තරයෙන් කණ්ඩායම් එවලා තියෙනවා. සමහර පිරිස එවලා තියෙනවා දාර්ශනිකයන් විදිහට ඇවිල්ලා, මිනිස්සුන්ව හොඳ කරන්න. උදාහරණ විදිහට කිව්වොත් බුද්ධ, ජේසුස්, කන්ෆියුසස් වගේ. එහෙම එවලත් හොඳ කරන්න බැරි වෙන තැන කණ්ඩායම් එවලා තියෙනවා පෘතුවියේ ඉන්න ජීවින්ව කුඩා කරන්න. අපි අහපු කතාවක් තියෙනවා තුත්තිරි ගස් යට බූරුවා ගහන්න පුළුවන් කාලයක් එනවා කියලා. ඒ කියන්නෙ ඒ තරමට මිනිස්සු පොඩි වෙනවා කියලා. ඉතිං මෙන්න මේ කණ්ඩායම් ඔන්න එනවා පෘතුවියට.

මේගොල්ලො පෘථිවියට එන්නේ කිරණ බෝම්බ මගින් පෘථිවියේ ලොකු විනාසයක් කරලා, මිනිස්සුන්ගේ DNAවලින් මිනිස්සු දශම පහකට පොඩි කරන්න. ඉතිං මීට කලින් ආපු කණ්ඩායම් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ලා, මයිකල් ජැක්සන්ලා, ෂාරුක් ඛාන්ලා. ඒ ඔක්කොමල්ලා මේ මෙහෙයුම වෙනුවෙන් ආපු අය. නමුත් කතාවේ හැටියට ඒගොල්ලන්ට ප්‍රොජෙක්ට් එක අමතක වෙලා. ඔතන තමයි හාස්‍ය තියෙන්නෙ. ඉතින් ඔන්න තව කණ්ඩායමක් එනවා අතුරුගිරිය පැත්තේ ප්‍රදේශයකට. ඒ කණ්ඩායමට මේ පෘථිවියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ මෙහෙයුම කරන්න තියෙන බාධා සහ පෘථිවි ජීවින් සමග වන හැලහැප්පීම් තමයි මේ කතාවේ තියෙන්නෙ. මේකෙදි අපි කියන්නේ ලංකාව නෙවෙයි ඉන්දියන් සාගරේ අමුතු ඇටය, ලගංඩාව කියලා. මන:කල්පිත කතාවක්නෙ මේක. මේ කතාව තුළින් හාස්‍යයට ලක්කරන්නේ පවත්නා වැරදි ක්‍රමවේදය. ඉතිං ආරාධනා කරනවා හැමෝටම සතියේ දිනවල සවස 6.30ට සිරස නාලිකාව ඔස්සේ “තුත්තිරි” නරඹන්න කියලා. පිටසක්වල ජීවින්ගෙයි පෘථිවි ජීවින්ගෙයි හැලහැප්පීම් මැද ඉදිරියට යන මේ කතාව ප්‍රේක්ෂකයන්ට වෙනස්ම ආකාරයක හාස්‍ය රසයක් අරන් එන බව මට විශ්වාසයි.

l මේ සඳහා දායකත්වය ලබාදෙන ශිල්පීන් ගැන කතා කළොත්?

නිෂ්පාදනයෙන් සහ පිටපත් රචනයෙන් දායක වෙන්නෙ මම. අධ්‍යක්ෂණය සංජය නිර්මාල්ගෙ. එතකොට මොරින් චාරුනී, ගිහාන් ප්‍රනාන්දු, සනත් විමලසිරි, පබෝදා සංදීපනී, සඳනි ෆර්නෑන්ඩො, මේධා ජයරත්න, රිතූ ආකර්ෂා , අනුරාධා එදිරිසිංහ, සරත් කුලාංග ඇතුළු නළුනිළියෝ 30කට ආසන්න සංඛ්‍යාවක් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. මේක විෂුවල් අෆෙක්ට්ස් ගොඩක් පාවිච්චි කරලා කරන ටෙලිනාට්‍යයක්. මොකද පිටසක්වල කතාවක්නෙ. ලංකාවේ එහෙම නාට්‍ය බිහිවෙනවා අඩුයි. සාම්ප්‍රදායික විදිහට හැමදාම යන නාට්‍යවල කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලට ආදරේ කරන කොල්ලෙක් ඉන්නවා. ඒකට තියෙන බාධා ටිකයි, නැන්දා මාමයි, දුෂ්ටයයි. ඔය ටිකනෙ ලංකාවේ දැන් ගොඩක් කතාවල බලන්න තියෙන්නෙ. ප්‍රේක්ෂකයොත් ඒකනේ නිතරම කියන්නේ ඒකාකාරියි කියලා. මේක ඇවිල්ලා පෙම්වතාගෙයි පෙම්වතියගෙයි ප්‍රශ්නවලින් එහාට ගිය සහ ඒ දේවලින් තොර වුණු, සාම්ප්‍රදායික නොවන කතාවක්.

l හින්දි මෙගා නාට්‍ය නැරඹීමට වහවැටී සිටින ලාංකේය ප්‍රේක්ෂකයා නැවතත් ලාංකේය ටෙලිනාට්‍ය වෙත අද්දා ගැනීමට “තුත්තිරි” හරහා ඔබ දරන්නේ කුමනාකාරයක උත්සාහයක්ද?

මම හිතන්නේ ප්‍රේක්ෂකයො නිර්මාණ රසවිඳින්නේ හරියට කෑමක් කනවා වගේ කියලා. මේ හෝටල් තමයි රූපවාහිනී නාලිකා. රූපවාහිනී නාලිකාවලින් හොඳ දේවල් දෙනවා නම් අනිවාර්යෙන්ම ප්‍රේක්ෂකයෝ ඒ දේවලට හුරුවෙනවා. රූපවාහිනී නාලිකාම තමයි ප්‍රේක්ෂකයන්ව ඒ ඒ කෑම ජාතිවලට හුරු කරලා තියෙන්නෙ. දෙමාපියෝ ළමයින්ට වැරදි දේවල් කවලා කවලා පස්සේ කියලා වැඩක් නෑ ළමයි ගුණ දේවල් කන්නෙ නෑ කියලා. අපි දකින විදිහට රූපවාහිනි නාලිකාවලට ලොකු වගකීමක් තියෙනවා ප්‍රේක්ෂකයාට හොඳ දේවල් දෙන්න. මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් දේ අල්පයි. නමුත් අපිටත් යම් උත්සාහයක් දරන්න පුළුවන් හැම වෙලේම. ඒ උත්සාහයේ තමයි අපි මේ නියැලෙන්නේ. සිරසෙන් ඒ උත්සාහයට විශාල සහයෝගයක් දුන්නා. මං ඒකයි සිරස නාලිකාව ම තෝරගත්තේ මේ ටෙලිනාට්‍ය විකාශය කරන්න. වෙන කිසිම නාලිකාවකින් තුත්තිරි වගේ ටෙලිනාට්‍යයකට තියෙන ඒ කලාත්මක නිදහස දෙන්නෙ නෑ. මං ඒක බය නැතුව කියනවා. ඒ අයට වෙන වෙන දේශපාලන අරමුණු තියෙනවා.

l වෙනත් ටෙලිනාට්‍ය හා සසඳන විට “තුත්තිරි” හි ඔබ දකින වෙනස?

අපි අහලා තියෙනවානේ කතාවක් කුස්සියෙ ඉඳලා නාට්‍ය බලන්න පුළුවන් කියලා. වෙන වැඩක් කරන ගමන් ඔහේ දෙබස් අහගෙන ඉන්නවා. මේ නාට්‍ය එහෙම කුස්සියේ ඉඳලා බලන්න පුළුවන් නාට්‍යයක් නෙවෙයි. මේක රූප රසයත් තියෙන, අර්ථ රසයත් තියෙන, ශබ්ධ රසයත් තියෙන නාට්‍යයක්. මේ නාට්‍ය ළඟ ඉඳන් නරඹලා තමයි අදහස ගන්න පුළුවන්. නිකං දෙබස් අහන් ඉඳලා නියම රසය විඳගන්න බෑ. නමුත් අද ලංකාවේ තියෙන ගොඩක් නාට්‍ය අහගෙන හිටියත් ඇති. මේක ගෝචර වෙන්නෙ එතනින් එහාට ගිය බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසකට. ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදය ඉහළ මට්ටමකට ගෙනියන්න නම් අපි ඒ ප්‍රේක්ෂකයන්ගේ බුද්ධි මට්ටම ඉහළ ගෙනියන්න ඕනෙ. ඒක ක්‍රමානුකූලව කරන්න ඕන දෙයක්.

බුදුහාමුදුරුවො වුණත් ධර්මය දේශනා කරලා දඹදිව හිටිය ඔක්කොම කට්ටිය එකපාර රහත් කරවන්නවත් නිවන් අවබෝධ කරවන්නවත් හැදුවෙ නෑනෙ. කරන්නත් බෑනෙ ඒක. කෙනෙක් මේ ටෙලිනාට්‍ය බලන්න දැන් වුණත් සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන් ම යූ ටියුබ් ගිහින් කලින් කොටස් ටික බලලා, තේරුම් අරන් තමයි සම්බන්ධ වෙන්න ඕනෙ. එකපාරට ම කෑම පිඟානක් අරන් ඇවිත් ටීවි එක ඉස්සරහා වාඩි වුණාට සමහරවිට “තුත්තිරි” තේරෙන්නෙ නැති වෙන්න පුළුවන් එක කොටසකින්. මේක බොහොම බැරෑරුම් ආකල්පයක් ඔස්සේ යන ටෙලිනාට්‍යයක්. වෙන ටෙලිනාට්‍යක් නම් මැද්දෙන් වුණත් ඔහේ සම්බන්ධ වෙලා නරඹන්න පුළුවන්. මේක ඊට වඩා රූප රසය සහ අර්ථ රසය මුල් කරගෙන නිර්මාණය කරපු එකක්.

l ක්ෂේත්‍රය තුළ කලාකරුවෙකු විදිහට ඔබේ පටන්ගැන්ම සිදු වුණේ කොතැනින්ද?

මම පටන් ගත්තේ වේදිකාවෙන්. නළුවෙක් විදිහට වේදිකා නාට්‍ය රංගනයෙන් පටන් අරගෙන පස්සෙ“අපේ පංති කාමරය”, “කුවේණියේ” වගේ වේදිකා නාට්‍යවල මම වේදිකා පරිපාලකයෙක් විදිහටත් වැඩ කළා. එතනින් පස්සේ මම යොමු වුණේ සිනමාව ගැන හදාරන්න. ඒත් එකවරම මම සිනමාකරණයට ප්‍රවිෂ්ට වුණේ නෑ. මුලින් රූපවාහිනී මාධ්‍යයට එකතු වෙලා සිරස නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදකයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කළා. “හින්දි ටොප් ටෙන්”, “සුභාසිරි”, “මේ දවස්වල බිස්නස්” කියන්නේ මං නිර්මාණය කළ වැඩසටහන් අතරින් කිහිපයක්. ඊට පස්සේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේත් දැවැන්ත විදිහට වැඩ කළා. රූපවාහිනී වෙළඳ දැන්වීම් 600කට වැඩිය මම අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

සිරස නාලිකාවේ නිලේන්ද්‍ර දේශප්‍රිය මහත්මයා තමයි මට උදව් කළේ. එතුමා ඒ වෙලාවේ මට උදව් කළේ නැත්නම් මට මගේ කලාවට අත්පොත් තියන්න ලැබෙන්නෙ නෑ. අපි කොච්චර ඉගෙනගෙන ආවත් අපිට කවුරුත් අත දෙන්නෙ නැත්නම් එතනින් එහාට ගමනක් යන්න බෑනෙ. දක්ෂයෝ ඕනතරම් ඉන්නවා. ඒත් ක්ෂේත්‍රය තුළ ගමනක් යන්න නම් අත දෙන්න කෙනෙක් ඉන්නම ඕනෙ. සිරස නාලිකාවේ හැමෝගෙම වගේ සහයෝගය මට ලැබුණා. ඒ නිසා තමයි මට මේ ගමන එන්න ලැබුණෙ. වෙළඳදැන්වීම් ක්ෂේත්‍රයේ කලක් නියැලිලා හිටිය නිසා මම කරන නිර්මාණ ගොඩක් වෙනස්. සාම්ප්‍රදායික ටෙලිනාට්‍ය නිර්මාණය කරන කලාකරුවන් දකින්නෙ නැති කෝණයකින් තමයි මම දේවල් දකින්නෙ.

l පැණි මකුළුවෝ”අධ්‍යක්ෂණයෙන් පසු ඔබ නැවත චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වෙන්න හිතුවෙ නැද්ද ?

නැත්තෙ නෑ. මේ වෙනකොට මම ඉංග්‍රීසි චිත්‍රපටියක් සූදානම් කරගෙනයි ඉන්නෙ. මේ වසර අවසාන වෙන්න කලින් ඒ චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඒ චිත්‍රපටියේ පෙර නිෂ්පාදන කටයුතුවලට තමයි වැඩි අවධානයක් දෙන්නෙ. මේක අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න හිතාගෙන කරන නිර්මාණයක්. “සුපර් සික්ස්”වලින් පස්සෙ මම අවුරුදු හයක් නිහඬව හිටියේ ඒකයි. දැනෙන වැඩක් කරන්න ඕනෙ හින්දා තමයි ටිකක් කල් ගත්තේ. ඒ අතර මම “සාම” කියලා ළමා චිත්‍රපටියක් නිෂ්පාදනය කළා. ඒකත් බොහොම ඉක්මනින් තිරගත වේවි.

l ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ තවත් අලුත් වෙනසකට මුලපුරන්න යනවයි කියලත් ආරංචියි

මම ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රයිම් ඩ්‍රාමා සීරිස් එකක් කරන්න සූදානමින් ඉන්නවා. මේක කැමරා පහක් විතර පාවිච්චි කරලා කරන වෙනස් විදිහේ වැඩක්. මේ නිර්මාණ කටයුත්තටත් මේ දවස්වල මං පිරිස සොයමින් ඉන්නවා. සටන් කිරීමේ හැකියාව වගේ ම විවිධ ක්‍රීඩා කුසලතා තියෙන තරුණ තරුණියන්ට අවස්ථාව තියෙනවා මේ කටයුත්තට සම්බන්ධ වෙන්න. කොහොමත් තව මාසයක් වගේ ඇතුළත වැඩ අවසන් කරලා, රූපවාහිනී ප්‍රදර්ශනයකට යන්නයි සූදානම් කරගෙන ඉන්නෙ.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න