තමා තමාව පෝෂණය කර ගත යුතුයි | දිනමිණ

තමා තමාව පෝෂණය කර ගත යුතුයි

 චාමර ජනරාජ් පීරිස්

නිර්මානකරණයේ අවසන් ඉලක්කය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යයක්ෂවරයෙක් වීමයි

චාමර ජනරාජ් පීරිස් නම් වූ ඔහු බොහෝ දෙනා හඳුනා ගන්නේ සිය පළමු නිර්මාණයෙන්ම සම්මානයට පාත්‍ර වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසයි. අද සටහන ඔහු ආ මඟේ නොමැකෙන සිහිවටන පෙළ පිළිබඳයි.

 චාමර ජනරාජ් පීරිස් මේ නම තබන්නේ කව්ද ?

චාමර කියන නම දාලා තියෙන්නේ අම්මා. ජනරාජ් කියන නම දුන්නේ තාත්තා. අපේ තාත්තට ‘ජනදාස‘ කියලා නම දාලා තියෙන්නේ සීයා. ඒ නමේ තේරුම ජනයාට සේවය කරන්නා යන්නයි. තාත්තා මට ‘ජනරාජ්‘ කියලා නම තියෙන්නේ අඩු ගානේ මමවත් රජකම් කරයි කියලා හිතලාලූ.

 ඔබ පවුලේ එකම දරුවා. සහෝදර සහෝදරියන් හිටියානම් කියලා දැනිලා නැද්ද?

මට දැනිලා නැහැ. කවුරුත් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරලත් නැහැ. මම ඕන තරම් දැකලා තියෙනවා ලොකු වුණාම එකබඩවැල කඩන් ආපු අය යම් යම් දේවල්වලට රණ්ඩු කරගන්න හැටි. මට එහෙම වුණොත් ලැජ්ජ හිතෙයි. මගේ පූරුවේ පිනකට වෙන්න ඇති එහෙම කව්රුත් නොහිටියේ.

 ආදරය රැකවරණය සැප සම්පත් තනියම භුක්ති විඳින්නද හිතුවේ?

මගේ මව්පියන්ට පරම්පරා ගත ධනයක් තිබුණු අය නෙමෙයි. ඔවුන් ජීවිතය ගොඩනඟා ගත්තේ රැකියාවෙන් ලබන වැටුපෙන්. මම ඉපදෙනකොටත් ඒ දෙන්නා සැළකිය යුතු වැටුපක් ලබපු නිසා මට කවදාක්වත් ආර්ථීක අපහසුතා දැනිලා නැහැ. මම ඔවුන්ගේ ජීවිතෙවලට එකතු වීම ඔවුන්ට ලොකු වාසනාවක් ගෙනවා කියලයි දැක්කේ.

 ළමා කාලය ගෙවෙන්නේ දැඩි විනය පද්ධතියක් තුළද?

තාත්තා කවදාවත් මට පාරක්වත් ගහලා නෑ. කිසිම දෙයක් කරන්න එපා කියලා ගෙදරින් බලපෑම් ඇවිත් නැහැ. එහෙම කියලා මම වැරැදි කළෙත් නැහැ. උසස් පෙළ කරන කාලේ රටේ තිබුණු වාතාවරණය එක්ක අපිව ගෙවල්වලින් එළියට දාන්නේ නැති තත්ත්වයටම ආවා. ඉතින් මොන බාහිර ක්‍රියාකාරකම්ද.. පාරවල්වල ටයර් දාලා ගිනි තියපු මිනි දැක්කාම තේරුණා මම පාරේ යන එක මටත් භයානකයි කියලා. ඉතින් පිරිමි ළමයෙක් වෙලා ඉපදිලත් පුදුම දුකක් නේ විඳින්නේ කියලා ඒ දවස්වල හිතුණා. රාජකීය විද්‍යාලයට ගිය මටත් එහෙම වුණා නම් ගම්වල හිටපු සාමාන්‍ය ළමයින් කොහොම දුකක් විඳින්න ඇතිද කියලා සමහර වෙලාවට මට කල්පනා වුණා.

 ඔබේ පාසල් කාලය ?

මමත් අයින්ස්ටයින් වගේ කිසිම දක්ෂතාවක් නොදක්වපු ළමයි ගොඩට තමයි අයිති වුණේ. වැඩ කරන්නෙත් නැහැ, ගෙදරින් බනින්නෙත් නෑ. එතකොට හිතාගන්න පුළුවන්නේ තත්ත්වේ. වාර විභාගේ විෂයන් 8න් 7කටම ලකුණු 35, 40, 45යි. කලාතුරකින් තමයි 50ට වැඩි වෙන්නේ. හැබැයි චිත්‍රවලට දක්ෂයි. හැමදාම ලකුණු 99යි. අන්තිම අවුරුද්දේ රාජකීය විද්‍යාලේ හොඳම ශිෂ්‍යයා විදිහට ඒ කාලේ හිටපු ජනාධිපති තුමාගෙන් සම්මානත් අරන් තියෙනවා.

පාසල් කාලෙන් පස්සේ ඒ විෂයට තිබූ නැඹුරුව මගහැරුණද ?

චිත්‍ර අඳින්න තිබුණු කැමැත්ත සහා හැකියාව නිසාම මගේ පශ්චාත් උපාධියට කළේ ගෘහ නිර්මාණ ශිල්පය. නමුත් චිත්‍ර ප්‍රදර්ශනවලට යන්න තරම් ප්‍රගුණ කළේ නෑ.

 ඔබට රුසියාවට යන්න ලැබෙන්නේ අහම්බෙන්?

මට ශිෂ්‍යත්වයක් ලැබෙනවා.

 විශ්ව විද්‍යාලය ජීවිතය පිළිබඳ මතකය?

මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යලයේ ගෘහ නිර්මාණ ශිල්පි ඇකඩමියට තමයි මම ඇතුළු වෙන්නේ. ශිෂ්‍යත්වයක් ලැබුණට පස්සේ සොවියට් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මාස එකහමාරක් විතර රුසියන් භාෂාව ඉගැන්නුවා. රුසියාවට ගියාට පස්සේ තේරුණා ඒ ඉගෙන ගත්ත ටික කිසිම දෙයකට ප්‍රමාණවත් නෑ කියලා. භාෂාවක් හරියට ඉගෙන ගන්න ඒ භාෂාව නැතිව බෑ කියන දේ ඔළුවට දැමිය යුතුමයි. රුසියාවේ දී අන්න ඒ තත්ත්වෙට පත් වුණා. එකම විසදුම හරියට භාෂාව ඉගෙන ගන්න එක. ඉතින් ඒකත් කළා. පොඩි කාලේ ඉඳලා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ මට පුදුම අපහසුවක් දැනුණේ. නමුත් රුසියාවේ දී ඒ ආකල්පය වෙනස් වුණා. පුද්ගලයකුගේ දක්ෂතාව මොකද්ද කියලා එහේ පද්ධතිය මුලින් හඳුනා ගන්නවා. ඉතින් මට පුළුවන් මොකක් හරි අලූතින් හිතලා නිර්මාණය කරන්න, ගොඩන ගන්න, අඳින්න. ඒ හින්දා මම ඒ පැත්තට ගියා. ඒ විෂය හදාරද්දි පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රායෝගික දැනුම තමයි අවශ්‍යය. ඒ නිසා මගේ විශ්වවිද්‍යාල ජීවිතය සහ මගේ අරමුණු සාර්ථක කර ගන්න පුළුවන් වුණා.

 පවුලේ රැකවරණය මැද්දේ හැ දී වැඩුණු ඔබ තනියම රුසියාවේ වසර 8 ජීවත් වෙනවා?

ඔව්. මාව රුසියාවට යැවීම තමයි තාත්තා ගත්ත රැඩිකල්ම තීරණය. තාත්තා කිව්වා "හදිසියේ උඹ රුසියන් කාන්තාවක් විවාහ කරගෙන ලංකාවට ආවත් අපි උඹව බාර ගන්නවා" කියලා. තාත්තාට විශ්වාසය තිබුණා මාව හදපු පරිසරය තුළ මම විනාශ නොවී ජීවිතේ හැමදේම බැලන්ස් කරගනී කියලා.

 මාපියන්ට ඔබ ගැන තිබුණු බලාපොරොත්තුව?

අම්මගේ බලාපොරොත්තු වුණේ දොස්තර කෙනෙක් කරන්න. තාත්තට එහෙම අවශ්‍යතාවක් තිබුණේ නැහැ.මටත් මෙඩිසින් කරලා දොස්තර කෙනෙක් වෙන්න කොහෙත්ම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. රෝහල තමයි මට අප්පිරියම තැන.

 පිටසක්වල ජීවීන් පිළිබඳ හොයන්න උනන්දු වෙන්න පෙළඹෙන්නේ?

ඒ පිළිබඳ ගොඩක් දේවල් කියවනවා. පිටසක්වල ගැන හොයන හැම තැනකම මමත් ඉතින් ඉන්නවා. බොරුව ඇත්ත ඔක්කොම මම හොයනවා. ඇත්ත කතාව මේකයි. අපේ තාත්තා ‘මෙලෝ සියක් අවුරුදු එහි එක දවසක්‘ පොත ලියන කාලේ තමයි අපේ අම්මට මාව හම්බෙන්න ඉඳල තියෙන්නේ. ඉතින් අපේ අම්මගේ අම්මා තාත්තට කිව්වලු “අනේ පුතේ ඔය වගේ විකාර ලියන්න එපා හැදෙන දරුවට හොඳ නෑ“ කියලා. අම්මා ඒ ගැන එච්චර හිතලා නැහැ. නමුත් දැන් අම්මා කියනවා මගේ පිටසක්වල ජීවීන් ගැන උන්මාදය අර හේතුව හින්දා කියලා.

 මුල්ම වෘත්තිය?

ගෘහ නිර්මණය හදාරලා උපාධියකුත් එක්ක ලංකාවට ඇවිත් ඒ සම්බන්ධ රස්සාවල් හොයද්දි රුපියල් 8000ට වගේ තමයි ගොඩක් තැන්වල කතා කළේ. දවසක් පත්තරේ දැන්වීමක් දැක්කා ලේක්හවුස් ආයතනයේ පුවත්පත් වෙනස් කරන්න නිර්මාණ ශිල්පීන් අවශ්‍යයි කියලා. වැටුප 12000ක් විතර. මමත් ගිහින් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණා. මමයි තව දෙන්නෙකුයි තේරුණා. ඒ 1998 දි. රුසියාවේ ඉන්න කාලෙත් ලේක්හවුස් හි රුසියාවේ මොස්කව්වල වාර්ථාකරු විදියට මම හිටියා.

 තාත්තාගේ ලිවීමේ ආභාසය ඔබට ලැබී තියෙනවා?

ඔව්. පසු කාලීනව මම දිනමිණ වැඩ කළා. ඒ කාලේ මම කරපු ‘නොම්බර 13‘ කියන පිටුවට සෑහෙන ජනප්‍රියත්වයක් ලැබුණා.

 ජීවිතේ හොඳම කාලේ ?

රුසියාවේ හිටපු කාලේ. මම කොහොමත් දේශයකට අයිති. මේක මගේ මව්බිම. මේක තමයි මම මැරෙන්න ඕන කියන තැන නැහැ. මම පෘථුවිවාසියෙක් කියන සංකල්පේ තමයි ඉන්නේ. රුසියාවේ මිනිස්සු බටහිර මාධ්‍යවලින් ඔබට පෙන්නන්න හදන පිරිස නෙමෙයි. ඒ මිනිස්සු හරි තදයි, ශක්තිමත් හැබැයි මනුස්සකම් අතින් ඉහළයි.

 ඔබේ ජීවතේ වඩාත් සතුටු වූ දවස ?

මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්නේ අහම්බෙන්. මගේ මුල්ම ටෙලි නාට්‍යට ඒ අවුරුද්දේ හොඳම අධ්‍යක්ෂවරයා ලෙස රාජ්‍ය සම්මාන උළලේ ඇගැයීමට පත් වෙනවා. තාත්තා ඒ කාලේ පිළිකාවක් නිසා අසනීප තත්ත්වෙන් හිටියේ. එදා සම්මාන උළෙලට තාත්තාත් මා එක්ක ආවා. මට සම්මානේ ලැබුණේ ජනවාරි 24. මාර්තු 17 තාත්තා නැති වුණා. මුල්ම නිර්මාණයෙන් හොඳම අධ්‍යක්ෂවරයා විදිහට තාත්තා ඉදිරියේ ඇගැයිමට පත් වීම තමයි ජීවිතයේ සතුටුම දවස.

 අහම්බෙන් ආ ඒ ගමන ගැන කතා කළොත්?

මගේ පෂ්චාත් උපාධියට අදාළ නිබන්ධනය ලියන්න තෝර ගත්තේ වසර 25000ට වැඩි ඉතිහාසයක් තියෙන අනුරාධපුර නගර නිර්මාණය සඳහා පිටසක්වල ජීවින්ගේ දායකත්වය ලැබුණාද යන්න පදනම් කරගෙනයි. ඒ නිබන්ධනයට මට ඉහළ සාමාර්ථයක් ලැබුණා. පස්සේ කාලෙක දී හිතුණා මේ තොරතුරු මිනිස්සුන්ට දෙන්න ඕන කියලා. ඒකට මගේ හිතේ තිබ්බ පොඩි ආදර කතාවක්, අපේ ලෝකය හා පිට ලෝකය එක්ක විවාහයක් වුණොත් කොහොම වෙයිද කියලා හිතලා ඒ සංකල්පය ඇතුළට දාලා නාට්‍යයක් කරන්න පිටපතක් ලියාගෙන ලංකාවේ ප්‍රවීණ අධයක්ෂකවරයෙක් ළගට ගියා. මම ඔහුට කිව්වා “මේක හදා දෙන්න“ කියලා. ඔහු එදා කිව්වා “මල්ලි ජීවිතේට ඔය වගේ දෙයක් ගැන හිතන්න එපා ටෙලි නාට්‍යය හදන්නත් එපා, සල්ලි විනාස කරගන්නේ නැතුව රස්සාව කරගෙන ඉන්න" කිව්වා. ඔහු 'එපා' කියපු නිසා තමයි මම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂකවරයෙක් වුණේ. මමයි මගේ යාළුවො 10 දෙනෙකුයි සල්ලි දාලා ටෙලි නාට්‍යය හැදුවා. ඒ හදපු ගමන තමයි මේ . මට අවශ්‍යය ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනයේ පොඩි වෙනසක් ඇති කරන්න. ඒකට මම පොඩි උත්සාහයක් ගන්නවා.

 ඒ ගමනේ අභියෝග තියෙන්න ඇති?

මම මගේ කොටුව හොයා ගෙන තියෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. ලංකවේ නිර්මාණකරුවන් දාහක් බිහිවුණත් මම ඉන්නේ මගේ කොටුවේ. ඒ කොටුවට වෙන කෙනෙක් එන්නෙත් නෑ. මම අනුන්ගේ කොටුවලට යන්නෙත් නෑ.

මට මං ගැන තියෙන්නේ මාර පොරක් වගේ හැඟීමක්. සමහරු කියනවා එහෙම හිතන්න එපා කියලා. මම එහෙම හිතන්නෙ කාටවත් වදයක් වෙන්න නෙවෙයි. මම අනිත් කෙනාට ඇහුම්කම් දෙනවා. හැබැයි තීරණ වෙනස් කරන්නේ නැහැ.

 නිර්මානකරණයේ අවසන් ඉලක්කය ?

හොලිවුඩ් චිත්‍රපට අධ්‍යයක්ෂවරයෙක් වීම.

 ඔබ හීන දකින්නෙක් ද?

ඔව්. ඒ දකින හීන හිතුණම මගේ නිර්මාණවලට යොදා ගන්නවා. එහෙම තමයි ඒ හීන හැබැවෙන්නේ.

 වාසනවා හා අවාසනාව ගැන ඔබට තිබෙන විශ්වාසය ?

ගොඩක් වෙලාවට දක්ෂම කෙනා නෙවේ ප්‍රසිද්ධම කෙනා වෙන්නේ. මම හිතන්නේ එතැන දී වාසනාව තමයි සාධකය වෙන්නේ.

 ඔබේ නිර්මාණවලට යොදන නම් බොහො විට අනෙක් නිර්මාණවලට වඩා වෙනස්?

ඒ හැම නමකටම ගැඹුරු අර්ථකතනයක් තියෙනවා. මගේ අලුත්ම නිර්මාණය ‘රාහූ‘.මිනිස්සු රාහූට බයයි. පේන්නේ නැහැ .හැබැයි හෙවනැල්ලක් වගේ තියෙනවා. ඒ නම මගේ කතාවට හරියටම ගැළපෙනවා. රාහු කියන්නේ ඇත්තට පවතින්නේ නෑ. නමුත් ඒක පවතිනවා .

 පළමු ප්‍රේමයේ මතකය?

අවුරුදු 19 දි. මම ඒ දවස්වල බැලේ කළා. මට පාට්නර්ට හිටපු ළමයා ගැන මොකක් හරි විශේෂත්වයක් මට තේරුණා. යාළුවෝ කිවා“ ඕක තමයි ආදරේ“කියලා. එහෙනම් අහන්න ඕනේ කියලා හිතලා එයාගේ සපත්තු දෙකත් හංගලා කතා කරන්න වෙලාවක් හොයා ගත්තා. බොහොම බයෙන් "ඔයා ගැන මෙහෙම කැමැත්තක් තියෙනවා දැම්ම උත්තරයක් එපා. හිතලා කියන්නකෝ කිව්වා". පස්සේ සපත්තු දෙකත් මම හොයලා දුන්නා ඉතින් මේ ළමයා කිව්වා "ඕකට සති ගාණක් ඉන්න දෙයක් නෑ මමත් කැමති" කියලා. ඊට පස්සේ මම කල්පනා කළා දැන් මොකද කරන්නේ කියලා. ඒ තමයි මගේ පළවෙනි ආදරයය. මම රුසියාවට ගියාට පස්සේ ඒ සම්බන්ඳෙ එහෙමම නැති වුණා. නමුත් ඇය මගේ යාලූවෙක්. තාමත් අපි කතා බහ කරනවා.

 දේශපාලනයට පිවිසෙන්න අදහසක් තියෙනවද ?

ඔව් දේශපාලනයට එන්න අදහසක් තියෙනවා. මම හරි කැමති සාමානාත්මතාවෙන් ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවා නම්. ලංකාවේ මිනිස්සු අනිකාට ගෞරව කරන්නේ ඒ මනුස්සයට තියෙන තත්ත්වය අනුවනේ. එය වෙනස් විය යුතුයි. අපේ රටේ මිනිස්සුන්ට ආකල්ප පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවා. මේ දේවල් වෙනස් විය යුතුයි.

 ඔබ වෘත්තිය නිර්මාණකරුවෙක්ද ?

නිර්මාණකරුවෙක් සහ ගෘහ නිර්මාණශිල්පියෙක්. ලංකාවේ මිනිස්සුන්ට දැනුම දෙන්න අතින් වියදම් කරගෙන‘නොලේජ් ටීවි‘ කියලා නාලිකාවකුත් කරනවා. ලංකාවේ බුද්ධිමතුන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර දවස්වලට මට නාසා එකෙන් පවා කතා කරලා තියෙනවා.

 ඔබ ඔබට අනන්‍යතාවක් හඳන්න වෙහෙසෙනවාද?

එහෙම එකම කොටුවක රැඳෙන්නේ ඇයි. දවසක් මම කඩේට ගිහින් කෙහෙල් ඇවරියක් ඉල්ලුවා. කපන්න කලින් ඒ මනුස්සයා ඇහුවා“ ගෙඩියක් රුපියල් 6යි කැපුවට පස්සේ බෑ නොකියා ගන්න“ කියලා ඒ කියන්නේ මාව දැක්කම හිතෙන්න ඇති රුපියල් අටක්වත් නැහැ කියලා. ඒ මාව පෙනිලා තියෙන විදිහ. මට ගානකුත් නැහැ. තව දවසක්

ඕස්ටේ‍්‍රලියානු යුවළක් සමඟ හෝටලයකට ගිහින් මම තේ එකක් අරගෙන ගාන අහද්දි “ ඩයිවර්ට නොමිලේ “ ඒ ඔවුන් මාව අඳුරගෙන තියෙන විදිහ එය මට ප්‍රශ්නයක් නැහැ.

 ඔබේ ජීවිතේ හොඳම විවේචකයා කවුද?

සදාචාරය විවේචනය වෙන්න ඕන. හැබැයි ඒ විවේචනය සදාචාරාත්මක වෙන්නත් ඕනේ. ලංකාවේ සමහර මිනිස්සු විවේචනය කරන්නේ සදාචාරය පැත්තක දාලා. තවත් සමහරු සදාචාරය නිසාම විවේචනය නොකර ඉන්නවා. මම සමහර විචාරකයන්ට කියලා තියෙනවා මාව විචාරය කරන්න, මගේ නාට්‍යය විවේචනය කරන්න එන්න එපා කියලා. වැඩක් නැහැ ඒ අයගේ විවේචන මම දන්නවා.

 ජිවිතේ අමිහිරි මතක ?

සමහර අමිහිරි මතක තියෙනවා. ඒ මිනිස්සුන්ව ආයෙම දකින්නවත් නැහැ.

 වගකීම් ජීවතය හසුරුවන්නේ කොයි විදිහටද?

සමාජයක ජීවත් වෙද්දි කළ යුතු වගකීම් තියෙනවා. පුළුවන් වෙලාවට තව මිනිහෙක්ට පුළුවන් දෙයක් කළ යුතුයි. සාමුහික වගකීම් යුතුකම් ඇරෙන්න වෙන ඒවා මගෙ ඔලුවේ ලොකුවට නෑ.

 නිර්මාණ කිරීමට අවශ්‍ය නිදහස උපරිමෙන් ඔබට ලැබෙනවාද?

වෙනස් තැනකට ගිහින් නිදහසේ ඉඳගෙන නිර්මාණ කරනවා කියලා දෙයක් මම දන්නේ නැහැ. අපි ජීවත් වෙනවා. ඒ ජීවිතේ තුළ එක එක දේවල් කරන්න වෙනවා. සමහර තැන් අමිහිරියි සමහර තැන් මිහිරි යි. ඒ අත්දැකිම් ඇසුරෙන් තමයි නිර්මාණ පෝෂණය වෙන්නේ. තමන් තමන්ට අත්දැකීම් එකතු කරගන්නේ නැතිව අනුන්ට දෙන්න බැහැ. තමා තමාව පෝෂණය කර ගත යුතුයි. තමන් ලොකු හයිය මුලක් තියෙන ගහක් වුණේ නැත්නම් වෙන කෙනෙක්ට හෙවන දෙන්න බැහැ. ඉතින් අපි වගකීම යුතුකම් ඉෂ්ට කරමින් ලබන පෝෂණය තමයි නිර්මාණයකට ලැබෙන පෝෂණය වෙන්නේ.

ටානියා මෝසස්

ඡායාරූප-ක්‍රිශ් ලී

නව අදහස දක්වන්න