ඉරානයේ විෂ මත්පැන් නිසා 42ක් ජීවිතක්ෂයට | දිනමිණ

ඉරානයේ විෂ මත්පැන් නිසා 42ක් ජීවිතක්ෂයට

 ඉරානයේ විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 42ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රජයේ ප්‍රකාශකයෙක් සදහන් කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. 
 
එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු අන්ධ භාවයට පත්ව ඇති බවත් 170 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවත් ය. 
 
පසුගිය සති තුනක කාලය තුළදී  පළාත් පහකින් පුද්ගලයින් 460 කට ආසන්න  පිරිසක් විෂ මත්පැන් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ. ඒ අතරින් ලාබාලතම කාන්තාවගේ වයස අවුරුදු 19කි. 
 
මත්පැන් භාවිත කිරීම ඉරානයේ නීති විරෝධී ක්‍රියාවක් වූවත් විශාල වශයෙන් නිවාසවල මත්පැන් නිෂ්පාදනය සිදු කරනු ලැබේ. ශරීරයට දැඩි ලෙස අහිතකර ද්‍රව්‍ය වලින් මෙම මත්පැන් නිෂ්පාදනය කිරීම හේතුවෙන් ඉරානයේ මෙලස විශාල පිරිසක් රෝගීවීමට හේතු වී ඇති බව එරට වාර්තා සදහන් කරයි.

නව අදහස දක්වන්න