ඇගේ රහස් කැඩපත | දිනමිණ

ඇගේ රහස් කැඩපත

ඔබ කාන්තාවක නම්, ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙන්නෙමු. ඔබ ගැන කියන මේ ‍තොරතුරු කෙතරම් නිවරැදි දැයි බැලිය යුතුය. ඊට පෙර මේ පාඩමත් මතක තබා ගත යුතුය. ජන්ම රාශිය ලග්නයට කියන තවත් නමකි. මේ රාශි චක්‍රය, මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වාශ්චික ධනු- මකර - කුම්භ - මීන යන පිළිවෙළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළමුවැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය. මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැටලුවක් නැතිව පෙර කී පිළිවෙළට කොටුවෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළිවෙළට හඳුනාගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්නයෙන් නම්, ඔබේ කේන්දරයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැන්නට ‍මකර, තුන්වැන්නට කුම්භ, සිව්වැන්නට මීන, පස්වැන්නට මේෂ යනාදී වශයෙන් ගණන් කළ යුතුය.

තුලා ලග්නයේ අධිපති සිකුරුය. සිකුරු හිමි තුලාවේ තවත් ස්ත්‍රී ග්‍රහයෙක් වන සඳු පිහිටීමෙන් හට ගන්නේ තරමක නොරුස්නා තත්ත්වයකි. එහෙත් බාහිර සමාජයට ඒ බව පෙනෙන්නේ නැත. තුලා රාශියේ සඳු සිටියදී උපන් කාන්තාවගේ චරිත ලක්ෂණ ද එසේමය. සාමාන්‍යයෙන් තුලා රාශියේ සඳු සිටියදී උපන් කත ඉතා රූමත්ය. එමෙන්ම රාගාධික චරිතයකි. පැහැපත් මන මෝහනීය මුහුණකට හිමිකම් කියන මැය අන් පුරුෂයන්ගේ ආකර්ෂණයට සැම විටෙකම ලක්වේ. එහෙත් මැය නැණවත්ය.

එමෙන්ම ගුණවත්ය. ප්‍රධානම දුබලකම වන්නේ තරමක් කට සැර වීමයි. එසේ තමන් සමාජයේ කැපී පෙනෙන චරිතයකි. ගුරු වෘත්තියයට මෙවැනි කතුන් ඉතා දක්ෂවේ. පරිපාලන කටයුතු ආදියෙහිත් කාර්යක්ෂම වන අතර අන් අය හොඳින් හෝ නරකින් හෝ පාලනය කිරිමේ කලාවද මැනවින් දනී. තීරණ ගැනීමේදී බොහෝ සෙයින් ලතවෙන නමුත් තීරණයක් ගතහොත් එය කෙසේවත් වෙනස් කරන්නෙද නැත. අන් අයගේ විවේචන එතරම් ගණන් ගන්නේ නැති නමුත් සිත නිතර චංචලය. සිතේ කලබලය සඟවාගෙන තැන්පත් ගතියක් මවා ගෙන කටයුතු කිරීමට මැය දක්ෂය. ඉතාම සාර්ථක විවාහ ජීවිතයකට උරුමකම් කියන මැය තම පවුල් සංස්ථාවේ ආධිපත්‍ය අතට ගෙන එය රැක ගන්නට කටයුතු කරන්නේ සොඳුරු ආඥාදායකවරියක ලෙසිනි.

නිවස ඉතා පිළිවෙළට හා මනරම්ව තබා ගැනීමට නිතර උත්සාහ ගනී. තම ඇඳුම් පැළඳුම් විසිතුරුව සහ කැපී පෙනෙන ලෙස සකසා ගන්නා අතර ඇතැම් විටෙක නැට්ටුක්කාරියක ලෙස වුවමනාවට වඩා ඉස්මතුවන්නටද උත්සාහ ගනී. තුලා රාශියේ සඳු සිටින කත අන් අයගේ ඊර්ෂ්‍යාවට ලක්වන්නේද නිතැතිනි. ඊට හේතුවන්නේ පුරුෂයන් වශී කරවන ලිංගික ආකර්ෂණයක් පැවතීම හේතු කොට ගෙනය. ඇයද ඒබව දනී. අවශ්‍ය තැන්වලදී තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා එම බලය යෙදවීමටද මැය පසුබට වන්නේ නැත. තමන් දන්නා දේ ඉතා පැහැදිලිව අන් අයට වටහා දීමට මේ කාන්තාව ඉතා දක්ෂය. නොදන්නා බව සඟවාගෙන නොදන්නා දේ චාටුවෙන් ඉගෙන ගැනීමටද ඇය සමත්ය. පොත-පත කියවීමට එතරම් ඇබ්බැහි නොවන නමුත් සාමාන්‍ය දැනුමෙන් ඇය ඉතා පොහොසත්ය.

ශරීර සෞඛ්‍යය පිළිබඳ නිතර නිතර මැසිවිලි නඟන්නියකි. සෙම් රෝග බහුලය. උගුර, කන, නාසය යනාදී රෝගයවලින්ද පීඩා විදී. මාසික ඔසප් චක්‍රයද ඇතැම් විට අක්‍රමවත්ය. ගර්භාෂයේ රෝග තත්ත්ව කෙරෙහි අවධානය යොමු කිරීම මැනවි.

ආගම ධර්මය කෙරෙහි බලවත් ගෞරවයක් පවතින නමුත් නිතර දන් පින් හා වෙහෙර විහාරථාන කරා යන තැනැත්තික නොවේ. එහෙත් විශ්වාසයක් සිතට ගතහොත් එය ජීවිතය පුරාම එකලෙස පවත්වා ගනී .

සුවඳ විලවුන් රූපලාවණ්‍ය, ආදී ද්‍රව්‍යය කෙරෙහි ඉමහත් ලෙස ඇලුම් කරන්නියකි. තොල්, නිය යනාදිය පිරිසුදුව සහ ආලේපන ගල්වා රැක ගැනීමට උනන්දුවේ. මැය සතු බලවත්ම දුබලකම වන්නේ තමා ප්‍රිය කරන දේ අන් අය විසින්ද ප්‍රිය කරන්නේ යැයි උපකල්පනය කිරීමයි. තමා ආශා කරන යමක් අන් අය නොකැමැති වුවත් බලහත්කාරයෙන් එය පවත්වා ගැනීමට උත්සහා දරණ හෙයින් සතුරන් ඇති කර ගනී. මිතුරන් ඉතා සීමිතය. මිතුරියන් බොහෝය. එහෙත් ඒ කිසිවකු සමඟ සහෘද ඇසුරක් පවත්වා නොගනී. මේ නිසා තමාගේ රහස් තමා විසින්ම රැක ගනු ලබයි.

සිතිවිලි අතින් මැය දෙබිඩි චරිතයකි. අදහස් නිතර නිතර වෙනස් කරන බව අන් අයට හැඟෙන්නට ඉඩ හරී. එසේ කරන්නේ තමන්ගේම වාසියට තීරණයක් ගත හැකි අවස්ථාව එනතුරු කල් මැරීමටයි. රොමැන්ටික් සිහින දකින නමුත් ඇඟ බේරාගෙන චරිතය හා පවුල රැක ගනී.

සමස්තයක් වශයෙන් ගත් කල තුලා රැසේ සඳු පිහිටි කත භාග්‍ය වන්තියෙකි. ආහාර බව භෝග සම්පත් මනහර නිවසක් යනාදිය සහිතව සැපවත් ජීවිතයක් ගෙන යෑමට උපන්ගෙයි පින් ඇති තැනැත්නියකි.

ජීවිතයේ මැදි විය. විශේෂයෙන්ම වයස අවුරුදු 45 පසුවන විට ඔබ ඉතා පරෙස්සම් විය යුතුය. සන්ධි ආශ්‍රිත රෝග පැන නැඟිය හැක. එමෙන්ම මෙතෙක් රැකගත් චරිතය හා හොඳ නම කෙළෙසී යන අන්දමේ සිදු වීම්වලට මුහුණ පාන්නට සිදුවේ. තම පවුලෙන් හා සැමියාගෙන් බාහිර ජීවිතයක් සොයා යෑමට පියාපත් ලැබෙන කාලයකි. එහෙත් කැදැල්ලෙන් පියාඹා ගිය හොත් ඔබ නැවත ගොඩ ඒමට නොහැකි දැලක පැටලෙන බවත් මතක තබා ගත යුතුවේ.

කේ.සී.ජේ. රත්නායක

 

නව අදහස දක්වන්න