බකමුණ රෝහලේ වකුගඩු රෝග නිවාරණ ඒකකය විවෘත කළ දින සිටම වහලා | දිනමිණ

බකමුණ රෝහලේ වකුගඩු රෝග නිවාරණ ඒකකය විවෘත කළ දින සිටම වහලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිබිදෙන පොලොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ සංවර්ධනය කර ජනතා අයිතියට පත්කළ බකමුණ ප්‍රාදේශීය රෝහලේ වකුගඩු රෝග නිවාරණ ඒකකය හා බාහිර රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ඉදිකරනලද ගොඩනැඟිලි වසාදැමීම නිසා රෝගීන් අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටිති .

මේ ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අංග සම්පූර්ණ නොවීමත් මේ ගොඩනැඟිලි භාවිතයට ගැනීමට අවශ්‍ය උපකරණ නොමැති නිසා සායන පැවැත්වීම නොහැකිබව රෝහල් ආරංචි මාර්ග පවසයි. සායන සදහා දිනකට 450ක් පමණ සහභාගි වන අතර දිනකට බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝගීන් 350-400 පමණ පැමිණෙති .

දැනට මෙම රෝහල පවත්වාගෙන යාම සදහා වෛද්‍යවරු 11 ක් පමණ අවශ්‍ය වුවත් දැනට සේවයේ නිරතවී සිටිනුයේ වෛද්‍යවරු 5 ක් පමණි .හෙදියන් 23 ක් අවශ්‍ය නමුත් දැනට සේවයේ නිරතවී සිටිනුයේ 8 ක් පමණි .සුළු සේවකයින් 18 ක් සිටින නමුත් 36 ගේ අඩුපාඩුවක් පවතින බවද රෝහල් අරංචිමාර්ග වලින් වාර්තාවිය .

මේ පිළිබඳ පොලොන්නරුව දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සරත් ජයසිංහ මහතා මෙසේ පැවැසීය. .

මේ වකුගඩු රෝග නිවාරණ ඒකකය හා බාහිර රෝගීන් සඳහා ඉදිකරන ලද මේ ගොඩනැඟිලි දෙක හා රෝහල එක්වෙන කොරිඩෝවක් ඉදිකර නෑ. රෝගීන්ට වගේම කාර්ය මණ්ඩලයේ අයට එහාට මෙහාට ගමන් කිරීම අපහසුයි .මේ කොරිඩෝව ඉදිකන්න අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා .ඒ ලබන වසරේදී ඉදිකරන්නයි සැලසුම්කර තිබෙන්නේ . මේ ගොඩනැඟිලි ඉදිකරන විට සැලසුමක් නොමැතිව ඉදිකළ නිසයි මේ තත්ත්වය උදාවී ඇත්තේ.

සටහන හා ඡායාරූපය - ඇළහැර සමූහ සරත් වෙලගෙදර

නව අදහස දක්වන්න