ගී තනු නිර්මාණ සංගීතඥයකු ලෙස එච්. එම්. ජයවර්ධන පොහොසත් | දිනමිණ

ගී තනු නිර්මාණ සංගීතඥයකු ලෙස එච්. එම්. ජයවර්ධන පොහොසත්

මිනිස් භාවයන් ප්‍රකාශනයේදී සිංහල සරල ගීතය කෙතරම් පොහොසත් මාධ්‍යයක් දැයි ප්‍රකට කළා වූ විශිෂ්ට ගී තනු නිර්මාණ සංගීතඥයකු ලෙස සංගීතඥ එච්. එම්. ජයවර්ධන මහතා හැඳින්විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

එච්. එම්. ජයවර්ධන මහතාගේ අභාවය නිමිත්තෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් ‍මෙසේ සඳහන් කරයි.

ශ්‍රී ලාංකීය කලා සංගීත රසික දන මන රම්‍ය සඳ කිරණක්ව පතිතව උන් විශිෂ්ට සංගීඥයකු වූ එච්. එම්. ජයවර්ධන මහතාගේ අභාවය අප බෙහෙවින් කම්පනයටත්, සංවේගයටත් පත් කළ පුවතක් විය.

ජනප්‍රිය සංගීත රැළි සුළි වල ගසාගෙන නොගොස් සෘජුව රැඳී සිටීමේ දැවැන්ත ශක්තියකින් ද, සකල කලා සංස්කෘතික ධාරාවන් තම අණසකට ගත් වෙළෙඳ පොළ බලවේගවලට යට නොවන තරමේ අභිමානයකින්ද, කවර ආධුනික ශිල්පියකු හෝ රසිකයකු ඉදිරියේ වුව දයාවෙන් තෙත් වූ හදවතකින් ද යුතු වූ සංගීතඥයකු ලෙස දිගු කලක සිට අපි එච්. එම්. ජයවර්ධන මහතා හැඳින සිටියෙමු.

දුෂ්කර ගම් පෙදෙසක ඉපිද තම උත්සා‍හයෙන් උකහා ගත් දැනුමෙන් ද, සොබාදහම සමීපව අසුරු කිරීමෙන් උගත් මධුර නාද රටාවන්ගෙන් ද පොදු මිනිස් සමූහයා සමඟ එක්ව වැඩ කිරීමෙන් ලබා ගත් පන්නරයෙන් ද යුතු වූ සංගිතඥයකු වූ එච්. එම්. ගී තනු ලෙස අපට දායාද කළේ ඔහුගේ අසීමිත මනුෂ්‍යත්වයේ සාරය බව විටෙක මම කල්පනා කරමි.

අමරදේවයන්ගේ සිට ආධුනික තරුණ ගායකයින් දක්වා සිය ගණනක් ශිල්පීන් වෙත ගී තනු තනා දුන් එච්. එම්. මිනිස් භාවයන් ප්‍රකාශනයේ දී සිංහල සරල ගීතය කෙතරම් ‍ෙපාහොසත් මාධ්‍යයක් දැයි ප්‍රකට කළා වූ විශිෂ්ට ගී තනු නිමැවූ සංගීතඥයෙකි. “කඩමණ්ඩියේ දොළ අයිනේ” වැනි ගීතයක් වෙනුවෙන් එච්. එම්. නිම වූ තනුව මහා සංගීත සම්ප්‍රදාය පරිශීලනයෙන් දියුණු උසස් සංගීත විධික්‍රම භාවිතයෙන්, පුහුණු ශිල්පෝපක්‍රම යොදා ගැනීමෙන් ලොව කවර රටක දී හෝ නිමැවිය හැකි දැයි නොදනිමි. එබැවින්ම එය මනුෂ්‍යත්වයේ ගැඹුරුම ස්වර හැඳින සිටි එච්. එම්. ජයවර්ධනයන්ගේ තනුවක් වූ බව විශ්වාස කරමි.

එච්. එම්. ජයවර්ධන සංගීතවේදියාණන් අද අපෙන් සමුගෙන යන්නේ සිංහල සරල ගීතය පවතින තාක් රසවිඳිය හැකි මධුර ගී තනු සිය ගණනක් මෙන්ම ඔහු ඉක්මවා විශ්ව සංගීත රසික දන වෙත ගමන් කළ හැකි ප්‍රතිභාවයෙන් යුතුවූ පුතණුවන් කෙනෙකු ද අප වෙත දායාද කරමිනි.

එච්. එම්. ජයවර්ධන සංගීතවේදියාගේ අභාවය පිළිබඳ මගේ බලවත් සංවේගය එතුමාගේ පුත් කසුන් කල්හාර ඇතුළු පවුලේ ඥාති හිතමිත්‍රාදීන් වෙතත් එතුමන්ගේ රසික සමූහයා වෙතත් පළ කරන අතර එච්. එම්. ජයවර්ධන සංගීතවේදියා වෙත උතුම් අමාමහ නිවන් සුව පතමි.

නව අදහස දක්වන්න