ත්‍රස්ත මර්දන වගන්ති හදිසි නීතිය යටතට | දිනමිණ

ත්‍රස්ත මර්දන වගන්ති හදිසි නීතිය යටතට

අද ජාතික ශෝක දිනයක්

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් ඊයේ (22) රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට රජය තීරණය කර තිබේ. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත.

 ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ රැස් වූ අතර එහි දී එම තීරණවලට එළැඹිණි.

මේ අතර අද (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

පෙරේදා සිදු කළ ත්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම් එකී සියලු විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් දෙනු ලැබීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන අතර, එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටිනු ඇත.

දේශීය ත්‍රස්තවාදීන්ගේ මෙම සිදුවීම් පසුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තාකර ඇති බැවින් ඔවුන් මර්දනය කිරීම සඳහා මෙලෙස ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට නියමිතය.

මේ අතර කතෝලික දේවස්ථාන සහ ආරක්ෂාව අවශ්‍ය සියලු ස්ථානවලට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන්නැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

රට තුළ ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ඉදිරි ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

මේ අතර අද රාත්‍රි 8.00 සිට හෙට අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ද රජය තීරණය කර ඇත. 

නව අදහස දක්වන්න