ප්‍රා.ලේකම් කොට්ඨාසයකට අංගසම්පූර්ණ ජාතික පාසල් 3ක් | දිනමිණ

ප්‍රා.ලේකම් කොට්ඨාසයකට අංගසම්පූර්ණ ජාතික පාසල් 3ක්

සිතාරා සේනානි
සන්ධ්‍යා කරුණාරත්න

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම සියලු පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ පාසල් 3 බැගින් සංවර්ධනය කර, එම පාසල් ජාතික පාසල් ලෙස උසස් කිරීම මඟින් ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අදාළ පාසල් හඳුනා ගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.

නිදහස්, සම සාධාරණ හා ගුණාත්මක අධ්‍යාපනයක් සෑම දරුවකුට ම ලබා දීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ද ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී ය.

එසේම, සෑම දිස්ත්‍රික්කයකට ම ත්‍රෛභාෂික ඉගෙනුම් අවස්ථා සහිත සියලු පහසුකම්වලින් සමන්විත ජාතික පාසල බැගින් ආරම්භ කිරීමටත්, ඉදිරි වසර දෙකක කාලසීමාව ඇතුළත එවැනි පාසල් 20ක් ආරම්භ කිරීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

මෙම යෝජිත වැඩසහන් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

නව අදහස දක්වන්න