දසනායක ඇතුළු 13ට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරී | දිනමිණ

දසනායක ඇතුළු 13ට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරී

කුමුදු හෙට්ටිආරච්චි

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි දී තරුණයන් 11 දෙනෙක් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධව නාවුක හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක මහතා ඇතුළු විත්තිකරුවන් 13කට අධිචෝදනා භාර දුන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට ඊයේ (24) නියෝග කළේය.

ඒ අනුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප මත විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කෙරුණි.

නඩුවේ 14 වැනි විත්තිකරු ලෙස නම් කොට ඇති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඊයේ (24) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහුට සිතාසි භාර දුන් බවට වැලිකඩ පොලිසිය කිසිදු වාර්තාවක් ඉදිරිපත් කර නැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට නැවත සිතාසි නිකුත් කිරීමට ඊයේ (24) නියෝග කළ විනිසුරු මඬුල්ල විත්තිකරුට සිතාසි භාරදීමේ වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කෙරුණි.

චම්පා ජානකී රාජරත්න (සභාපති) අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාගයට ගැනේ.

නඩුව ඊයේ (24) කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් හට අධිචෝදනා භාරදීම සම්බන්ධව විත්තිය විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය.

නව අදහස දක්වන්න