නටබුන් ඉක්මවා නැඟුණ ටැම්පිට විහාරය | දිනමිණ

නටබුන් ඉක්මවා නැඟුණ ටැම්පිට විහාරය

ලංකා ඉතිහාසයේ ප්‍රතිනිර්මාණය කළ ප්‍රථම ටැම්පිට විහාරය මාර්තු මස 2 වැනි දින ශ්‍රි ලංකා ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සුබ මොහොතින් විවෘත වීමට නියමිතය.

විහාරයේ ශේෂව පැවති ගල්කණු අටෙන් එකක් කොටස් දෙකකට ඛන්ඩනය වි තිබිණි. එය ඉතා සුක්ෂම ලෙස කිසිදු පළුද්දක් නොවු විරු පරිදි මේ වන විට සකස් කර තිබේ.ඉපැරැණි මහනුවර චිත්‍ර හා මුර්ති ශිල්පයේ නියමයන් සහ හර පද්ධතින් උල්ලංඝනය නොකරමින් කළ වියන් සිත්තම, වෙස්සන්තර ජාතකයේ ඇතු දන්දීම, බෝධි සත්ව රූප, දොරටුපාල රූප සත් බුදුවරුන්ගේ චිත්‍ර, විෂ්ණු සහ ගම්භාර දේවතා රූප,ලියවැල් එදා පැවති ක්‍රමයට ම බටලිය අනුරූ නිකේතනයේ ශිල්පි සුනන්ද ජයවර්ධන අතින් නිම වී තිබෙන්නේ ඉතා අලංකෘතවය.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ ගම්තිහ කෝරළයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉපලෝගම ග්‍රාමයේ මෙම ඓතිහාසික විහාරස්ථානය පිහිටා තිබේ. ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයක ආගමික පිබිදීමක් සහිත ස්වර්ණමය යුගයක ඉතිහාස කතාවට සහසම්බන්ධයක් ඇති ආගමික මධ්‍යස්ථානයක් මෙම භූමියේ පවතින්නට ඇතැයි සිතිය හැකි පුරාවිද්‍යා නටබුන් රැසක් මෙම බිමෙන් හමු වී තිබේ.විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ඉපලෝගම රතනසාර ස්වාමින් වහනසේ විසින් මේ පින් බිමේ ඓතිහාසික වටිනාකම ඉස්මතු කිරීමට මහත් වෙහෙසක් දරණ ලදී. උන්වහන්සේ විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට මෙම විහාරස්ථානයේ වැදගත්කම මතු කර ගැනීමේ අවශ්‍යතාව කිහිප විටක් ම අවධාරණය කළහ. එහි ප්‍රතිඑලයක් ලෙස ලංකාවේ ප්‍රථම වරට ටැම් පිට විහාරයක් ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යය ට මුල පුරන ලදී.

මෙම විහාරස්ථානයේ මතු පිටින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක ස්මාරක කිහිපයකි.ඒ අතරින් විහාර භූමියේ පිහිටි ටැම් ලිපියක් මීට වසර කිහිපයක ට පෙර පර්යෙෂණාත්මක අධ්‍යයනයකට ලක් කළ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයකු වු කේ.එස් නාමල් මහතා මෙම ටැම් ලිපිය ක්‍රි.ව 8 , 9 සියවස්වලට අයත් බව ට ප්‍රකාශ කරන ලදී . එමෙන්ම එහි ඇති අක්ෂර මධ්‍ය කාලීන සිංහල බසට සමාන බවද ප්‍රකාශ කර තිබේ. මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයේ අවසාන භාගයේ ඉදි කළ එකක් බවත් මෙම විහාරස්ථානයේ චිරස්ථිතිය සඳහා කිසියම් වු ප්‍රදානයක් ගැන ටැම් ලිපියේ සඳහන් බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත. කදුරුවැව වේලගල පුරාණ රජ මහා විහාරය, මානිංගමුව ශ්‍රි බෝධි රුක්ඛාරාමය, තම්මිටගම ශ්‍රි දේව රක්ඛිතාරාමය, කොන්වැව වදකහගල ශ්‍රි බෝධි අනගතාරාම පුරාණ විහාරස්ථානය ආදි විහාරස්ථාන කිහිපයක් ම ඉපලෝගම ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයට අනුබද්ධව පවතී.

එමෙන්ම මහනුවර යුගයේ ඉදිකළ ටැම් පිට විහාරයේ නටඹුන් විශේෂත්වයක් ගනී. මීට අමතරව සිරිපතුල කොටන ලද ගල් පුවරු , විවිධ ඉදිකිරීම් වල නිෂ්ඨාවශේෂව පවතින ගල්කණු ඉතිහාසයේ ස්වර්ණමය යුගයක වත ගොත හෙළි කරන අතරම බුද්ධ පුත්‍රයන් වහනසේලා ධර්මඥානයෙන් සන්නද්ධව ශාසන මාමක කාරයයෙහි නිරත ව සිටි බවට සාක්ෂි දරන ඉපැරැණි පුස් කොළ ග්‍රන්ථ කිහිපයක් ද දැනටමත් විහාරස්ථානයේ සුරක්ෂිතව තබා ඇත. ත්‍රිපිටකයේ ග්‍රන්ථ , ජාතක පොත් වහන්සේ ආදිය මේ අතර වෙයි. මිට වසර 115කට පමණ පෙර වැඩ විසු ඉපලෝගම ඉන්ඳ්‍ර ස්වර්ණ හිමියන් විසින් මෙම ජාතක පොත් වහන්සේ රචනා කර තිබේ. එමෙන්ම ශත වර්ෂ 1760දී පමණ ලියන ලද සත් කෝරළයේ ගම් පිළිබඳ විත්ති පොතක් ද සුරක්ෂිතව පවතින අතර එහි කර්තෘවරයා ගැන සඳහනක් නොමැත.මහනුවර යුගයට අයත් යැයි සැළකෙන ලෝකඩවලින් සාදන ලද බුද්ධ රූප සහ දේව රූප කිහිපයක් විහාරස්ථානයේ දැනට ආරක්ෂිතව පවති.එමෙන්ම විහාරයේ කැණීම්වලදී ඕලන්ද කාසියක් , පොළොන්නරු යුගයට අයත් ලක්ෂ්මී රුව සහිත කාසි මේ බිමෙන් හමු වී තිබේ.

ගල්කණු අටක් පමණක් ශේෂව පැවති මෙහි ඉතාමත් අලංකෘත ටැම් පිට විහාරයක් දැන් ඉදි වී ඇත.විහාරසථානයේ වත්මන් විහාරාධිපති ඉපලෝගම රතනසාර හිමි ටැම්පිට විහාරය ප්‍රතිනිර්මාණයත් සමග පුදබිමට ලැබුණු ආලෝකය ගැන මෙසේ අදහස් දැක්වුහ.

ඉපලෝගම පුරාණ රජමහා විහාරස්ථානය පැරැණි ඉතිහාසයකට නෑකම් කියන පින් බිමක්. මෙහි ඓතිහාසික වටිනාකම අනාවරණය කර ගැනිමට හැකි වුණේ විහාර භුමියෙන් හමු වුණු ඉපැරැණි සෙල්ලිපියෙන්. ඉන් පසු අපි මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කළා ට පසු මේ වැදගත් කටයුත්තට පසු බිමක් සැකසුනා.වෙහෙර විහාරස්ථාන මුල් කරගෙන එදා පැවති චිත්‍ර, මුර්ති සහ ගෘහ නිර්මාණ ශිල්පය කෙබඳුද යන්න කැඩපතක් සේ අපට මෙහිදි දැන් දැක බලා ගැනිමට පුළුවන්. මේ වන විට ඉතාමත් අලංකාරව සියුම්ව ටැම්පිට විහාරය ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මෙය අපේ ඉතිහාසය යළි ඉස්මතු කිරිමක් ලෙසත් පැරැණි කලා ශාස්ත්‍රය අනාගතයට දායාද කිරිමක් ලෙසත් අපි දකිනවා

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංරක්ෂණ) ප්‍රසන්න රත්නායක, වාස්තු විද්‍යා සහකාර අධ්‍යක්ෂ ( සැලසුම්) ඩී.එම්.ඒ.පි .බස්නායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය සහ මගපෙන්විම මත සිදු කෙරුණු ටැම්පිට විහාරයේ ඉදි කිරිම් ගැන වයඹ පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ එල්.එම්.ගුණතිලක බණ්ඩා මහතා පැහැදිළි කළේ මේ අයුරිනි.

පුරාවිද්‍යාවට අනුව ස්මාරකයක් සංරක්ෂණය කිරිමේ ක්‍රම කිහිපයක් තිබෙනවා.එම ක්‍රම අතරින් නැවත ගොඩනැගිම හෙවත් ප්‍රතිනිර්මාණය කියන ක්‍රමයයි අපි මෙහිදි යොදා ගත්තේ. ප්‍රති නිර්මාණය කිරිම වඩාත් භාරදුර කාර්යයක් වන්නේ තිබුණේ යැයි තහවුරු වන තත්ත්වය ට උපරිම සාධාරණයක් කරමින් ගොඩනැගිමයි.එහිදි අප මුලින් ම මෙම ටැම්පිට විහාරය පැවති ආකරය බාහිර සාධක අනුව තහවුරු කර ගැනිමක් සිදු කළා. ඒ අනුව එම ස්ථානයේ ටැම් පිට විහාරයක් ඉදි කර තිබුණු බවට තහවුරු වුණා.අප කළ ප්‍රතිනිර්මාණය තුළ පැරැණි බව ආරක්ෂා කර ගනිමින් අලුත් බව ඉස්මතු වන අයුරින් එම ඉදිකිරිම කර තිබෙන බව දැක ගැනිමට පුළුවන්.මෙය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුර්ණ මැදිහත් විමෙන් ලංකාවේ ප්‍රතිනිර්මාණය කළ ප්‍රථම ටැම්පිට විහාරය ලෙස ඉතිහාසගත වෙනවා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කරන්නේ වාස්තු විද්‍යාත්මක ඉදි කිරිමයි.අපේ කාර්ය අවසන් වුණාට පසුව මෙම සිද්ධස්ථානයේ ජිවමාන බව සහ කල් පැවැත්ම වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා ඇතුළු අවශේෂ අංග එක් කිරිමට අපි අවසර ලබා දුන්නා.

වාස්තු විද්‍යාත්මක ඉදි කිරිම සම්බන්ධයෙන් ස්ථාන භාර තාක්ෂණ නිලධාරි එච්.එම්. චරිත් පුර්ණජිත් කරුණාරත්න මහතා මෙසේ විස්තර කරන ලදි.

මේ උත්සාහය අපි සියලු දෙනාට ම අභියෝගාත්මක අලුත් අත්දැකිමක් වුණා. අපි මුලින් ම කළේ අපේ සැලසුම් ශිල්පින්, ගෘහ නිර්මාණ ශිල්පින් ලවා මේ සඳහා වාස්තු විද්‍යාත්මක සැලැස්මක් සකස් කර ගැනිමයි.මේ සැලැස්ම අපිට ලැබුණට පසුව අපි අමුද්‍රව්‍ය ටික සපයා ගත්තා. ටැම් පිට විහාරයේ වහලය , පාදම සඳහා අවශ්‍ය මී , කුඹුක්, තේක්ක, හල්මිල්ල , කොන් වැනි දැව සහ වල් ලි අපි සොයා ගත්තා.ඒ වගේම බිත්ති ගොඩනැගිමට හුඹස් මැටි තමයි යොදා ගත්තේ .හුඹස් මැටි වතුරින් අනලා දවස් 14ක් පදම් වෙන්න තිබ්බා. අනතුරුව තමයි බිත්තිවලට මැටි බෝල තියලා , දෙමැට්ට ගහලා වැලි සහ මැටි යොදලා කපරාදු කළේ. වහළය ඉදි කිරිමේ දි ඉපැරැණි විහාර සහ ප්‍රභූ නිවාස ඉදිකිරිමේ දි භාවිත කරන නව ගිරි මුට්ටුව ට අනුව දැවවලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඉතාමත් ලස්සනට අපේ ශිල්පින් ඒ කාර්ය නිම කළා. ක්‍රි.ව 1700දි පමණ ඇරඹුණු ටැම්පිට විහාර සම්ප්‍රදායේ එන සියලු ලක්ෂණ මේ ඉදිකිරිමට උකහා ගත්තා. මේ සඳහා තාරක බන්ඩාර, ටී.එම් ජයවර්ධන, අනුර කුමාර, සංජිව ප්‍රසාද්, සම්පත් රත්නායක ධනංජය ලක්මාල්, ප්‍රදිප් දිසානායක ,ඩබ්.එම් විජේබණ්ඩා යන වඩු කාර්මිකයින් ,පෙදරේරුවන් සහ සහායකයින් ලෙස අපට ශ්‍රමය ලබා දුන්නා. අපි ප්‍රදක්ෂිණා පථය පමණක් තරමක් වෙනස් කර ටිකක් පළලට ඉදි කළා.ටැම්පිට විහාරය කියන්නේ කලාගාරයක් වගේ. අපි ඒ අනන්‍යතාවයට හානියක් නොවන පරිදි සාධාරණය ඉටු කලා කියලා අපි හිතනවා......

විහාරයේ ශේෂව පැවති ගල්කණු අටෙන් එකක් කොටස් දෙකකට ඛන්ඩනය වි තිබිණි. එය ඉතා සුක්ෂම ලෙස කිසිදු පළුද්දක් නොවු විරු පරිදි මේ වන විට සකස් කර තිබේ.ඉපැරැණි මහනුවර චිත්‍ර හා මුර්ති ශිල්පයේ නියමයන් සහ හර පද්ධතින් උල්ලංඝනය නොකරමින් කළ වියන් සිත්තම, වෙස්සන්තර ජාතකයේ ඇතු දන්දීම , බෝධි සත්ව රූප, දොරටුපාල රූප , සත් බුදුවරුන්ගේ චිත්‍ර,විෂ්ණු සහ ගම්භාර දේවතා රූප,ලියවැල් එදා පැවති ක්‍රමයට ම බටලිය අනුරූ නිකේතනයේ ශිල්පි සුනන්ද ජයවර්ධන අතින් නිම වී තිබෙන්නේ ඉතා අලංකෘතවය.

ඉපලෝගම පුරාණ රජ මහා විහාරයේ ප්‍රෞඪත්වයේ භෞතික වටිනාකම් එසේ තවත් පරපුරක් උදෙසා දැයාද වි තිබෙන අතර ම මෙම විහාරස්ථානය පිහිටි ඉපලෝගම ගම්මානය පිළිබඳව ද දැන ගනු වටි.එදා මෙදා තුර බුදු දහමේ ව්‍යාප්තිය සහ ප්‍රබෝධය ලංකාද්වීපය පුරා ඇති කළාවු ගමන් මගේ ඉපලෝගම ග්‍රාමයේ බොදු ගොවි පෙළපතින් පැවත එන වංශවත් පරපුරේ පිරිමි දරුවෝ විශාල පිරිසක් බුද්ධ ශාසනයට ඇතුළත් ව මහත් සේවාවක් සිදු කර තිබේ .අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසු ඉපලෝගම ශ්‍රි සුමන ධම්මජෝති , කුලියාපිටිය බිහල්පොල පුරාණ රජ මහා විහාරාධිපති ඉපලෝගම බුද්ධ රක්ඛිත, දේව මැදි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක කඩදුන්න විහාරයේ විහාරාධිපති ඉපලෝගම සරණංකර , ගම්පහ වරාදල පුරාණ විහාරාධිපති ඉපලෝගම සරණතිස්ස, ගල්ගමුව බුදුරුවකන්ද විහාරාධිපති වන්නිහත්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඉපලෝගම රතනපාල , අඹන්පොල ශ්‍රි බෝධි රුක්ඛාරාම විහාරාධිපති වන්නි හත්පත්තුවේ ද්විතිය සංඝනායක ඉපලෝගම පියරතන, කොටවෙහෙර මීවැල්ලෑව ශ්‍රි ශෛල බිම්බාරාමාධිපති ඉපලෝගම විජිතපාල ආදි රටේ නන් දෙස බෞද්ධ ප්‍රබෝධයෙන් දියුණුවට පත්වුණු විහාරස්ථාන බොහොමයක අධිපතිත්වය දරණ සංඝ පීතෘවරයාණන් වහන්සේලා ඉපලෝගම ග්‍රාමයේ ජනමලාභය ලැබුවෝ වෙති.

කාලයේ වැලිතලාවෙන් යටපත් වී ඇති ඉතිහාසය ක මතු කොට අනාගතය පරපුරට සුරක්ෂිත කර දිම තරම් මතු පරම්පරාවකට දිය හැකි තවත් දායදයක් නොමැති තරම්ය .මේ කාර්ය තවදුරටත් ශක්තිමත් කිරිම සඳහා මෙම පුද බිම රජ මහා විහාරයක් ලෙස ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තහවුරු කිරිම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කිරීමට නියමිතය.සිහළ බොදු පරපුරේ අනන්‍යතාව ලොවට විදහා පෙන්වන මේ මහාර්ඝ නිර්මාණය මතු කර ගැනිමට මග පෑදුවෝද, නන් අයුරින් සහාය දැක්වුවෝ ද මේ පුද බිම දැකබලා පහන් සංවේගය ජනිත කරගන්නා ඇත්තන්ගේ සම්භාවනාවට ලක් වනු නොවනුමානය.



සකුන්තලා ජයසිංහ 
අඹන්පොල විශේෂ

නව අදහස දක්වන්න