ඉරාන ඔලිම්පික් ශූරයාටත් කොරෝනා | දිනමිණ

ඉරාන ඔලිම්පික් ශූරයාටත් කොරෝනා

ඉරානය වෙනුවෙන් මලල ක්‍රීඩාවෙන් පළමු ඔලිම්පික් පදක්කම දිනා ගැනීමේ වාර්තාවට හිමිකම් කියන එහ්සාන් හඩාඩි කොරෝනා වෛරසයට ගොදුරු වී ඇත. වසර 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කවපෙත්ත වීසි කිරීමේ තරගයෙන් රිදී පදක්කම දිනාගත් මේ ක්‍රීඩකයා මේ වනවිට ටෙහෙරාන් නුවරදී ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටී. කවපෙත්ත වීසි කිරීමේ තරග ඉසව්වේ ආසියානු ශූරයා ද වන හඩාඩිගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වෙයි.

ඉරාන ජාතික කවපෙත්ත වීසිකිරීමේ ශූරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වුණා. අප ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.‘ මේ පිළිබඳ ට්විටර් වෙබ් අඩවියේ සටහනක් තබමින් ලෝක මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් 35 හැවිරිදි හඩාඩිගේ තත්ත්වය බරපතළ නොවන බැවින් ඔහු ඉක්මන් සුවය ලබනු ඇතැයි ඉරාන මලල ක්‍රීඩා සංගමයට අනුබද්ධිතව සේවය කරන වෛද්‍යවරයා පවසා තිබේ. කවපෙත්ත වීසි කිරීමේ තරග ඉසව්වෙන් වසර 6ක්ම ආසියානු ශූරතාව දිනූ හඩාඩි පසුගියදා කල් දැමූ තෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී කවපෙත්ත වීසි කිරීමේ තරග ඉසව්වේ රන් පදක්කම දිනාගනු ඇතැයි අනාවැකි පළවී තිබූ ක්‍රීඩකයෙකි. ඔහු මල්ලව පොර, බර ඉසිලීම සහ ටයිකොන්ඩෝ ක්‍රීඩා හැරුණු විට ඉරානය වෙනුවෙන් ඔලිම්පික් පදක්කම් දිනූ එකම ක්‍රීඩකයා වෙයි.

නව අදහස දක්වන්න