බළලූන් කොරෝනා වාහකයන් විය හැකියි | දිනමිණ

බළලූන් කොරෝනා වාහකයන් විය හැකියි

බළලූන්ට කොරෝනා වාහකයින් ලෙස කි‍්‍රයාකළ හැකි බව නවතම අධ්‍යනයකින් හෙළිදරව්වී ඇතැයි චීනයේ හාබින් පර්යේෂණ ආයතනය පවසයි.

ඒ අනුව එම ආයතනයේ පර්යේෂකයින් පිරිසක් විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ බළළුන් පිරිසක්, වෛරසය ආසාදනය නොවූ බළලූන් පිරිසක් වෙත යොමු කර තිබුණි.

එහි ප‍්‍රථිඵලයක් ලෙස වෛරසය ආසාදනය නොවූ බළලූන් හට, වෛරස් ආසාදිතයින්ව සිටි බළලූන් පිරිසගෙන් එම වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

මෙහිදී එම බළලූන් කණ්ඩායම් 02 ට එකිනෙකා සමග ස්පර්ශවීමට ඉඩ ලබානොදී ඇති නමුත් සමීපයේ රැඳී සිටීමට පමණක් අවස්ථාව සලසා දී තිබුණි.

ඒ අනුව බළලූන්ගෙන්, බළලූන්ට මෙම කොරෝනා වෛරසය ආසාදනය වන බවයි එම අධ්‍යයනය සිදුකළ පර්යේෂකයින් පිරිස නිගමනයට එළඹ ඇත්තේ.

කෙසේ වෙතත්, බළලූන්ගෙන්, මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වන බව මෙතෙක් කිසිඳු පරීක්ෂණයකින් තහවුරු වී නැහැ. 

මේ අතර මෙම අධ්‍යයනයේ නිගමනය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර නිවසක සුරතලයට ඇති කරන බළලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ පුවතක්, බෙල්ජියමෙන් වාර්තා විය.

අදාළ නිවෙස හිමි කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර ඉන් සතියකට පමණ පසුවයි බළලාට එම වෛරසය ආසාදනය වී තිබුණේ. 

චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වුනු කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය, සතුන්ගෙන් මිනිසුන්ට සම්පේ‍්‍රෂණය වන්නට ඇති බවටයි මත පළ වුණේ.

එහෙත් එම වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්පේ‍්‍රෂණය වන බව ද මෙතෙක් තහවුරු වී නැහැ. 

මේ වනවිට ලොව පුරා රටවලින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන එකොළොස් ලක්ෂ 33, 815 ක් වනවා. මරණ ගණන වාර්තා වන්නේ 60, 398 ක් ලෙසයි.

නව අදහස දක්වන්න