පසුගිය රජය අස්සන් කිරීමට සිටි එම්සීසී ගිවිසුමේ රටට අහිතකර වගන්ති රැසක් | දිනමිණ

පසුගිය රජය අස්සන් කිරීමට සිටි එම්සීසී ගිවිසුමේ රටට අහිතකර වගන්ති රැසක්

සිතාරා සේනානි

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්

පසුගිය රජය සමයේ අස්සන් කිරීමට නියමිතව තිබූ එම්.සී.සී. ගිවිසුමේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට හා රටේ නීති පද්ධතියට ද පටහැණි වගන්ති රැසක් ඇතුළත්ව තිබෙන බව එම ගිවිසුම සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ටී. ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.මේවා කොතෙක් දුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි දැයි කියන්නේ නම් 'ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය එම ගිවිසුම සඳහා අදාළ නොවේ' යනුවෙන් එයට වගන්තියකින් ඇතුළත් කර ශ්‍රී ලංකා රජයෙන් අස්සන් ගැනීමට සූදානම්ව තිබූ බවත් ඒ මහතා සඳහන් කරයි.

ප්‍රසම්පාදන කොමිසම යනු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් කළ එක් ස්වාධීන කොමිසමක් බවද, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ක්ෂේත්‍රයේ සියලු ප්‍රසම්පාදන කටයුතු සඳහා මාර්ගෝපදේශ සාදා නියාමනය කිරීම එම කොමිසම වෙත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පැවරී තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ කටයුතු මේ රටේ පොදු මහජනතාවට විවෘත වී නැති බව මෙම ගිවිසුම අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වූ බවද පැවසූ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් වහතා, එම තත්ත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර ගිවිසුම් අස්සන් කරන විට මීට වඩා විනිවිද පෙනෙන ආකාරයට මහජනතාව දැනුම්වත් කරමින්, වඩා ප්‍රජාතන්ත්‍රීය ආකාරයට කටයුතු කළ යුතු බවටත්, මෙවැනි දේවල් සැඟවීම සුදුසු නොවන බවටත් තම කමිටුවේ වාර්තාවෙන් යෝජනා කර තිබෙන බවද සඳහන් කරයි.

‍ මෙම ගිවිසුම සම්බන්ධයෙන් රජයේ අදාළ කිසිදු ආයතනයකින් අදහස් හෝ නිර්දේශ ලබා ගෙන නොතිබූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

එබැවින් මෙම ගිවිසුමේ සඳහන් රටට හානිකර වගන්ති හේතුවෙන් එය කිසිදු කොන්දේසියකින් තොරව ප්‍රතික්ෂේප කළ යුතු බවට තම කමිටුව රජයට නිර්දේශ කර තිබෙන බවත් ඒ මහතා පවසයි. එසේම මෙය සලකා බැලීමටවත් රජයට අවශ්‍ය වන්නේ නම්, රටේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ රටේ නීති රෙගුලාසිවලින් බැහැර නොවන පරිදි සහ රටේ නියමිත ක්‍රමවේද යටතේ, මනාව විශ්ලේෂණය කර, රටට හානියක් නොවන ආකාරයට ගොඩනඟා මෙවැනි කොන්දේසිවලින් තොරව ක්‍රියාත්මක කරන්නේ නම් එය සලකා බැලිය හැකි යැයි ද ඒ මහතා පවසයි. එසේ වුවද, එය අනිවාර්යයෙන් කල් ඇතිව මහජනතාවටත්, මාධ්‍යවලටත් විවෘත කළ යුතු බවද, එසේම වෘත්තීය අංශවල අදහස් ලබා ගෙන ප්‍රමාණවත් ආකාරයට සමාජ සංවාදයකට විවෘත කර පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කර ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කරයි.

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (3) පැවැති මාධ්‍ය හමුවේදී ය.

නව අදහස දක්වන්න