පාතාලයේ හුස්ම හිර කර සමාජ ජීවිතයට ‘ඔක්සිජන්’ දීම | දිනමිණ

පාතාලයේ හුස්ම හිර කර සමාජ ජීවිතයට ‘ඔක්සිජන්’ දීම

ලෝකයේ ඇති ප්‍රබල ජාවාරම් ක්‍රියාත්මක කෙරෙන අතරමැදි මධ්‍යස්ථානයක් බවට බන්ධනාගාර පත් වී ඇති බව ප්‍රචලිත වී ඇත. අද වනවිට බන්ධනාගාරය අපරාධකරුවන්ට ආරක්ෂා සහිත තැනක් වී තිබේ. මේ සඳහා දැනට සම්පාදනය කර තිබෙන නීති ක්‍රියාත්මක කර සුළු ගිනි අවි පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැදගත්ය. ඔවුන්ට දඬුවම් හා විවිධ අත්දැකීම්වලට ලක්වීමට සිදු වුවද එය ආරක්ෂිත තැනක් ලෙස පිළිගැනේ. මේ නිසා අපරාධ කල්ලි මැඬලීමට දැනට වඩා බන්ධනාගාරය උනන්දු විය යුතුව ඇත

පාතාලයේ ක්‍රියාකාරකම් සමාජයට කළ බලපෑම මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, කුලියට මිනී මැරීම්, දේශපාලනඥයන්ගේ ඕනෑඑපාකම් ඉටු කිරීම, ධනවත් සමාගම්වල අවශ්‍යතා ඉටු කිරීම යනාදිය දක්වා ව්‍යාප්ත වී ඇත. මේ පිළිබඳ අවධානය යොමු කර පාතාල ක්‍රියාකාරකම් සමාජයෙන් මුලිනුපුටා දමමින් පුද්ගලයාට දක්වන ක්‍රෑරත්වය පාලනය කිරීමට වර්තමාන රජය ගෙන යන වැඩපිළි­ෙවළෙහි සාර්ථකත්වය දැනටමත් දෘශ්‍යමාන වීම සතුටට කරුණකි.

වර්තමානයේ පාතාල කල්ලි අතර පවතින තරගය නිසා සමාජ භීතියක් මතු වී තිබේ. පාතාල කල්ලි අතර ගැටුම් ඉතා ඉහළ තත්ත්වයකට පත්ව ඇති අතර ඒවායේ ස්වභාවය දරුණු වී ඇත. අවසානයේ දී කෙනකු හෝ කිහිපදෙනකු හෝ මරණයට පත් වීම එහි ප්‍රතිඵලයයි. එහි බලපෑම ඔවුන්ට පමණක් නොව ඉන් බාහිර පාර්ශ්වයන්ට ද ඇති විය හැකි අතර ඇතැම් විට රජයේ සහ පෞද්ගලික දේපොළ ද විනාශ විය හැකිය.

ලෝකයේ සෑම රටකම සෑම කලාපයකම සංවිධානාත්මක අපරාධ කල්ලි හෙවත් මැර කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය දැකගත හැකි ය. රාජ්‍ය තන්ත්‍රයට යටින් අදෘශ්‍යමානව ක්‍රියාත්මක වන ආයුධ සන්නද්ධ මැර කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය සංවිධානාත්මක අපරාධ කල්ලි ලෙස තවදුරටත් හැදින්වීමට පුළුවන. පොදු ජනතාවගේ එදිනෙදා ගැටලු විසඳීමට වෙන් කළ පොලීසියේ කාලය, රාජ්‍ය ආරක්ෂාව සැලැසීමට යෙදවීමට සිදු වීම නිසා අවධානය යොමු කළ යුතු ඇතැම් දේ මගහැරීමත් පාතාල කල්ලි සමාජය තුළ නිර්මාණය වීමට හේතුවකි. එවැනි අවස්ථාවල නීත්‍යනුකූලව ක්‍රියා කිරීමට වැඩිකාලයක් ගත වන බැවින් පාතාලය හරහා කෙටි කාලයකින් තම ප්‍රශ්න විසඳා ගැනීමට ඇතැම්හු පෙලඹී සිටිති. පාතාල කල්ලි ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගත්තේ එසේය.

 

කළු සල්ලි

නිසි ලෙස අධ්‍යාපනයක් නොලබා සමාජගත වන දරුවන් බහුතරයක් කුඩා කණ්ඩායම්වලට එක් වෙමින් කටයුතු කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස ඉතා කෙටි කාලයකින් මුදල් ඉපැයීමට විශේෂයෙන් මත්කුඩු විකිණීම, මත්කුඩු ප්‍රවාහනය, කුඩු මෙරටට ගෙන්වීම වැනි ක්‍රියාකාරකම්වලට මේ අය යොමුවේ. මේ වනවිට මේ කණ්ඩායම් කැසිනෝ ආයතනවල, රාත්‍රී සමාජ ශාලාවල ගැටුම් විසඳීමට පවා පෙලඹී සිටිති. මේ තත්ත්වය වසර 1972 න් පසුව ආරම්භ වී 1978න් පසුව ප්‍රබල ලෙස වර්ධනය වී තිබේ. මෙවන් පසුබිමක් රටේ ඇතිවීමට කුඩා ගිනි අවි භාවිතය වැඩි වීමද ප්‍රබල බලපෑමක් සිදු කර ඇත.

ඔවුන් විවිධාකාර මංකොල්ලකෑම්, මිනී මැරුම් ආර්ථික අංශයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ගැනීම සිදු කරමින් කුඩා මට්ටමේ සිට විශාල මට්ටම්වල ව්‍යාපාර දක්වා බලපෑම් කරයි. මෙවැනි ක්‍රියාකාරකම් රාශියක් ඔවුන් සිදු කරන්නේ ඇතැම් දේශපාලන තන්ත්‍ර සමඟ සහ සම්බන්ධ වෙමිනි.

සමාජයට පිළිලයක් වී ඇති මෙම පිරිස නීතියේ රැහැනට හසු කර උපරිම දඬුවම් ලබා දුන්නද බන්ධනාගාර තුළ සිට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු පෙර පරිදි කරගෙන යන ආකාරය දැකගත හැකිය.එය පාලනය කර ගත නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වී ඇත්තේ බලය සහිත ඇතැම් පිරිස් ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීම නිසාය. මොවුන්ගේ ක්‍රියාකාරීත්වය ඔස්සේ ජාතික ධනය විශාල ප්‍රමාණයක් කළු සල්ලි බවට පරිවර්තනය කරයි. රටේ ජාතික ආර්ථිකයට යොදවන මුදල් කළු සල්ලි ලෙස විශාල වශයෙන් මැර කණ්ඩායම් හරහා හුවමාරු වීම එහි ප්‍රතිඵලයයි. මෙය භයානක පිළිකාවක් ලෙස නිර්වචනය කළ හැකිය.දේශපාලන අධිකාරිය සමඟ සම්බන්ධ වෙමින් මොවුන් රාජ්‍ය යාන්ත්‍රණයට පවා යම් ආකාරයක බලපෑමක් කරන ආකාරය දැකගත හැකිය. මෙය රටක නිරෝගී සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාවලියට අහිතකර බලපෑමක් ඇති කරයි.

 

පාතාලය පාලනය

ලෝකයේ මැර කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය එදා සිට පැවත එන්නකි.වර්තමානයේද එම තත්ත්වය දැකගත හැකි අතර එය ක්ෂේත්‍ර ගණනාවකටම බලපෑම් සිදු කරයි. සිනමාවේ එක් ප්‍රවර්ගයක් නැත හොත් ෂානරයක් වන්නේ ගැන්ස්ටර් සිනමාවයි. අපරාධ කණ්ඩාම් පිළිබද සිනමාව නැත හොත් පාතාල සිනමාව ලෙස හැදින්වෙන්නේද එයයි. පාතාල සිමාවට නාගරික අපරාධ පාදක වේ. මාලන් බ්‍රැන්ඩෝ රංගනයෙහි යෙදුණු ගොඩ් ෆාදර් මේ සඳහා නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. ඉහළ සමාජයට සම්බන්ධකම් ඇති සුපිරි පන්තියේ ජීවත් වන වැදගත් චරිතයක් නිරූපණය කරන ඔහුගේ කාර්යය පාතාලය පාලනය කිරීමයි.

දේශපාලන අධිකාරිය සමග සම්බන්ධ වී මොවුන් දූෂිත රාජ්‍ය නිලධාරීන් සහ දූෂිත ආරක්ෂක අංශ සමග සම්බන්ධ වී නීතිමය නොවන වෙළදාම් කටයුතු සිදු කරයි. මේවා ජාතික මට්ටමෙන් පමණක් නොව අන්තර්ජාතික මට්ටමෙන්ද සාර්ථව පවත්වාගෙන යාමට රේගුව, ආගමන විගමන වැනි ඇතැම් පාර්ශ්වයන්ගේ සහයෝගය ලබා ගනී. ලිංගික වෙ‌ෙළදාම හෙවත් මිනිස් වෙ‌ෙළදාම වැනි ජාවාරම්, ජාන හුවමාරුව, වැලි ජාවාරම් විශාල ව්‍යාපාර ජාල දක්වා කප්පම් ලබා ගැනීම දැකගත හැකිය.

මීට දින කිහිපයකට පෙර පෞද්ගලික බස් සංගම්හි බලධාරීන් ප්‍රකාශ කර සිටියේ , මෙම මැර කණ්ඩායම් බස් රථවලට ගොඩවැදී කප්පම් ගැනීම සිදු කරන බවයි. ජාතික ප්‍රවාහන නියෝජිත මණ්ඩලය පවසන අකාරයට සෑම නගරයකම මෙකී අල්ලස් ගැනීම සිදුවේ. රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ඇතැම් දේශපාලන ආයතන ග්‍රහණය කර ගනිමින් මෙම කණ්ඩායම් සෑම පුරවැසියකුගේම ජීවිත අවදානමකට ලක්කර ඇත. මොවුන් සාමාන්‍ය මැර ක්‍රියාකාරකම්වලින් ඔබ්බට ගොස් දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් දැකගත හැකිය. මොවුන් ප්‍රාදේශීය දේශපාලනඥයන් වීම තවත් ඛේදවාචකයකි.එහි නායකයන් සුදු කරපටිධාරීන් ලෙස ප්‍රභූ සමාජය තුළ සම්බන්ධව සිටින අය විය හැකිය.

සමස්තයක් ලෙස ගත් කල ලෝකයේ ඇති ප්‍රබල ජාවාරම් ක්‍රියාත්මක කෙරෙන අතරමැදි මධ්‍යස්ථානයක් බවට බන්ධනාගාර පත් වී ඇති බව ප්‍රචලිත වී ඇත. අද වන විට බන්ධනාගාරය අපරාධකරුවන්ට ආරක්ෂා සහිත තැනක් වී තිබේ. මේ සඳහා දැනට සම්පාදනය කර, තිබෙන නීති ක්‍රියාත්මක කර සුළු ගිනි අවි පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැදගත්ය. ඔවුන්ට දඬුවම් හා විවිධ අත්දැකීම්වලට ලක්වීමට සිදුවුවද එය ආරක්ෂිත තැනක් ලෙස පිළිගැනේ. මේ නිසා අපරාධ කල්ලි මැඬලීමට දැනට වඩා බන්ධනාගාරය උනන්දු විය යුතුව ඇත.

පාතාල කල්ලි වර්ධනයට බන්ධනාගාරය තුළ වැඩි ඉඩකඩක් පවතී. පාතාල කල්ලියක නායකයකු කිසියම් වරදකට බන්ධනාගාර ගතවූ පසු, ඔහුගේ ගෝලබාලයෝ සුළු වරදක් කොට බන්ධනාගාර ගත වී විවිධ භයානක අපරාධ එහි සිට සැලසුම් කරති. ඒවාට සහය දෙන නිලධාරීන් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ මගින් ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ක්‍රියා පිළිවෙත කෙරෙහි මහජන විශ්වාසයක් ඇති කරමින් නීතිය බලාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය වී ඇත. අනෙක් කරුණ අදාළ ආයතනය තුළ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ සැකයක් නැවත මතු විය නොහැකි බවය. ඉන් හැඟෙන තවත් අර්ථයක් වන්නේ අදාළ ආයතනය තුළ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමට රජය විශාල මෙහෙයක් දරන බවය.

බන්ධනාගාරය හෝ පොලීසිය බිඳවැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි එය බලපාන අතර කුමන දේශපාලන මතයක් දැරුව ද නිලධාරියකු හරි දේ කරන්නේ නම් එය අනුමත කිරීමට තමා පසුබට නොවන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත් කර සම්පූර්ණයෙන් විධිමත් කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරමින් නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද උපදෙස් දී ඇත. දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇත. බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපානු ලැබේ.

අප රට තුළ විවිධ දෙපාර්තමේන්තු, අධිකාරි තුළ සිටින පිරිස් අපරාධ මර්දනයට මනා සම්බන්ධිකරණයකින් ක්‍රියා කළ යුතුවේ. සියලු නිලධාරීන්ගේ අරමුණ විය යුත්තේ රටේ ජනතාවට භීතිය, ත්‍රාසය නැතිව ජීවත් වීමට අවශ්‍ය වාතාවරණය, පරිසරය නිර්මාණය කරලීම ය. රට වැසි ජනතාවද තමන් දන්නා තොරතුරු වහාම ආරක්ෂක අංශ වෙත ලබාදිය යුතුය. එම තොරතුරු ලබා ගන්නා පාර්ශ්ව තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය උපරිමයෙන් රැකිය යුතුය.

තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී බුද්ධි අංශ දත්ත ඉතා වැදගත්ය. අපරාධ විද්‍යාව හා සංඛ්‍යාලේඛන පිළිබඳව දැනුම තිබෙන අය මේවා සියුම්ව විමර්ශනයට ලක් කළ යුතුය.

 

දැඩි පරීක්ෂාව

මේ රටට ගිනි අවි නීතිවිරෝධීව ඇතුළුවීම වැළැක්වීමට දැඩි පරීක්ෂාවට ලක් කළ යුතුය. ගිනි අවි බෝට්ටු මගින් ගුවනින් මෙරටට රැගෙන ආ හැකි බැවින් ඒ පිළිබඳව ද බුද්ධි අංශ සොයා බැලිය යුතුය . ඒ ගිනි අවි බොහෝ විට පාතාල කරුවන් අතට පත්වීමේ දැඩි අවධානමක් පවතින නිසා පොලිස් නිලධාරීන් විසින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලක් යොදා පරීක්ෂණ කළ යුතුය.

පාතාල කණ්ඩායම් මර්දනය කර ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ශුන්‍ය කිරීමට නම් ඔවුන්ගේ බලය අවම කළ යුතුය.ජනාධිපතිවරයා පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය ලංකාවේ උතුරු නැගෙනහිර ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත්තා හා සමාන වැදගත්කමක් හිමිවන ඉදිරිගාමී වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකිය. එහි සාධනීය ලක්ෂණ දැනටමත් දෘශ්‍යමාන වීම යහපත් ප්‍රවණතාවකි.

නීතියේ ආධිපත්‍යය රටක් තුළ ස්ථාපිත කිරීමට නම් අනිවාර්යයෙන් නීතියට පිටින් සිටින් බල කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නවත්වමින් සමාජ දේහය මේ පිළිකාවෙන් මුදා ගැනීමට රටේ නීතිය ශක්තිමත් කළ යුතුය. රට තුළ සිදුවන නීත්‍යානුකූල නොවන ආයුධ පරිහරණය කරන්නන්ට එරෙහිව උපරිම ක්‍රියා මාර්ග අදාළ නිලධාරීන් විසින් ගත යුතුය. මෙය ක්‍රියාත්මක නොවන තාක්කල් යහපත් සමාජ ආර්ථික දේශපාලන ගමන් මඟකට රට රැගෙන යා නොහැකිය.

අපරාධකරුවන් යනු මේ රටේම ජනතාවගෙන් කොටසකි. ඒ කොටස් ඉන් ගලවා ගැනීමට ආගමික නායකයින්ට, දේශපාලනඥයන්ට, වෘත්තීයවේදීන්ට, රට වැසියන්ට පුළුවන්කම තිබිය යුතුය. ඒ සඳහා පෙලඹවීමක් ආගමික මධ්‍යස්ථානවලින් ඇරඹිය යුතුය. දේශපාලනය හෝ වෙනත් බලවේග සිය ජයග්‍රහණය තකා අදෘශ්‍යමාන හස්තයක් බවට පත්කර සිටින මැරයන් ලෙස ලේබල් ගසන ලද පිරිස අත ද විවිධ මාදිලියේ ආයුධ ඇත. ඒවා නීති විරෝධී අවිය. ඒවායින් ද අපරාධ සිදුවේ .මේ අහිතකර බලපෑම් විසින් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම අවධානමක් කරා රැගෙන යයි.ඒ පිළිබඳ අවධානය යොමු කරමින් අපරාධ නොමැතිව ජීවිත පැවැත්ම රැක ගැනීම කාගේත් ඒකායන අරමුණ විය යුතුය.

 

නව අදහස දක්වන්න