ඡන්දය දාන්න බිය නොවන්න | දිනමිණ

ඡන්දය දාන්න බිය නොවන්න

චතුමී පිටිපන

ඡන්දය, ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතා අයිතිවාසිකමකි. තමා වෙනුවෙන් පෙනී සිටින්නට ගැළපෙනම නියෝජිතයා තෝරා ගැනීමට ජනතාවට හිමිවන එම අයිතිවාසිකමට, වක්‍රාකාරයෙන් හෝ සෘජුව බලපෑම් කිරීමට කිසිවකුට හැකියාවක් නැත. ඡන්දය භාවිත කිරීම පිළිබඳ ඡන්ද දායකයාට විවිධ ගැටලු තිබිය හැකිය. කොවිඩ් 19 හේතුවෙන් මෙවර ඡන්දය සුවි‍ශේෂී මුහුණුවරක් ගෙන තිබේ. මේ කරුණු පිළිබඳ මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක සමඟ කළ කතාබහ ඇසුරින් මේ ලිපිය සැකසිණි.

ශ්‍රී ලංකාවේ ඡන්ද මධ්‍යස්ථාන 12,985ක් ස්ථාපිත කොට තිබේ. කිසියම් පුද්ගලයකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යා යුතුව ඇත්තේ මින් එක් ස්ථානයකට පමණි. එම ස්ථානය පන්සලක්, කෝවිලක්, පල්ලියක් වැනි ආගමික ස්ථානයක්, ප්‍රජා ශාලාවක් වැනි පොදු ස්ථානයක් හෝ පාසලක් වැනි රජයේ ආයතනයක් විය හැකිය. එය කිසිවකුට නුහුරු නුපුරුදු ස්ථානයක් නොවේ. මෙම ස්ථානය බොහෝ විට උපන් දා සිට ආ ගිය ස්ථානයක් විය හැකිය. ඇතැම් විට ඡන්දය දැමීමටම නොවූවත් වෙනත් කාරණා හේතුවෙන් මෙම ස්ථානයට පැමිණි කෙනකු විය හැකිය.

පාසල, පන්සල හා ප්‍රජා ශාලාව වැනි ස්ථානවලට ජනතාව තමන් වෙනුවෙන් නොව මව්පියකු වශයෙන් හෝ පැමිණි පොදු ස්ථාන තිබේ. ඡන්ද මධ්‍යස්ථාන 12,985න් තමන් ඡන්දය දැමීම සඳහා යන ස්ථානය එම පුද්ගලයාට හුරු පුරුදු ස්ථානයකි. මෙම වතාවේ පළමු ඡන්දය භාවිත කරන පුද්ගලයකු වුවද ඔහුට හෝ ඇයට තමන්ගේ ගම් ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය හුරු පුරුදුය. කිසි විටෙක පෞද්ගලික ස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත නොකෙරේ. සියලු ඡන්ද මධ්‍යස්ථාන රජයට අයත් ආයතන වේ. අගෝස්තු 5 වෙනි දින එවැනි පොදු ස්ථානයකට පැමිණීම සඳහා කිසිවකු බිය විය යුතු නොවේ.

අනෙක් කාරණය නම්, මෙම ස්ථානයට පැමිණෙනුයේ තමන් හොඳින් දන්නා තම ගම් ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන්ය. පිට ප්‍රදේශයකින් එම ඡන්ද මධ්‍යස්ථානයට කිසිවකු නොපැමිණේ. කිසියම් ඡන්ද මධ්‍යස්ථානයකට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙන්නේ එම ඡන්ද කොට්ඨාසය තුළම පදිංචි ඡන්ද නාම ලේඛනයේ නම ඇතුළත් පුද්ගලයන්ය. බොහෝ වි‍ට එක ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණෙන ඡන්ද දායකයන් සංඛ්‍යාව 2000ක් පමණ වේ.

නාගරික ප්‍රදේශවල සහ වතුකරයේ මෙම සංඛ්‍යාව සුළු ප්‍රමාණයකින් වැඩි විය හැකිය. මෙම පිරිස අතර කිසිවකු නොදන්නා අය සිටිය නොහැකිය. ගමක බොහෝ විට පවුල් 500ක් පමණ ජීවත් වේ. මෙම පවුල් 500 මළ ගෙදරක, මඟුල් ගෙදරක හෝ ගමේ පන්සලේ කඨින පින්කමේ දී එසේ නොමැති නම් කෝවිලේ උත්සවයේදී, පල්ලියේ මංගල්‍යයේදී හෝ මුණගැසුණ දන්නා කියන පිරිසකි. නෙදන්නා හෝ නාඳුනන කිසිවකු පැමිණෙන්නේ නැත. තමන් දන්නා පරිසරයක තමන් දන්නා පිරිසක් සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමේ දී කිසිවකු කිසිම හේතුවක‍ට බිය විය යුතු නැත. ඡන්ද නාම ලේඛනයේ ඡන්දය ලියාපදිංචි කිරීමේ දී ගම් ප්‍රදේශයෙන් බැහැර කිසිවකු ලියාපදිංචි නොකෙරේ.

විෂබීජ හරණය කළ ඡන්ද මධ්‍යස්ථාන

පිටස්තර පුද්ගලයකු ලියාපදිංචි කිරීමකදී, ඕනෑම අයකුට එයට විරුද්ධත්වය ප්‍රකාශ කළ හැකිය. කිසිවකු විරුද්ධත්වය ප්‍රකාශ කොට නැතිනම් සෑම අයකුම ගම් ප්‍රදේශයේම ජීවත් වන පිරිසකි. එසේ හෙයින් ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය පිළබඳවත් එම ස්ථානයට පැමිණෙන පුද්ගලයන් පිළිබඳව වත් කිසිවකු බිය විය යුතු නොවේ.

පොදු ස්ථානයක් වන ඡන්ද මධ්‍යස්ථානය, ඡන්දය ප්‍රකාශ කරන දිනයේ ඡන්ද මධ්‍යස්ථානයක් වීමට පෙර, එම ස්ථානය සඳහා අයිතිකාරයන් පිරිසක් සිටිති. පන්සලක දායක සභාවක්ද, කෝවිලක කෝවිල් කමිටුවක්ද පල්ලියක, මුස්ලිම් පල්ලියක මෙන්ම ප්‍රජා ශාලාවක ද අයිතිකාරයෝ සිටිති. පාසලක් යනු විදුහල්පතිවරයා භාරයේ ඇති ස්ථානයකි. එසේ නොමැති නම් ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ඇති ස්ථානයකි.

මෙම ගොඩනැඟිල්ල ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස සකස් කරනුයේ ද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මිස බාහිරින් පැමිණෙන කෙනකු නොවේ. ඔහු ගම්වාසීන්ගේ සියලු කටයුතු සඳහා මැදිහත් වන රජයේ නියෝජිතවරයාය. ඔහුගේ සහාය සඳහා කම්කරුවන් දෙදෙනකු යොදවා ගනුයේ ද, ඔහු හොඳින් දන්නා එම ප්‍රදේශයේ ම පුද්ගලයන්ය. ග්‍රාම නිලධාරිවරයා මෙම කාර්යය භාර ගනුයේ ද අගෝස්තු 3වනදින විය හැකිය. අගෝස්තු 2 වන දින දක්වාම එම ‍ගොඩනැඟිල්ල පොදු පරිහරණයේ තිබුණු ස්ථානයකි.

කෙසේ වුවද මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ආයතනවලට සහ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත්තේ කොවිඩ්-19 තත්ත්වය තුළ ඡන්ද මධ්‍යස්ථානය සකස් කිරීමට පෙර එම ස්ථානය විෂබීජහරණය කරන ලෙසයි. ඔවුන් විසින් එම ස්ථානය අදාළ මාත්‍රාව යටතේ රසායන ද්‍රව්‍ය යොදා පිරිසුදු කරයි. එසේ නොවුණද බිය විය යුතු නැත්තේ පොදු ප්‍රවාහන සේවයක හෝ පාසලක පන්තියක හිඳගන්නා විට එම ස්ථානය පිරිසුදු කර ගන්නා පුරුද්දක් සෑම පුද්ගලයකු සතු බැවිනි.

රාජකාරී සඳහා නිරෝගී කාර්ය මණ්ඩලයක්

ඡන්ද මධ්‍යස්ථානය පිරිසුදු කිරීමෙන් පසු එම ස්ථානයේ යතුර ඇත්තේ ග්‍රාම නිලධාරි සතුවය. එසේ හෙයින් ඒ සම්බන්ධව ද මිනිසුන් බිය විය යුතු නැත. මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන් ද රජයේ නිලධාරීන් වන අතර, පෞද්ගලික, අංශයේ සේවය කර නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදා නොගැනේ. මෙම නිලධාරීන් ද මැතිවරණ රාජකාරියට පැමිණීමට පෙර දින තම රාජකාරි සඳහා සේවයට ‍ගොස් පැමිණි අයවලුන් වේ.

ඔවුන් මාස ගණනාවක් තුළ මෙම කොවිඩ්-19 තත්ත්වය තුළ වෙහෙස මහන්සි වී රාජකාරි කළ පිරිසකි. එමෙන්ම ඔවුන් හය හතර නොදන්නා නූගත් පිරිසක් නොවේ. ඔවුන්ගේ ආයතන තුළ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වන ‍ක්‍රමෝපාය පිළිබඳ දැනුවත් වූ පිරිසකි. ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා කාන්තාවන් යොදා ගැනීමේදී බොහෝ වේලාවට ඔවුන් ඡන්දය භාවිත කරන ඡන්ද මධ්‍යස්ථානය හැර ඊට ආසන්නයේ ඇති ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදවයි.

මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන් බහුතරයක්ම එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළම රාජකාරි කරන පිරිසකි. පිටින් පැමිණෙනුයේ ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයාය. ඔහු සමඟ කාර්යාල සහායකයකු පැමිණේ. එම පුද්ගලයා ඔහු දන්නා කියන ඔහුට විශ්වාසවන්ත පුද්ගලයෙකි. රාත්‍රී කාලයේදී ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා සමඟ පිරිමි නිලධාරීන් දෙදෙනකු ද, පොලිස් නිලධාරීන් දෙදෙනකු ද ඡන්ද මධ්‍යස්ථාන තුළ සිටී. ඔවුන් සියල්ලම කලින් දින රාජකාරි කළ පිරිසක් මිස පිටරැටියන් නොවේ. ඔවුන් කොරෝනා ආසාදිතයන් නොව සෞඛ්‍ය සම්පන්න අයයි. එසේ හෙයින් ඡන්ද මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය පිළිබඳව ද කිසිවකු බිය විය යුතු නැත.

මීට අමතරව සෑම නිලධාරියකුටම පෞද්ගලික පරිහරණය සඳහා අත් සේදුම්කාරක ලබා දෙයි. මැතිවරණ රාජකාරිය‍ සඳහා පැමිණෙන සෑම නිලධාරියකු‍ටම ජ්‍යෙෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා මුඛ ආවරණ, අත් ආවරණ සහ අත් සේදුම් කාරක සියල්ල සපයනු ලැබේ. මේ සියලු ද්‍රව්‍යයන් ගුණාත්මකභාවයෙන් යුක්ත ඒවා වේ.

ඡන්ද දායකයාට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩුවක් ලබ‍ා දෙන අතර, ඒ සඳහා සූදානම්ව පැමිණීම‍ට නිශ්චිත කාලයක් හිමි වේ. ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීමේ දී ඡන්ද දායකයා විසින් තමන්ගේ නිල ඡන්ද පත්‍රිකාව, ජාතික හැඳුනුම්පත සහ පෑනක් රැගෙන එ්ම අනිවාර්ය වේ. පෑන නොගෙනාවද ඡන්දය ප්‍රකාශ කළ හැකිය. විෂබීජහරණය කරන ලද පෑන් ඡන්ද මධ්‍යස්ථාන තුළ තිබේ.

දෑත් දෙවරක් පිරිසුදු කරන්න

නිල ඡන්ද පත්‍රිකාව නොගෙනාවද ඡන්දය ප්‍රකාශ කළ හැකි නමුත් එය රැගෙන ඒම මැතිවරණ කාර්ය මණ්ඩලයට පහසුවකි. එහෙත් ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන් රැගෙන ආ යුතුය. පෑනක් ගෙන එ්ම තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට යහපතක් වේ. පොදු ප්‍රවාහන මාර්ගයක පැමිණෙන ඡන්ද දායකයා මුඛ ආවරණයක් පැලඳ පැමිණේ. ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වන විටම දෙඅත් පිරිසුදු කරයි. තමන්ගේ හැඳුනුම්පත පෙන්වා අවසන් වූ විට එය රඳවා ගැනීමට පහසු වන පරිදි ඇඳුමක් ඇඳ පැමිණීමෙන් අත් පිරිසුදු කර ගැනීමට පහසුවක් වේ. ඡන්දය සලකුණ කර ආපසු පිටත්ව යන විට ද දෙඅත් පිරිසුදු කරයි. මේ සියල්ල කෙරෙහි සැලකිල්ලක් දැක්වීමේ දී ජනතාව ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ තමන්ගේ පරමාධිපත්‍යය සලකුණු කිරීමට කිිසිදු බියක් ඇති කර ගත යුතු නැත.

 

නව අදහස දක්වන්න