රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි? | දිනමිණ

රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ ඇයි?

බ්‍රිතාන්‍ය රජය විසින් පත් කරන ලද රාජකීය කොමිසමක් මෙරට විවිධ පළාත්වල සංචාරය කරමින් විවිධ පුද්ගලයින්, සංවිධාන, දේශපාලන පක්ෂ යනාදී කණ්ඩායම්වල අදහස් විමසමින් සාක්ෂි සටහන් කරන ලදි. පුද්ගලික පිරිස් සමග පවත්වන ලද සාකච්ඡාවලදී ලබා ගන්නා ලද තොරතුරු ඔවුනට බෙහෙවින් උපකාරී විය. අවසානයේදී කොමිසමේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් බහුතර ඡන්දයෙන් අනුමත කිරීමෙන් පසු එය 1946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වශයෙන් ස්ථාපනය විය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිසිදු දේශපාලන චින්තනයක් අරමුණු නොවීය.

රටකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ පුද්ගලයින්ගේ හිතුවක්කාර (ARBITRARY) පාලනයට තිත තැබීම සඳහායි. රටක සියලුම රට වැසියන් ආණ්ඩුක්‍රම නීතියට අවනත විය යුතුය. එය ශිෂ්ට සමාජයකට අත්‍යවශ්‍ය සාධකයකි. බොහෝ රටවල රජවරුන්ගේ හෝ වෙනත් තනි පුද්ගලයකුගේ පාලනය මට්ටු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බෙහෙවින් ප්‍රයෝජනවත් වී ඇත.

එංගලන්තයේ දැනට පවා පවතින්නේ විශාල වශයෙන් ලිඛිත නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. බොහෝ දුරට බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය තුළ දක්නට ඇත්තේ පාලකයින් මෙන්ම පාලිතයින් විසින් ශත වර්ෂ ගණනක් පුරා පිළිගෙන අනුගමනය කරනු ලබන පොදු සම්මත හෝ චාරිත්‍ර හෝ සම්ප්‍රදායන්ය. (TRADITIONS AND CONUENTIONS) මේවා නීති හෝ ව්‍යවස්ථා නොවන අතර, ඒවා හුදෙක් සිද්ධාන්ත හෝ ආප්තෝපදේශ වන අතර, ඒවා සමහර අවස්ථාවල නීති වශයෙන් ගැනෙන අතර, තවත් ඒවා වඳ වී යන බව ආණ්ඩුක්‍රම විශේෂඥයකු වූ මහාචාර්ය ඩයිසි පවසයි. මේවා කෙසේවත් උල්ලංඝනය නොවේ. පාර්ලිමේන්තුවෙන් සම්මත වන පනතකට රජු සිය අනුමැතිය දිය යුතුයි යන්න එබඳු සිද්ධාන්තයකි. රජු එය ඉටු කිරීම ප්‍රතික්ෂේප කළහොත් අලුතින් පණවන නීතියක් මගින් රජු අනුමැතිය දිය යුතු බව පවසයි.

දෙවන මහ ලෝක යුද්ධයෙන් පසු, බොහෝ යුරෝපීය රටවල අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් පිහිටුවන ලදි. නවීන චින්තනයක් පදනම් කරගෙන, එනම් මාක්ස්වාදය මුල් කරගෙන රජයක් පිහිටු වූ එකම රට සෝවියට් දේශයයි. ප්‍රථම වරට රුසියාවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පදනම් වූ රජයක් ලැබුණේ විප්ලවයේ නිර්මාතෲන් වන ලෙනින් සහ ස්ටාලින් යටතේය.

අපේ අල්ලපු රට ඉන්දියාව ද නිදහසින් පසු රටට ඔරොත්තු දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළේය. එහෙත් දේශයේ අවශ්‍යතාවයන් මත එය ද වරින්වර සංශෝධනවලට යටත් විය.

මේ අතර අමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙයට වසර 200කට පමණ පෙර නිර්මාණය කරන ලද අතර, ඒ සඳහා වැය වී ඇති වචන සංඛ්‍යාව 4543 කි. මෙතෙක් එම ව්‍යවස්ථාවට ඇතුල් කර ඇති සංශෝධන සංඛ්‍යාව හුදෙක් 24ක් පමණි.

ශ්‍රී ලංකාව ශත වර්ෂ 1 ½ ක පමණ කාලයක් බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් වශයෙන් පාලනය වී 1948 දී නිදහස ලැබිණි. නිදහසින් පසුව වුවද 1972 දක්වා ශ්‍රී ලංකාව පාලනය වූයේ බ්‍රිතාන්‍යය විසින් සම්පාදනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේය. මෙම 1946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පරිණාමයේ ආරම්භයයි. කීර්තිමත් ආණ්ඩුක්‍රම විශේෂඥයකු වශයෙන් ප්‍රකට අයිවර් ජෙනිංස් විසින් කෙටුම්පත කරන ලද ව්‍යවස්ථාව එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අමාත්‍ය මණ්ඩලය විසින් (BOARD OF MINISTERS) අනුමත කිරීමෙන් පසුව බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කරන ලදි. මෙම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී රටේ ජනතාවගේ අදහස් විමසීමක් හෝ සාක්ෂි සටහන් කිරීමක් කිසිදු අයුරකින් හෝ සිදු නොවිණි. පසුව බ්‍රිතාන්‍ය රජය විසින් පත් කරන ලද රාජකීය කොමිසමක් මෙරට විවිධ පළාත්වල සංචාරය කරමින් විවිධ පුද්ගලයින්, සංවිධාන, දේශපාලන පක්ෂ යනාදී කණ්ඩායම්වල අදහස් විමසමින් සාක්ෂි සටහන් කරන ලදි. පුද්ගලික පිරිස් සමග පවත්වන ලද සාකච්ඡාවලදී ලබා ගන්නා ලද තොරතුරු ඔවුනට බෙහෙවින් උපකාරී විය. අවසානයේදී කොමිසමේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් බහුතර ඡන්දයෙන් අනුමත කිරීමෙන් පසු එය 1946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වශයෙන් ස්ථාපනය විය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිසිදු දේශපාලන චින්තනයක් අරමුණු නොවීය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා අත්‍යවශ්‍ය ව්‍යූහයක් නිර්මාණය කරන ලද අතර, එයට අග්‍රාමාත්‍යවරයෙක්, කැබිනට් මණ්ඩලයක්, නියෝජිත සභා දෙකකින් සමන්විත පාර්ලිමේන්තුවක් ද අයත් විය. අධිකරණ නිලධාරීන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව උදෙසා පිහිටුවන ලද අධිකරණ සේවා කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම ද කැපී පෙනෙන ලක්ෂණ වූහ. ආපසු හැරී බැලීමේදී රාජ්‍ය විරෝධී කැරැල්ලක් සහ තරුණ සන්නද්ධ නැඟිටීමකට පවා එයට පහසුවෙන් ඔරොත්තුදීමට හැකි වූ යයි යන මතයක් ද ඉස්මතු විය. එහෙත් අලුතින් නිදහස ලබා සීඝ්‍ර ප්‍රගතියක් කරා යා යුතු රටක ජනතාවගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අභිලාෂයන් සපුරාලීමට එම ව්‍යවස්ථාව ප්‍රමාණවත් නැතැයි බොහෝ පිරිස් තර්ක කළහ. 1970 දී විශාල ජනවරමකින් බලයට පැමිණි සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් පත් වූ සමගි පෙරමුණ රජය,මැතිවරණ පොරොන්දුවක් පරිදි රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබාදීමට කටයුතු කළේය. එවකට පැවැති 1946 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවට පවා වෙනස් කළ නොහැකි විශේෂ විධිවිධාන තිබීම, ස්වෛරී රාජ්‍යයකට තරම් නොවන බව ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වැදගත්කම කියාපාන කරුණක් විය. සමගි පෙරමුණු රජයේ මූලික යෝජනා 38ක් (BASIC RESOLUTIONS) පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නව රජය විසින් කෙටුම්පත් කරන ලදි. කෙටුම්පත් කිරීමේ බාරදූර කාර්යය පැවරී තිබුණේ ප්‍රකට නීතිඥයින් සහ අනෙකුත් විද්වතුන්ගෙන් සැදි කමිටුවකටය. පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම සම්පාදන මණ්ඩලයක් (CONSTITUENT ASSEHBLY) වශයෙන් රැස් වී ව්‍යූහාත්මක වෙනස්කම් කිසිවක් නොමැතිව හුදෙක් සුළු වෙනස්කම් සමග මුල් කෙටුම්පත 1972 ජනරජ ව්‍යවස්ථාව වශයෙන් සම්මත විය.

‍ෙමම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල විය. ජාතික රාජ්‍ය සභාව රාජ්‍ය බලයේ මෙවලම විය. දෙවන මන්ත්‍රණ සභාවක් ද නොදීය. රාජ්‍ය සේවා කොමිසම සහ අධිකරණ සේවා කොමිසම අහෝසි වී ඒ වෙනුවට වෙනත් ආයතන ස්ථාපනය විය. ඒවා හුදු දියාරු ස්වභාවයක් දැරීය. නව ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාදායකයේ උත්තරීතර භාවය ප්‍රක්ෂේපනය වූ අතර, රජයේ උසස් තනතුරුවලට පත්කිරීම්, මාරු කිරීම් සහ විනය ක්‍රියාමාර්ග හෝ සේවයෙන් පහකිරීම කැබිනට් මණ්ඩලය යටතට පත්කිරීම විද්වතුන්ගේ විවේචනයට ලක් විය. මෙම නව ව්‍යවස්ථාව ජාතික සම්මුතියක් (NATIONAL CONSENSUS) නියෝජනය වී නොමැති වීම බොහෝ විචාරකයින්ගේ අවධානයට ලක්විය. එසේම දේශපාලනඥයින්ගේ මූලිකත්වයෙන් නිර්මාණය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හී ජනතා අභිලාෂයන් නිරූපණය නොවෙතැයි කියැවේ. සාධනීය ලක්ෂණ අතුරින් මූලික අයිතිවාසිකම් රැසක් මෙම ව්‍යවස්ථාවේ අන්තර්ගත වී ඇතත්, ඒවා උල්ලංඝනය කිරීම හේතු කොටගෙන අධිකරණය හමුවේ සහන ලබා ගැනීමට ඉඩකඩක් නොවීය. ප්‍රථම වරට 1972 ව්‍යවස්ථාවෙන්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී තිබේ. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ඉල්ලීම පරිදි, උඩරට ගිවිසුමේ පස්වන වගන්තියේ විධිවිධාන සලසා ඇති බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමේ වගන්තිය නව ව්‍යවස්ථාවට ද ඇතුළත් කිරීම සිදු වූ බවත් එවකට කියැවිණි. කෙසේ වුවද පසු කලකදී 1972 ජනරජ ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පළ කළේ මෙබඳු අදහසකි.

“නීති සම්පාදනයේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේදී අප ජීවත් වන සමාජය පසුබිම් කොටගෙන, පැන නැඟ ඇති ගැටලු සහ ඒවා නිරාකරණය කිරීම සැලකිල්ලට ගත යුතුයි. ඊළඟ අවධියේදී පවත්නා ව්‍යවස්ථාව එක්කෝ සංශෝධනය කිරීම හෝ අහෝසි කර අලුතින් වෙනත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සිදු වේ. ඒ අලුත් සම්බන්ධතාවලට මුහුණ දීමට හා ගැටලු නිරාකරණය කිරීම සඳහාත්ය.” (1986 -11- 20 දින මාර්ග ආයතනයේදී කළ දේශනය)

1977 දී හයෙන් පහක ජනවරමින් බලයට පත් ජේ.ආර්.ජයවර්ධන රජය 1972 ව්‍යවස්ථාව සුදුසු පරිදි සංශෝධනය කිරීම සඳහා දස දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළේය. පසුව අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුනි. එය 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව වශයෙන් නීතිගත විය. 1972 ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාදායකයේ උත්තරීතරභාවය පිළිබිඹු කරන ලද අතර, එයට ඉඳුරාම වෙනස් අයුරින් 1978 ජනරජ ව්‍යවස්ථාව මගින් විධායකයේ උත්තරීතරභාවය ප්‍රක්ෂේපනය විය. එහෙත් මෙම ව්‍යවස්ථාව සම්පාදනයේදී ජනතා අභිලාෂයන් හරි හැටි නියෝජනය නොවූ බවට ද විවිධ තර්ක ගොඩනැඟී තිබුණි. විවේචනයට බඳුන් වූ එක් ප්‍රධාන කරුණක් වූයේ විධායක ජනාධිපතිවරයා එක් දේශපාලන දර්ශනයකට නැඹුරුව සිටියදී වෙනත් දේශපාලන මතවාදයක් දරනු ලබන අගමැතිවරයා රටේ උන්නතිය උදෙසා සහයෝගයෙන් ක්‍රියා කිරීමේදී මතුවන ගැටලු සහ ඒ මඟින් රට තුළ අස්ථාවරභාවයක් ඇතිවීමයි. යම් හෙයකින් දෙදෙනා අතර බල අරගලයක් ඇති වුවහොත් විධායක ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් පහ කළ හැකිය. එහෙත් අගමැතිවරයා ද මහජන ඡන්දයෙන් පත් වී ඇත. ඔහු පසුපස ප්‍රබල ව්‍යවස්ථාදායකයක් සිටී. මේ ගැන බුද්ධිමතකු වූ ආචාර්ය එන්.එම්.පෙරේරාගේ, ‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණයක්’, යන ග්‍රන්ථයේ විධායක ජනපති ක්‍රමය සම්බන්ධයෙන් මෙසේ පවසා ඇත.

විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර නිරාකරණය කළ නොහැකි ප්‍රතිවිරෝධයන් ඉස්මතු වෙතැයි සිතමි. ඔවුන් දෙපළ අතර විවිධ දේශපාලන ගැටුම් මතු වේ. ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් එකවර නොපැවැත්වීම මෙයට බොහෝ විට හේතු විය හැකිය. විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුම් රටටම නිරාවරණය වනු ඇත. කොහොම වුවත් මෙබඳු ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී තත්ත්වයන් සුබදායක නැත.

මෙබඳු තත්ත්වයන් හැරුන විට, සමස්තයක් වශයෙන් බලන විට 1978 ව්‍යවස්ථාව තුළ බොහෝ සාධනීය ලක්ෂණ ඇත. රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම, විශේෂයෙන්ම රටේ ආරක්ෂාව සහ දේශපාලන ස්ථාවරත්වය පවත්වාගෙන යාමේදී විධායක ජනාධිපති ක්‍රමය රටට බෙහෙවින් වැඩදායකය. තිස් අවුරුදු එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද්ධය නිම කිරීමේ ලා විධායක ජනාධිපති ක්‍රමය රටට පිහිට වූ ආකාරය අමතක කළ නොහේ. අනෙක් අතට යම් හේතුවක් නිසා පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සිදු වූ විටකදී රටේ නීතිය , සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමට විධායක ජනාධිපති ක්‍රමය සාධනීය ලක්ෂණයකි.

ඕනෑම පුරවැසියකුට තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරමින් සහනයක් ලබා ගැනීම සඳහා 1978 ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති මූලික අයිතිවාසිකම් ඉතා ප්‍රගතිශීලි ලක්ෂණයකි. මේ වන විට මෙලෙස ස්වකීය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පැමිණිලි කරමින්, අධිකරණයෙන් සහන ලබාගත් පුරවැසියන්ගේ සංඛ්‍යාව අති විශාලය. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලතල පැහැදිලිව බෙදා වෙන් කර තිබීම ද වැදගත්ය. තවදුරටත් බලයේ සිටින රජය තම සභාග රජය පවත්වාගෙන යාමට අසමත් වුවහොත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යාම හැර වෙනත් විකල්පයක් නැත. එක්සත් රාජධානියේ කොන්සවෙටිව් සහ ලිබරල් සභාග රජයන් යටතේ මෙවැනි අවස්ථා උදා විය. ජර්මනිය තුළ මාස හයක් දක්වා රජයක් පත්වී නොසිටි අතර, යම් යම් අවස්ථාවල නෙදර්ලන්තයේ ද මෙවැනි අවස්ථා පැන නැඟිණි. විධායක ක්‍රමය යටතේ මෙබඳු අනපේක්ෂිත අවස්ථාවන් මග හැර රට පාලනය පහසුවෙන්ම ඉදිරියට පවත්වාගෙන යා හැකි බැවින් තුන්වැනි ලෝකයේ සංවර්ධනය කරා යන රටවලට විධායක ජනාධිපති ක්‍රමය බෙහෙවින් උපකාරි වේ.

 කේ.ඩී.එම්.කිත්තම්පහුව
 

නව අදහස දක්වන්න