‘අධිකරණ පියස’ට අගමැති ප්‍රධානත්වයෙන් අනිද්දා මුල් ගල් | දිනමිණ

‘අධිකරණ පියස’ට අගමැති ප්‍රධානත්වයෙන් අනිද්දා මුල් ගල්

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ පවතින ගැටලු සඳහා විසඳුම් දෙමින් නඩු ප්‍රමාදය අවම කිරීමේ අරමුණ ඇතිව කොළඹ, අලුත්කඩේ ඉදිකිරීමට යෝජිත ‘අධිකරණ පියස‘ නව සංකීර්ණය සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 25 දා මුල්ගල තැබීමට නියමිතයි.

මේ සංකීර්ණය අදියර හතරක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර එම ව්‍යාපෘතිය සඳහා දේශීය අරමුදල් රුපියල් මිලියන 16,500ක මුදලක් වැය කිරීමට නියමිතය.

කොළඹ, අලුත්කඩේ අධිකරණ ගොඩනැඟිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ අධිකරණ ගොඩනැඟිලිවල පවතින අබලන් තත්ත්වයට විසඳුම් වශයෙන් හා නඩු කටයුතු කඩිනම් කර නඩු ප්‍රමාදය අවම කිරීමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී තිබෙන ඉලක්ක කරා ගමන් කිරීමේ වැඩසටහන යටතේ ‘අධිකරණ පියස’ නව සංකීර්ණය ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මේ වන විටත් අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඊට නවීණ තාක්ෂණය (Digitilization) එක් කිරීම තුළින් එහි කාර්යක්ෂමතාව වර්ධනය කිරීම යනාදී කරුණු රැසක් සඳහා අඩිතාලම දමා ඇති අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගෙන තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 40ක් සංශෝධනය කිරීමට සංකල්ප පත්‍රිකාවක් සකස් කොට අමාත්‍ය මණ්ඩලය වෙත අනුමැතියට ඉදිරිපත් කොට ඇති අතර ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයට ජනතාවට අධිකරණය තුළින් අනාගතයේදී සහන ගැනීමට අවශ්‍ය වන්නා වූ පසුබිම කෙරෙහි අවධානය යොමු කර ඇත.

නව වසරේ මුල් මාසය තුළ ‘අධිකරණ පියස’ නව ගොඩනැඟිලි සංකීර්ණය සඳහා මුල්ගල තැබීම කරන අතර, අදියර හතරක් වශයෙන් ආරම්භ වන එම ව්‍යාපෘතියට දේශීය අරමුදල් රුපියල් මිලියන 16,500 ක මුදලක් වැය කිරීමට නියමිතයි. මෙකී කර්තව්‍යයන් අප රටේ අනාගතය වෙනුවෙන් කරන අතර, 1947න් පසු මෙරට නීති පද්ධතිය නිසි පරිදි යාවත්කාලීන කිරීමට ද කටයුතු යොදා තිබේ.

නව අදහස දක්වන්න