බංගලි වළලු | දිනමිණ

බංගලි වළලු

 

පාසල් බිමෙහි උස් ඉමක පිහිටා තිබූ ඒ තැනිතලා භූමිය අපට 'අඹ ගහ යට පිට්ටනිය' වූයේය. එහි හරි මැද වැවී තිබුණේ සුවිසල් අඹ ගසකි. අඹ ඇති කාලයට මෙන්ම අඹ නැති කාලයටත් අප එයට බොහෝ සේ ප්‍රිය කළේ පිට්ටනිය පුරා නිරන්තරවම ගලා ගිය සිහිල් සෙවණ නිසාය.

දිවා විවේකයේදී ප්‍රාථමික පන්තිවල දරු දැරියන් අල්ලන සෙල්ලම් කළේ අඹ ගස වටා දුවමිනි. දුවන්නට අකැමැති දරුවන් පිට්ටනිය කොනේ ඉවුරට යා කොට සෙල්ලම් ගෙවල් තැනුවෝය.

තුන්වන පන්තියේදී අපට මවුබස ඉගැන්වූයේ තිසේරා ගුරුතුමියයි. ඇය අපට උගන්වන්නට බොහෝ විට තෝරාගත්තේ එකී පිට්ටනියයි.

"බලන්න, පිට්ටනියෙ පංතියක් තියේ ද කියලා?"

පංතියේ කෙටි තාප්පයට ඉහළින් ඇගේ කටහඬ අසන්නට අපි මග බලා සිටියෙමු.

එසැනින් ම අප පෙළ ගැසෙන්නේ හැකි ඉක්මනින් එහි ගොස් වාඩිවන්නට වඩා හොඳ තැනක් අල්ලාගන්නටය. ගුරු පුටුව ඔසවාගෙන යන්නට අනාරාධනාවෙන්ම එකවර ළමෝ කිහිප දෙනෙක්ම ඉදිරිපත් වෙති.

සමහර දිනෙක ගුරුතුමිය පංතියට පැමිණෙන්නටත් කලින් ඇගේ පුටුව අඹ ගහ යටය. පංතියේ අප සැවොම පිට්ටනිය වටා වූ ගල් වැටියේ වාඩිවීගෙනය.

සිරිමා, රංජනී, ජයලතා සහ මා; අප සිවු දෙනා පුරුදුව සිටියේ එකිනෙකාට ආසන්නව වාඩිවන්නටය. ඒ අප කිට්ටු මිතුරියන් වූ නිසාය.

එදින තිසේරා මිස් අපට උගන්වමින් සිටියේ එස්. මහින්ද හාමුදුරුවන් ගේ 'නිදහසේ උල්පත්' නමැති කවි පන්තියයි.

"මහ මුහුද හැදෙන්නේ පුංචි ගංගා ගලාලයි

ගඟෙහි උපත වන්නේ උල්පතයි

කන්ද පල්ලේ ගුරුකමකට කාටත් ගන්ටනම් මේ සුදුස්සයි

කෙළවර ලොකු ඒවායේ පටන් ගැනීම පුංචියි."

තිසේරා මිස් හා එක්ව අප කවි ගායනා කළේ අත්පොඩි තලමිනි. සිරිමාගේ අතක පළඳා තිබූ රෝස පැහැති බංගලි වළලු ජෝඩුව තාලයට සැලුණේ කවියේ රිද්මයට සමගාමීව ය.

(එකල ගම්වල පාසල් දැරියන්ට සුදු නිල ඇඳුම සමග වළලු පැලඳීමට තහනමක් තිබුණේ නැත.)

සිරිමා වාඩිවී සිටියේ මගේ වම්පසිනි. දකුණු පසින් වාඩිවී සිටියේ රංජනීය. රංජනීගේ දෑස සිරිමාගේ අතෙහි වූ අලුත්ම අලුත් වළලු දෙක දෙසට යොමුව තිබුණේ ආශාවෙනි .

තිසේරා මිස්ට විදුහල්පතිතුමාගෙන් පණිවුඩයක් ලැබුණේ මේ අතරය.

"දරුවනේ, මං ඉක්මනින් එනවා. එතකල් හැමෝම එකතුවෙලා කවි පංතිය තාලෙට ගායනා කරන්න ඕනෑ, හොඳ ද?"

ඇය කඩිමුඩියේ විදුහල්පති කාමරය දෙසට ගියාය.

"කවුද ඔයාගෙ වළලු ඇරන් දුන්නෙ? කොහෙන්ද ගත්තෙ?"

ගුරුතුමිය නික්ම ගිය වහා රංජනී සිරිමා දෙසට නැවීගෙන විමසුවාය.

"අම්ම ඊයෙ අරන් දුන්නෙ. පන්සලේ පිංකම් පොළෙන්."

පංතියේ අන් කිසිවකු හෝ සතුව නොමැති කුඩා රන් තාරකා පිපුණු තම රෝස පැහැති බංගලි වළලු ගැන සිරිමා සිටියේ කිසියම් උද්දාමයකිනි.

"මේ මගේ වළලු. ඊයෙ අපි මගුල් ගෙදරක ගියානෙ. අම්ම කිවුවා අදට විතරක් දාගෙන යන්න කියලා."

රංජනී ඇගේ දෑත පෑවේ අප දෙදෙනාටමය. ඇය දකුණතෙහි පැලඳ සිටියේ රන්වන් පැහැයෙන් බැබලුණු සිහින් වළලු ජෝඩුවකි.

"අපි දෙන්නා වළලු මාරු කරමුද?"

තවත් ස්වල්ප වේලාවකින් රංජනී නැවත සිරිමා වෙතට නැවී විමසුවාය.

"අපේ අම්ම මට බනියි නෙ".

සිරිමා සිතුවේ ඇය සතු වළලු සඟල යෙහෙළියගේ වළලුවලට වඩා වටිනා බව ය.

"හා, කමක් නෑ. අදට ඔයා දාගෙන ඉන්ඩකො."

බංගලි වළලු ජෝඩුවත් රන් වළලු ජෝඩුවත් දෙපසට හුවමාරු වූයේ පංතියේ අන් අය කවි ගායනයෙහි යෙදී සිටියදීය. දෙදෙනාටම වළලු හුවමාරු කර පළඳින්නට සහය වන්නට සිදු වූයේ මා හටය.

එතැන් සිට රෝස පාටින් බංගලි වළලු පැලැඳි රංජනී සිටියේ මහත් ආඩම්බරයකිනි.

එදින අපගේ අවසාන කාල පරිච්ඡේදය වෙන්වී තිබුණේ චිත්‍ර පාඩමටය. අපගේ ඩෙස්කුවේ එක් කෙළවරක සිටියේ යෙහෙළිය ජයලතාය. එදින ඇය පංතියට ගෙනැවිත් තිබු ණේ අමුතුම මාදිලියේ චිත්‍රයකි. සුදු පිටුව පිරෙන්නට ඇඳ තිබූ කුකුළකුගේ සිතුවම ඇය වර්ණ ගන්වා තිබුණේ ඔලිඳ ඇට ඇලවීමෙනි.

"මේ බලන්න, ජයලතා ගේ චිත්‍රය. හරි අගේ ඇති නිර්මාණයක්. මේ වගේ අලුත් දේවල් කරන්න අනිත් අයත් පුරුදු වෙන්ඩ ඕනෑ."

චිත්‍ර ගුරුතුමිය ජයලතා ගේ නිර්මාණය මහත් සේ අගය කළාය.

තැඹිලි පැහැයට හුරු රෝස පාටින් බබලන ඔලිඳ ඇටය මදටිය ඇටයකින් තුනෙන් පංගුවක් පමණ වේ. එහි මුදුනත කළු පැහැති පුල්ලියක් ඇත. එබැවින්ම ඔලිඳ ඇට කුකුළාගේ තිබුණේ අමුතු ම අලංකාරයකි.

"අපේ ගෙදර ලොකු ඔලිඳ වැලක් තියෙනවා. අම්මයි, මමයි ඔලිඳ ඇට එකතු කරනවා. ඔලිඳ ඇට බෙහෙතටත් ගන්නවලු."

ජයලතා කීවේ ආඩම්බරයෙනි.

"මටත් ඔලිඳ ඇට ටිකක් දෙනව ද? මට ඕන ඔලිඳ ඇට බකමූණෙක් හදාගන්ඩ."

සිරිමා ඇසුවේ මහත් බලාපොරොත්තුවකිනි.

"මේ, මා ළඟ තවත් ඔලිඳ ඇට මල්ලක්ම තියෙනවා. අම්මගෙන් අහන්නෙ නැතුව දෙන්ඩ බෑ."

ජයලතා පැවසුවේ ඔලිඳ ඇට පිරවූ කුඩා රෙදි බෑගයක් දිග හරිමිනි.

එතුළට එබී බැලූ සිරිමාගේ දෑස ප්‍රභාවත්ව බැබලුණි. ඔලිඳ ඇට ගොන්නේ දීප්තිය ඇගේ මුහුණටත් ආරෝපණය වූවා සේය.

පාසල හමාරව රංජනී නිවසට ගියේ සුපුරුදු පරිදි ඇගේ නිවසේ සේවිකාව සමගිනි. ඇගේ මව යාබද කඩමණ්ඩියෙහි වූ තැපැල් කන්තෝරුවෙහි තැපැල් ස්ථානාධිපතිනිය වශයෙන් සේවය කළාය. සන්ධ්‍යාවේ තැපැල් කන්තෝරුව වසා අම්මා ආපසු පැමිණෙන තුරු රංජනී සිටියේ සිය වැඩිමහල් සහෝදරයා සහ සේවිකාව සමගය. නගරයේ කාර්‍යාලයක සේවය කරන පියා නිවසට පැමිණෙන්නේ අම්මාට ද පසුවය. එබැවින් රංජනීට දිවා කාලය පුරාම බංගලි වළලුවල ආශ්වාදය විඳිය හැකි විය.

මම ද සිරිමා ද ජයලතා ද හැමදාමත් පාසල් ආවේ ගියේ එකටය. ඒ අප තිදෙනාගේම නිවෙස් එකිනෙකට තරමක් ආසන්නව පිහිටි බැවිනි.

"මේ, මං මේ වළලු දෙක ඔයාට දෙන්නම්. මට අර ඔලිඳ ඇට මල්ල දෙනවද?"

ජයලතා අකැමැත්තෙන් නමුත් සිය සුදු ගවුමේ හොර සාක්කුවේ තිබූ රෙදි බෑගය පිටතට ගත්තාය.

සිරිමා පැලඳ සිටි රංජනීගේ රන් වළලු ජෝඩුව ගලවා ජයලතාගේ සුරතට පැලඳ වූයේ කිසිත් චකිතයකින් තොරවය. ඇයට ජයලතාගේ ඔලිඳ ඇට මල්ල ඊට වඩා සිය වාරයක් අගේය. අද ගෙදර ගිය හැටියේ පටන් ඔලිඳ ඇට බස්සාගේ වැඩ පටන් ගත යුතුය.

"අද ගෙදර ගියාම තව ඔලිඳ ඇට ගොඩක් අහුලලා මේ මල්ල පුරවගන්ඩ බැරුවයැ."

ජයලතා තමාගේ කෙට්ටු අතට ප්‍රමාණයෙන් විශාල වූ වළලු ජෝඩුව වැලමිට ආසන්නයේ සිරකොට තැබුවාය.

ජයලතා ගෙදර යන විට වත්තේ තේ දළු නෙළන්නට ගිය අම්මා ගෙදර ආවා විතරය. බොහෝ වෙහෙස මහන්සි වී සිටිය ද ඇය කඩිමුඩියේ බතක් මාළුවක් පිසිමින් සිටියාය. අක්කා තවමත් පාසලේය. ජයලතාලාගේ ගෙදර සිටින්නේ අම්මාත්, අක්කාත් ඇයත් පමණකි. බත පිසෙන තුරු ඇය ඔලිඳ වැල අසලට ගියාය.

අම්මා තම දියණිය අත පැලඳ සිටි රන් පැහැ වළලු ජෝඩුව දුටුවේ ඇය අතට බත්පත දෙන අතරේදීය.

"අම්මෙ මං මදටිය මල්ල මේ වළලුවලට මාරු කළා."

"අනේ දරුවෝ, මේ රත්තරන් වළලු ජෝඩුවක්නෙ.!"

ජයලතාගෙන් තතු අසා දැනගත් අම්මා වළලු ජෝඩුව පරෙස්සම් සහිතව ඇගේ ඇඳුම් පෙට්ටිය පතුළේ තැන්පත් කළාය.

"හෙට උදේ වත්තට යන්ඩ කලින් ඉස්කෝලෙට යන්ඩ ඕනෑ. මේ වළලු දෙක පංතිභාර ඉස්කෝලෙ හාමිනේ අතටම බාරදෙන එක තමයි වඩා හොඳ."

ජයලතා ගේ අම්මා තීරණයක් ගත්තාය .

එදින ඇඳිරිය වැටීගෙන එද්දී එහා ගමේ සිට මවක්, පියෙක් සහ දියණියක් අපේ ගමට පැමිණියහ. එකී දියණිය රංජනීය. ඔවුන් පළමුව ගොස් තිබුණේ සිරිමාගේ නිවසටය.

දෙවනුව ජයලතාලාගේ නිවසටය.

"වළලු ජෝඩුව මෙතනින් ආපහු ලැබෙයිද කියන එක ගැන මටනම් විශ්වාසයක් නෑ. අපි කෝකටත් කතා කරලා බලමු."

ජයලතා ගේ පොල් අතු වහලය සහිත කටුමැටි ගෙපැළ දුටු රංජනීගේ අම්මා එසේ පවසා තිබුණි .

එහෙත් ඒ පිළිබඳව පසුව ඇය නිරනුමානවම කනගාටු වන්නට ඇත .

"අනේ, මේ අපේ තැපැල් කන්තෝරුවෙ නෝන මහත්තයනෙ. මං වළලු දෙක බොහෝම පරිස්සමින් ඇරන් තිබ්බා. මං හෙට උදේම ඉස්කෝලෙට ගිහින් පංති බාර ඉස්කෝලෙ හාමිනේට දෙන්නයි හිතා උන්නෙ."

ජයලතාගේ අම්මා වළලු ජෝඩුව ආපසු රංජනීගේ දෙමවුපියන් අතට පත්කොට තිබුණේ සමාව අයදිමිනි.

"මේ නොදරුවො නොදැන කළ වැරැද්දට සමාවෙන්ඩ ඕනෑ නෝනා."

"පොඩි අයටත් වඩා ලොකු වැරැද්දක් අපි අතින් සිද්ද වුණේ. රත්තරන් වළලු එක්ක පොඩි දරුවෙක් ඉස්කෝලෙ යවපු අපි තමයි ඇත්තටම වැරදිකාරයො. අපි නිසා කරදර වුණාට ජයලතාගේ අම්මාගෙන් අපි සමාව ඉල්ලා හිටිනවා."

රංජනී ගේ මව පැවසූයේ වළලු ජෝඩුව සතුටින් භාර ගනිමිනි.

සුනිලා විජේසිංහ

නව අදහස දක්වන්න