ජීවිතය ද?-‘ෆන්’ එක ද? | දිනමිණ

ජීවිතය ද?-‘ෆන්’ එක ද?

කොවිඩ් තෙවන රැල්ල ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වන්නට පටන් ගෙන තිබේ. එහෙත් අවාසනාවකට මෙන් අපේ ජනතාව තවම එහි භයානකකම වටහාගෙන නැත. එක්කෝ ඔව්හු මෙය නොසලකා හරිති. නැතහොත් ජීවිතයට වඩා කෙටි කාලීන පොලිය වැදගත් කොට සලකති. පෙරේදා රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹූ කෙනකුට මේ තත්ත්වය හොඳින් වටහා ගත හැකිය. තිස් ගණනක පිරිසක් මහ ඔයේ ජල ක්‍රීඩා කරමින් සිටිති. ඒ අතර කුඩා දරුවෝ ද වෙති. පොලිසිය එම ස්ථානයට නොගියේ නම්; ඔවුන්ගේ ජල ක්‍රීඩාව කොතැනකින් කෙළවර වේ දැ’යි කිසිවකුටත් කිව නොහැකිය. තවත් ස්ථානයක හතළිස් ගණනක පිරිසක රැස් කොට දේව මෙහෙයකි. පොලිසිය එම ස්ථානයට ද කඩා වැදුණේය.

රජය තෙවන කොවිඩ් රැල්ලත් සමඟ නව නීති ගණනාවක් හඳුන්වා දෙන්නේ කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහාය. එය තවදුරටත් පැහැදිලි කළ හොත් කොවිඩ්වලට සම්බන්ධ සෑම නීතියකින්ම කෙරෙන්නේ වසංගතයෙන් වටිනා ජීවිත බේරා ගැනීමය. මේ නීති - රීති හා උපදේශන දිනපතාම ජනමාධ්‍ය ඔස්සේ විකාශය කරනු ලැබේ. ඒ හැරෙන්නට ඕනෑම පුද්ගලයකු ඇතැ’ති ජංගම දුරකථනයෙහි ද ඒවා වරින් - වර සටහන් වේ. රටේ ඕනෑම කටකතාවක්, ඕපාදූපයක් ක්ෂණයෙන් දැනගන්නා අපේ ජනතාව කොවිඩ් නීතිය හා උපදේශන මාලාව දන්නේ නැතැ’යි කියන්නේ නම්; එය අමූලික බොරුවකි. සිදුවන්නේ නොසලකා හැරීමය. මෙය තමන් ගැන නොසලකා හැරීමක් සේම අනෙකා ගැන නොසලකා හැරීමක් ද වන්නේය.

කිසියම් රටක වසංගතයක් පැතිර යන විට එය වළක්වා ගැනීමේ ක්‍රියා පටිපාටියෙන් වැඩි වැඩ කොටසක් ජනතාව වෙත පැවරේ. සෞඛ්‍ය අංශවලට හා රජයකට කළ හැක්කේ උපදේශන සැපයීම, ප්‍රතිකාර සේවා පවත්වා ගැනීම හා නීති - රීති පැනවීම පමණි. වසංගත රෝග විශේෂඥයන්ගේ මතයට අනුව සෞඛ්‍ය උපදේශන අකුරටම අනුගමනය කරන්නේ නම්; රෝගය පැතිරෙන්නේ නැත. මෙහිදී සුළු අතපසුවීමකින් වුව රෝගය නැවත පැතිර යන්නට පුළුවන. ඉන් කියැවෙන්නේ දැඩි අවධානයකින් යුතුව ජීවන පැවැත්ම සකසා ගත හොත් කොවිඩ් පරාජය කිරීම අපහසු නැති බවය. වයිරසයේ කුමන ප්‍රභේද තිබුණ ද නිසි සෞඛ්‍ය පිළිවෙත් මඟින් එයින් ආරක්ෂා විය හැකිය.

කොවිඩ් තෙවන රැල්ල මතුවන්නේ ජනතාවගේ නොසැලකිල්ල නිසා බව තහවුරු වී ඇත. ඒ ගැන විවාදයක් නැත. ගිය වසරේ සමරන්නට නොහැකි වූ අලුත් අවුරුද්ද මේ වසරේ නිදහසේ සමරනු දක්නට ලැබිණි. අලුත් අවුරුදු සමයේ ආරම්භයේදීම සෞඛ්‍ය අංශ අනතුරු හඟවමින් නව උපදේශන ගණනාවක් ලබා දුන්නේය. එහෙත් රටේ සමස්ත පුරවැසියන්ගෙන් බහුතරය ඒවා පිළිගෙන කටයුතු කර නැති බව පැහැදිලිය. එහි අදහස වන්නේ ජීවිතවලට වඩා තාවකාලික විනෝදය ගරු කොට සලකන්නට අපේ ජනතාව හුරු වී ඇති බවය. මේ පුරුද්ද තිබෙන තාක් කොවිඩ් මර්දනය අපහසු වනු ඇත. කොවිඩ් තෙවන රැල්ල පවා නොසලකා හරිමින් සමහරු ක්‍රියා කරති. ඔවුන් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දිය යුත්තේ අපරාධයක් සිදුකරන බැවිනි.

සමාජ විශ්ලේෂකයන්ගේ මතයට අනුව අපේ රට ද ඉන්දියාවේ තත්ත්වයට පත්වන්නට ඉඩ තිබේ. මේ වන විටත් රටේ රෝහල් වෙත කොවිඩ් ආසාදිතයන් විශාල වශයෙන් පැමිණෙන බව වාර්තා වී ඇත. පෙරේදා නව ආසාදිතයන්ගේ ගණන එක්දහස් අටසියය ඉක්මවා තිබිණි. විසිවන දා සිට අඛණ්ඩව නව ආසාදිතයන්ගේ ගණන ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාව තවත් ඉන්දියාවක් බවට පත් නොවන්නට නම්; නව ආසාදිතයන්ගේ ගණන වහාම අඩු කර ගත යුතුය. එය රජයට පමණක් කළ හැකි දෙයක් නොවේ. වගකීමෙහි වැඩි බර ඇත්තේ ජනතාව මතය. අලුත් අවුරුද්දට පෙර කොවිඩ් ව්‍යාප්තිය ඉතා හොඳින් පාලනය වී තිබිණි. ජනතාවගේ අසංවර හැසිරීම නිසා එය වහා වෙනස් විය. දැන්වත් එම හැසිරීම නිවැරැදි කර ගත යුතුය.

කොවිඩ් තෙවන රැල්ලේ විශේෂතා කිහිපයක් තිබේ. ඒවා ජනතාව හොඳින් වටහා ගත යුතුය. එක් විශේෂයක් වන්නේ තෙවන රැල්ල ඉතා වේගයෙන් පැතිර යෑම හා එය මාරාන්තික වීමය. තව විශේෂයක් වන්නේ තෙවන රැල්ලේ ආසාදිතයකුට නිරෝධායනයෙන් පමණක් සුවපත් විය නොහැකි වීමය. තෙවන රැල්ලේ ආසාදිතයන් වහාම රෝහල් ගතවී ප්‍රතිකාර ලබා ගත යුතුය. තවත් විශේෂයක් වන්නේ තෙවන රැල්ල තරුණ පරම්පරාව අතර ශීඝ්‍රයෙන් පැතිර යන්නට පටන් ගැනීමය. එහි අර්ථය වන්නේ කොවිඩ් තෙවන රැල්ල රටේ කොඳු නාරටිය ගොදුරු කර ගනිමින් සිටින බවය. රටේ ආර්ථිකයට හා අනාගතයට මරු පහරක් ලෙස මේ තත්ත්වය හැඳින්විය හැකිය. අපේ තරුණ පරම්පරාව ඉහත පසුබිම හොඳින් වටහාගෙන ආරක්ෂා විය යුතුව තිබේ.

කොවිඩ් වසංගතයට අදාළ නව නීතියට අනුව හුදෙකලා කළ ප්‍රදේශවලින් පිටතට පැමිණීම තහනම්ය. පිටතින් හුදෙකලා කළ ප්‍රදේශවලට පැමිණීම ද තහනම්ය. මේ ප්‍රදේශ ආරක්ෂක අංශ යොදවා වට කර තබන්නට හැකියාවක් නැත. කළ හැක්කේ මුරපොළක් හෝ මුරපොළ දෙකක් හෝ පිහිටුවා පරීක්ෂා කිරීම පමණි. හුදෙකලා ප්‍රදේශයෙන් පැන යෑමට හොර පාරවල් ඕනෑම ප්‍රදේශයක තිබේ. මෙහිදී සිදුවිය යුත්තේ ජනතාව අවංක ලෙස කොවිඩ් මර්දනයට සහයෝගය දැක්වීමය. හුදෙකලා ප්‍රදේශයකින් පැන යෑම වීරකමක් සේ සලකන්නේ නම්; එම පුද්ගලයා තරම් අඥානයකු තවත් සිටිය නොහැකිය. මංගල සාද, නිවෙස්වල සාද, පමණක් නොව; ආගන්තුක සත්කාර පවා නැවැත්විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. අප ඊට අනුගත විය යුතුය.

කොවිඩ් වසංගතයට දේශපාලනයක් නැත. පන්ති භේදයක්, ජාති - ආගම් භේදයක් නැත. වසංගතය කඩා වදින්නේ සියල්ලන්ම ගොදුරු කර ගැනීමටය. එබැවින් සෑම පුරවැසියකුම තම වගකීම හා යුතුකම දෙස ආපසු හැරී බැලිය යුතුය.

නව අදහස දක්වන්න