රාජ්‍ය සේවය පිරිහීමට හේතුව දේශපාලන මැදිහත් වීමයි - දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන් | දිනමිණ

රාජ්‍ය සේවය පිරිහීමට හේතුව දේශපාලන මැදිහත් වීමයි - දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන්

 

රාජ්‍ය සේවය පිරිහීමට බල පෑ ප්‍රධානතම හේතුව ඊට දේශපාලනය එකතු වීම හා දේශපාලන බලපෑම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන් මහතා පැවසීය.

යාපනයේදී ඊයේ (3) පැවති උත්සවයකදී ඔහු මෙසේ පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ විග්නේස්වරන් මහතා- අතීතයේදී රාජ්‍ය සේවකයා, රාජ්‍ය නිලධාරියා තුළ තිබූ අභිමානය කඩාකප්පල් කර ඔහුව නිවටයකු බවට පත් කළේ දේශපාලකයායි.

රාජ්‍ය සේවයට දේශපාලන බලපැම් ඇති නොකළ යුතු බව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා. ඒත් පාලන තන්ත්‍රයට පැමිණෙන සෑම දේශපාලනඥයකුම රාජ්‍ය සේවකයාට බලපෑම් ඇති කරනවා. අද රාජ්‍ය සේවය පරිහානියට පත්ව ඇත්තේ මේ කාරණය නිසයි.

උගතුන්, විද්වතුන් මේ රට අතහැර වෙනත් රටවල සේවයට යෑමට ප්‍රධාන හේතුව වී තිබෙන්නෙත් මේ දේශපාලන බලපෑම හා දේශපාලනඥයන්ගේ පළි ගැනීමයි. වහාම මේ රටේ මේ අවාසනාවන්ත තත්ත්වය නතර විය යුතුයි. රාජ්‍ය සේවකයාට අභිමානයක් හා කොන්දක් තබාගෙන සේවය කිරීමට දේශපාලනඥයා අවශ්‍ය පරිසරය සකසා දිය යුතුයි.

මේ රටේ වර්තමාන තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදයට මරණීය දණ්ඩනයක් වූවද, අධිකරණය, රාජ්‍ය සේවය, අධිකරණය සහ අධිකරණයේ ස්වාධීනත්වය, කොමිෂන් සභාව පත් කිරීම සහ එහි ක්‍රියාකාරකම් සහ රජය එහි වාර්තාව පිළිගැනීම යන කාරණා දෙස බලන විට රජය හා ඊට සම්බන්ධ දේශපාලනඥයන් රටේ සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් ඇති කරන බව ඉතා පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා.

 

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න