ඊළාම් අරගලයට විජේවීරගේ විසඳුම | දිනමිණ

ඊළාම් අරගලයට විජේවීරගේ විසඳුම

1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් පසු කාල පරිච්ඡේදයේ පක්‍ෂයට සිදු වූ පසුබෑම මඟ හරවා ගනිමින් පක්‍ෂ තහනම තිබියදීම යළි සක්‍රීය ලෙස දේශපාලන කටයුතු පවත්වාගෙන යාමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කරන ලදි. 1985 වසර වන විට නව සාමාජිකයන් පක්‍ෂයට සම්බන්ධ වූ අතර, නව බඳවා ගැනීම් ද සිදු කළ අවධියක් විය. පක්‍ෂ තහනමට ගැළපෙන අයුරින් සංවිධාන ව්‍යුහයන් සකස් වී තිබු අතර, අධ්‍යාපන පංති ද ඊට අනුකූල අයුරින් වෙනස් කරන ලදි. ඒ අනුව පෙර පැවති පංති පහ වෙනස් කර පංති තුනක් දක්වා කෙටි කර පක්‍ෂ සාමාජිකත්වයට දේශපාලන අධ්‍යාපනය ලබා දෙන ලදි.

මේ වන විට උතුරේ එල්.ටී.ටී.ඊ සන්නද්ධ ව්‍යාපාරයේ කටයුතු ද බුර බුරා ඇවිලෙන ගින්නක් මෙන් ව්‍යාප්ත වෙමින් පැවතුනි. කලක් බාලා තම්පෝ සමඟ දේශපාලන කටයුතුවල නිරත වූ ට්‍රොස්කිවාදී මත දැරු හෙන්රි පෙරේරා උතුරේ දෙමළ සන්නද්ධ කණ්ඩායමක් සමඟ කටයුතු කරමින් සිටියදී ආයුධ රැසක් සමඟ ආරක්‍ෂක අංශයේ අත්අඩංගුවට පත් විය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතර සම්බන්ධතා පවතින බව තොරතුරු අනාවරණය වූ බවට ජනතා විමුක්ති පෙරමුණට රජයෙන් චෝදනා එල්ල විය. එමෙන්ම රාජ්‍ය මාධ්‍ය මූලික කොට ගනිමින් ඒ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරුද ව්‍යාප්ත කරන ලදි. මීට අමතරව රෝහණ විජේවීර ඉන්දියාවේ තමිල්නාඩු කොටි කඳවුරක රැකවරණය ලබමින් සැඟවී සිටින බවටද ව්‍යාජ ප්‍රවෘත්ති පතුරවා හරින ලදි.

මෙවැනි තත්ත්වයක් තුළ 1983 පක්‍ෂ තහනමට පෙර මධ්‍යම කාරක සභාවේදී සිදු කළ සංවාදය පිළිබඳ විග්‍රහය රෝහණ විජේවීර විසින් කරුණු ඉදිරිපත් කරමින් 'ලංකාවේ ජාතික ගැටලුව සහ නිර්ධන පංතියේ විසඳුම' යනුවෙන් 1985 මාර්තු මාසයේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසි වාරයට න්‍යායාත්මක ලේඛනයක් ලෙස ඉදිරිපත් කළේය. පසු කාලීනව එනම් 1986 වසරේදී මෙම ලේඛනය තවදුරටත් තොරතුරු ඇතුළත් කරමින් දේශපාලනය, ඉතිහාසය, ජාත්‍යන්තර අත්දැකීම්, මාක්ස් ලෙනින්වාදය හා ජාතික ප්‍රශ්නය ආදි විෂයයන් ගණනාවක් අධ්‍යයනය කරමින් කරුණු හා තොරතුරු සම්භාරයක් ඇතුළත් කරමින් කෘතියක් ලෙස එළි දැක්වීමට කටයුතු කරන ලදි. මෙම කෘතිය රචනා කිරීමේදී රෝහණ විජේවීරට අවම පහසුකම් යටතේ කටයුතු කිරීමට සිදු විය. ඒ අනුව පක්‍ෂ තහනම නිසා සැඟව සිටිමින් ද ආරක්‍ෂාව පතා ස්ථාන වෙනස් කරමින් ද, සතුරන්ගේ බයිනෙත්තු දහස් ගණනක් තමා වෙත එල්ල වී තිබියදී, තමාගේ හිසට රුපියල් ලක්‍ෂ ගණනින් ලංසු තබද්දී ඉතා දුෂ්කරතා මධ්‍යයේ රචනා කිරීමට සිදු වූ අතර, එම තත්ත්වය කෘතියේ අගය වර්ධනය කරන්නක් විය.

1985 මාර්තු මස අග භාගයේදී රහසිගතව හෝකන්දර ප්‍රදේශයේ මුද්‍රණාලයක් පවත්වාගෙන යමින් ගුණරත්න වනසිංහ ඇතුළු පක්‍ෂ සාමාජිකයන් කිහිපදෙනකු අතින් අකුරු අමුණා කෘතිය මුද්‍රණය කළ අතර, ආරක්‍ෂක අංශ විසින් සිදු කරනු ලැබූ වැටලීමක් හේතුවෙන් මුද්‍රිත පිටු මෙන්ම අත්පිටපතේ කොටසක් ද අත්අඩංගුවට පත් විය. ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන අංශය බාරව සිටි ගුණරත්න වනසිංහ ඇතුළු සෙසු අයව ද අත්අඩංගුවට ගනු ලැබිණි. ආරක්‍ෂක අංශය මෙම වැටලීම සිදු කළේ කොටි ත්‍රස්තවාදීන් යැයි සැලකිය හැකි පිරිසක් නිවසක් තුළ හොර රහසේ සැඟව සිටින බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද ඔත්තුවක් මතය. ඒ අනුව කෘතියේ පිටපත් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අත්අඩංගුවට පත්වීම හුදු අහඹු සිදුවීමකි. අත්අඩංගුවට පත්වීම හේතුවෙන් කෘතිය මුද්‍රණය කර එළිදැක්වීමේ කටයුතු ද පමා විය. මෙහි බරපතළම අර්බුදය වූයේ කෘතියේ ඇතැම් පරිච්ඡේද රෝහණ විජේවීරට අලුතින්ම නැවත ලිවීමට සිදුවීමය. ඔහු එම අභියෝගයට දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉතා සාර්ථක අයුරින් මුහුණ දුන්නේය. ඒ අනුව 1985 සැප්තැම්බර් මාසයේදී වෙනත් ස්ථානයක කෘතියේ මුද්‍රණ කටයුතු ආරම්භ කරන ලද අතර, එය ඉතාමත් සූක්ෂම ආකාරයෙන් සිදු කරන ලදි. එහිදී මුද්‍රණ කටයුතුවලට සහභාගි වූ සාමාජිකයන් සතියක පමණ කාලයක් පිටතට පැමිණීමෙන් තොරව අදාළ ස්ථානය තුළම රැඳී සිට කෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට කටයුතු කළහ. 'දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද?' නමින් එළිදක්වන ලද කෘතියේ පළමු මුද්‍රණය ලෙස පිටපත් 500ක් එළිදැක්වීමට පක්‍ෂය සමත් විය.

1986 කම්කරු දිනය ජනතා විමුක්ති පෙරමුණට වැදගත් දිනයක් විය. 1986 කම්කරු දිනය වෙනුවෙන් මැයි පළමු වැනිදා, ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර තිබූ හෙයින් පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති සම්මේලනය කොළඹ නව නගර ශාලාවේදී කම්කරු දින රැස්වීමක් සංවිධානය කර තිබුණි. එහි ප්‍රධාන කථිකයා වූයේ නීතීඥ විජේදාස ලියනාරච්චිය. ඔහු විසින් සභාව අමතමින් සිටින අතරතුර රෝහණ විජේවීර විසින් රචිත දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද? යන රහසිගතව මුද්‍රණය කරන ලද කෘතිය එළි දැක්වීම සිදුකරන ලදි. එහිදී "සහෝදර සහෝදරියනි, විජේවීර සහෝදරයා සැඟවිලා නැහැ. ඔහු මෙතනට ඇවිල්ලා ඉන්නවා. මේ තමයි රෝහණ විජේවීර." රැස්ව සිටි අති විශාල ජනකාය විස්මයට පත් කරමින් මුල් වරට එම පොත ජනතාව සන්තක කළේය. මෙය ඉතා වැදගත් කෘතියක් බවත්, තමන්ට මෙය නාඳුනන පුද්ගලයකු මාර්ගයෙන් ලැබුණු බවත්, තමන් හට ලැබුණු ආකාරයෙන්ම ඔබලාටත් ඉදිරියේදී මෙම පොත හිමිවන බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. එවකට බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාට ද කෘතියේ පිටපතක් පිළිගැන්වීම සිදු වූ අතර, තරුණ මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීවරයා එහිදී වැදගත් කතාවක් සිදු කළේය.

"මේ පොත ලියන්න යම් කෙනෙකුට තිබුණ දේශපාලන අවබෝධය සුළුපටුවෙන් සලකන්න බැහැ. ඔහු අග්‍රගන්‍ය බුද්ධිමතෙක්. මේක තමයි ක්‍රියාත්මක වෙන්නට ඕන. මේ වගේ රට හදන්න ඔළුවක් තියෙන බුද්ධිමතුන්ට තමයි අද ජේ.ආර්. ජයවර්ධනගෙන් හැංගිලයි ඉන්න සිද්ධ වෙලා තියෙන්නෙ. එහෙම වෙන්න බැහැ. මේ අය ඉන්න ඕන එළියෙයි. මේ අය එළියට ගන්න ඕනෑ. ඔවුන්ගේ මේ දේශපාලන බුද්ධි සම්භාරය රටේ සුබසිද්ධියට ලබා ගන්න ඕන. මේ ජනවාර්ගික ගින්න තවත් ඇවිලෙන්න දෙන්න එපා. මෙය නිවන්න ඕන. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට බැරි නම්, තේරෙන්නෙ නැත්නම් මේ රෝහණ විජේවීර කැලේ ඉඳලා ලියලා අද එළිදකින දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද? කියන මේ පොත කියවන්න කියලා මම එතුමාට ආරාධනා කරනවා." යනුවෙන් වේගවත් කතාවක් කළේය.

කෘතිය පිළිබඳව විශ්වවිද්‍යාල මට්ටමින් ද දේශනයන් සිදු කරන ලද අතර, එහි මූලිකත්වය ගෙන මෙහෙයවීම සිදු කරනු ලැබූවේ එච්.ඊ. දයානන්ද සහ පී. තංගරාජා යන අයයි. 1971 අරගලයට වසර 15ක් සම්පූර්ණ වන 1986 අප්‍රේල් මස 05 වන දින සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් වෙත කෘතිය පිළිබඳ දේශන පක්‍ෂ ලේකම් උපතිස්ස ගමනායක විසින් සිදු කරන ලදි. එමඟින් ලෝකය තුළ උපායමාර්ගික අරමුණු එමෙන්ම දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියාවේ උපක්‍රමික අරමුණු හා ඒ තුළ ලංකාවේ ජාතික ගැටලුව ස්ථානගත වී ඇති ආකාරයත්, ඒ පිළිබඳ මාක්ස් ලෙනින්වාදී දෘෂ්ටියත් නව ප්‍රවේශයකින් යුක්තව ඉදිරිපත් කරන ලදි.

කෙසේ වුවද පසු කාලීනව මෙම කෘතිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තරිකව න්‍යායාත්මක මතවාදී අරගල පැන නැඟුණු අතර, පක්‍ෂ සාමාජිකයන් එම තත්ත්වය හේතුකොට ගෙන පක්‍ෂයෙන් ඉවත් වීම ද සිදු විය. විශේෂයෙන්ම කෘතිය එළිදැක්වීමට පෙර 1985දී ලයනල් බෝපගේගේ ඉවත් වීම සිදු වූයේ ද ජාතික ගැටලුව සම්බන්ධයෙන් රෝහණ විජේවීර සමඟ ඇති වූ න්‍යායාත්මක මත ගැටුම් හේතුවෙන් යැයි සඳහන් වේ.

 

නව අදහස දක්වන්න