නැවේ ගින්නෙන් පීඩාවට පත් වූවන්ට සහන දෙන්න අමෙරිකාවෙන් කෝටි දෙකක් | දිනමිණ

නැවේ ගින්නෙන් පීඩාවට පත් වූවන්ට සහන දෙන්න අමෙරිකාවෙන් කෝටි දෙකක්

එම්. වී' පර්ල් එක්ස්ප්‍රස් නෞකාව අනතුරට පත්වීම හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ කටයුතු සඳහා රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් (අමෙරිකානු ඩොලර් 100,000) හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට දීමට අමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

වෙරළබඩ සම්පත් සහ ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් අනතුරේ හෙළමින් මේ නෞකාවෙන් ප්ලාස්ටික් කැබලි සහ රසායන ද්‍රව්‍ය අවට මුහුදට මුදා හැර තිබෙන අතර, මේ තත්ත්වය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල්වලට මේ හදිසි මානුෂීය ආධාරය දෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ කළමනාකරණය සඳහා දැනට ලබා දෙමින් පවතින සහාය තව දුරටත් පුළුල් කරන බව පවසන එම තානාපති කාර්යාලය අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනයේ ක්‍රියාත්මක හවුල්කරුවන් හරහා මේ ආධාරය ශ්‍රී ලංකාවට දෙන බවද කියා සිටී.‍ එම්. වී. පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ ගින්න හේතුවෙන් ඇති වූ පාරිසරික බලපෑම්වල හානි අවම කර ගැනීම සඳහා උපකාර කිරීමට එක්සත් ජනපදය කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාල කටයුතු භාර නිලධාරි මාර්ටින් කෙලී මහතා පවසයි. කඩිනමින් දෙන මේ ආධාරය ජීවනෝපායට උපකාර ලබා දෙමින් දැනට ඇති වෙමින් පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා ධීවර ජනතාව සහ ඔවුන්ගේ පවුල්වලට හැකියාව ලැබෙනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න