ගුරු සංගම් විරෝධතාවෙන් කොළඹ දැඩි තදබදයක් | දිනමිණ

ගුරු සංගම් විරෝධතාවෙන් කොළඹ දැඩි තදබදයක්

ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් ගුරු සංගම් රැසක් එක්ව සංවිධාන කළ වි‍‍‍රෝධතා පා ගමන හේතුවෙන් ඊයේ (22) පෙරවරුවේ කොළඹ කොටුව සහ ඒ අවට දැඩි මාර්ග තදබදයක් ඇති විය.

වැටුප් විෂමතා ඉවත් කර ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරන්නැයි මෙහිදී උද්ඝෝෂකයෝ සඳහන් කළහ.

මීට අමතරව කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙසත්, රාජ්‍ය සේවකයන් මර්දනය කිරීම ආණ්ඩුව විසින් නවත්වන ලෙසත් උද්ඝෝෂකයෝ අවධාරණය කළහ. හයසියයකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටි අතර, එහිදී කොළඹ දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ වූ මේ විරෝධතා පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දක්වා ගමන් කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට එක්රොක් විය.

මේ උද්ඝෝෂණයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 30කට අධික පිරිසක් එක් වූහ. බොහෝ පිරිස් සෞඛ්‍ය නීති රීතිවලට පටහැණිව කටයුතු කරනු දැක ගත හැකි විය.

මේ උද්ඝෝෂණය හේතුවෙන් පැය තුනකට ආසන්න කාලයක් කොටුව ප්‍රදේශයේ වාහන තදබදයක් පැවති අතර, රියැදුරන් සහ ජනතාව මේ උද්ඝෝෂණකරුවන් දැඩිව විවේචනය කරනු ලැබීය.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් බැහැර වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

නව අදහස දක්වන්න