සෑම ඉලක්කයකටම අරමුණක් තියෙනවා | දිනමිණ

සෑම ඉලක්කයකටම අරමුණක් තියෙනවා

අපව සමාජය විසින් විවිධ මිනුම්දඬුවලින් මනින්නට පුළුවන. ඒ මත ඔවුන් විවිධ අර්ථකථන අපට ලබා දෙන්නට පුළුවන. එහෙත් එම මිනුම්දඬු ඔස්සේ අප විසින් අපව මැනීමට ලක් කරවිය යුතු වන්නේ නැත. එමෙන්ම අප අන් අයව ද අපගේ මිනුම්දඬුවලින් මැනීම ද කළ යුතු නොවේ. ඒ ඔවුන්ට ද අපගේ මිනුම්දඬුවලට හසු නොවන බොහෝ අගයන් පැවතිය හැකි නිසාවෙන්ය. අයින්ස්ටයින් කුඩා කාලයේ ඔහුව ඉගෙන ගත නොහැකි දරුවකු බවට පාසල විසින් මනින ලදී. එහෙත් ඔහු එතෙක් සිටි උගතුන්ට පවා සොයාගත නොහැකි වූ ගණිත සංකල්ප ඇතුළු සොයාගැනීම් බොහෝමයක් ලොවට දායාද කිරීමට සමත් විය. දැනුම නම් සාපේක්ෂ වූවකි. ඔබට නැති දැනුමක් මා තුළත්, මට නැති දැනුමක් ඔබ තුළත් පැවතිය හැකිය. ඕනෑම දෙයක් පිළිබඳ ව කෙනකු තුළ පවතින දැනුම කලින් කලට ගතික වීමට ද හැකියාව පවතියි. එබැවින් වරෙක පුද්ගලයා සතුව තිබූ දැනීම හෝ නොදැනීම පමණක් සලකා ගැරහුමකට හෝ පහත් කොට සැලකීමකට හෝ ලක් කිරීම සාධාරණ නොවනු ඇත.

යමකුගේ අත්දැකීම් සමුදාය හා දැනුම් සම්භාරය ප්‍රධාන වශයෙන් නිර්මාණය වී තිබෙන්නේ ඔහු හෝ ඇය වටා ගොඩනැඟී තිබෙන පරිසරය මූලික කරගෙනය. එබැවින් එක් එක් පුද්ගලයා වටා විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව ඔවුන්ට ම ආවේණික වූ දැනුම් පද්ධතියක් නිතැතින්ම නිමැවෙන්නේය. මෙයට කදිම නිදසුනක් වශයෙන් වසර කිහිපයකට පෙර ළමා චිත්‍රපටයක් ලෙස දොරට වැඩි ‘හෝ ගානා පොකුණ᾿ සිනමා කෘතිය හුවා දැක්විය හැකිය. තාක්ෂණයෙන් බොහෝ සෙයින් මෑත් වූ දුෂ්කර ගම්මානයක ඉගෙනුම ලබන ළමයින් පිරිසක් තමන් නොදන්නා මුහුද පිළිබඳ ව ගොඩනඟා ගන්නා අදහස් සමුදාය ඉතාමත් සිත්ගන්නාසුලුය. එහෙත් මුහුදක් දැක එම අත්දැකීම විඳ ඇති කෙනකු මුහුදක් දැක නැති ඔවුන් හා සන්සන්දනය කර මැනීම කොතරම් අසාධාරණ වෙනු ඇත් ද? එලෙසින් ම මුහුදක් දැක නැති වූ නිසාවෙන් එම ළමුන් සියල්ලම නූගතුන් ලෙස සලකා බැහැර කළ හැකි වන්නේ ද? කෙසේ නමුත් සමාජයට මේ පිළිබඳව අරුතක් ඇති කළ යුතු වන්නේය. අනෙකා නොදන්නා දේ කියා දෙන්නටත්, ඔබ නොදන්නා දේ අන්අයගෙන් දැන හඳුනා ගන්නටත් උත්සාහ කිරීම ඒ අනුව වඩාත් ඵලදායී වනු ඇත. යමක් නොදැනීම යමකු නූගතකු හෝ සමාජයට නොගැළපෙන අයකු ලෙස බැහැර කර දමන්නට හෝ හේතුවක් නොවිය යුතු වන්නේ එනිසාය.

එමෙන්ම අපි සමාජය විසින් සිදු කරනු ලබන මිණීම් ඔස්සේ සැලීම ද, සමාජය තමා වෙත සතුටුදායී මිණීමක් සෑම විටම සිදු කරාවි᾿ය යන අදහසින් සිටීම ද නොකළ යුතු වෙමු. කුඩා කල සිටම සමාජය විසින් දරුවන්ට හුරු කරනුයේ, ඔබ සෑම අතකින්ම සාර්ථක මිනිසකු විය යුතු බවටයි. වැරදි හෝ අතපසු වීම් සිදු වීමට එවන් සමාජයක කිසිඳු විටෙක ඉඩක් නැතිය. එහෙත් සැබෑව නම් ඉගෙනීමේ ක්‍රියාවලියට වැරදි වීම් තුළින් ඉගෙන ගන්නා යම් යම් දේ ද, එකතු කර ගැනීමට අවශ්‍ය වීමයි. එලෙසින් සලකා බලන විට සමාජය කොතරම් අඩුපාඩු සහගත වුව ද, යම්කිසි පුද්ගලයකු අතින් වැරැද්දක් සිදු වූ සැණින් එය පිළිබඳ ව මිනුම්දණ්ඩක් ඔහු හෝ ඇය වෙත දිගු කරන්නට පෙලඹී සිටින්නේ ය. එමෙන්ම අප සිටින්නේ ද, අපගේ වැරදි පමණක් සිතමින් වීම, වඩාත්ම උගහට වීමට කාරණාවකි. එබැවින් සමාජය විසින් අප පිළිබඳව ලබා දෙන අර්ථකථනය මතම ඇළලී සිටින්නට කටයුතු කරලයි.

තව ද අපගේ වටිනාකම් ගොඩනඟා ගන්නට අප අනෙකා මත යැපීම කළ යුතු වන්නේ නැත. අප අපටම වටිනාකමක් නිර්මාණය කර ගන්නට මහන්සි විය යුතු වේ. මන් ද යත් තමාට දිය හැකි සැබෑ වටිනාකම හඳුනන්නේ තමන්ම වීම නිසාය. එමෙන්ම අන් අය තමන්ට වටිනාකමක් ලබා නොදීම තුළින් හුදෙක් ම තමන්ට වටිනාකමක් නැති බව හැඟවෙන්නේ ද, නැත. ඒ වෙනුවට තමන්ට අවැසි පරිදි තමන්ගේ වටිනාකම් වර්ධනය කර ගැනීමට වඩාත් උත්සුක විය යුතුය. ඔබ විසින් එලෙසින් ගොඩනඟා ගන්නා අර්ථකථනයන් හා වටිනාකම් තුළ ඔබ ඔබම වීම වැදගත්ය. ඒ සඳහා අනවරත දැනුම් ගවේෂණයක නියැළීමත්, තමන්ගේ සෑම ඉලක්කයක්ම අරමුණු සහගතව දිනා ගැනීමත් තමන් වෙත ළඟා කරගත යුතු වටිනාකම් සඳහා නොමඳව කැපවීමත් සිදුවන වැරදීම් ඔස්සේ තමන්ගේ ඉගෙනීම් විෂයපථය පුළුල් කර ගැනීමත් කාලයත් සමඟ සියලු දේ නිවැරදිව සකසා ගැනීමට තරම් ඉවසිලිවත්තව කටයුතු කිරීමත් අවශ්‍ය වේ. එලෙසින් තමන් වෙත එකතු කර ගන්නා වූ වටිනාකම් දිනෙක තමන්ට සරිලන මිනුම්දණ්ඩ ලබා ගැනීම පිණිස උපයෝගි කර ගැනීම ද කළ යුතු වන්නේය. එතෙක් ඔබ වෙත ලැබෙන සියලු මිනුම්දඬු ස්ථිර හෝ තමන්ට සුදුසු වන ඒවා හෝ නොවන්නේය. එබැවින් ඔබට සරිලන මිනුම්දණ්ඩ ඔබට නිර්මාණය කර ගැනීමට හැකි වන තෙක් සෙසු කිසිඳු මිනුම්දඬු අබියස ඔබේ ගමන නවතා නොදමන්නට තරම් ශක්තිමත්ව කටයුතු කළ යුතු වෙමු.

 

බිනූ දිලාරා ගමගේ

නව අදහස දක්වන්න