පොහොර අර්බුදය මාධ්‍ය නාටකයක් ද? | දිනමිණ

පොහොර අර්බුදය මාධ්‍ය නාටකයක් ද?

ඇතැම් රූපවාහිනී චැනල දෙස බලා සිටින විට හිතෙන්නේ මේ මහ කන්නයත් සමඟ ශ්‍රී ලංකාවේ වී වගාව අවසන් වන බවය. රටට විදේශ විනිමය ගෙනෙන තේ වගාව විනාශ වී ඇති බවය. බඩ ඉරිඟු වගාව, එළවළු වගාව පමණක් නොව සියලු වගාවන් විනාශ වී ඇතැ’යි මේ චැනල පෙන්වා දෙයි. සියල්ලට හේතුව රසායනික පොහොර හා කෘමිනාශක ගෙන්වීම නවතා දැමීම යැයි තහවුරු කිරීමට ඔවුහු නොයෙක් දේවල් ගෙනහැර දක්වති. ගොවියාගේ කෝපය ප්‍රදර්ශනය කිරීම සඳහා වගාවට ගිනි දමා පෙන්වති. කාබනික වගාවට එරෙහි මාධ්‍ය යුද්ධයක් පවතී. මේ යුද්ධය පිටුපස සිටින්නේ රසායනික පොහොර හා විෂ සහිත කෘමිනාශක ආනයනකරුවන් බව සමහරු නොදනිති. එම ආනයනකරුවන්ගෙන් සමහරකුට රූපවාහිනී ආයතන ඇති බව ද සමහරු නොදනිති.

මේ වන විටත් කාබනික වගාවට හුරු වී සාර්ථකව වගාවන් කරගෙන යන ගොවීහු සෑම දිස්ත්‍රික්කයකම සිටිති. එම ගොවියෝම පොහොර නිෂ්පාදනය කරගෙන වගා කටයුතු කරගෙන යති. රටේ ඇත්ත තත්ත්වය නම් ජනාධිපතිවරයා කාබනික කෘෂිකර්මය ආරම්භ කරන්නටත් පෙර සාර්ථකව කාබනික වගාව සිදු කළ ගොවීන් පිරිසක රටේ සිටීමය. ඔවුහු නිහඬව තම කාර්යයෙහි නිරතව සිටිති. 1965 පමණ වන තුරු ද රසායනික පොහොර භාවිතයක් රටේ පැවතියේ නැත. ඈත අතීතයේදී පොහෙර නිපදවා ගත්තේ ගොවියාය. අවශ්‍ය කෘමිනාශක තනා ගත්තේ ද ගොවියාය. ඒ සියල්ල සිදු වූයේ ස්වභාවධර්මයට එකඟ ලෙසය. එදා අස්වැන්න අඩු වුණේ නැත. රටේ සමස්ත ජනගහනයට අවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය තිබිණි. එදා අපේ රට හැඳින්වූයේ පෙරදිග ධාන්‍යාගාරය හැටියටය. ශ්‍රී ලංකාව ධාන්‍යාගාරයක් වූයේ රසායනික පොහොර නැති කාලයේය.

ශ්‍රී ලංකාවට රසායනික පොහොර ගෙන්වූ මුල් කාලයේ ගොවීන් ඒවා භාවිත කිරීමට පෙලඹුණේ නැත. පොහොර තොග ගබඩාවල වසර ගණන් අසුරා තිබිණි. කෘමිනාශක පළමුව භාවිත කළ විට විශාල සත්ත්ව ඝාතනයක් සිදු විය. ඇළ, දොළ, ගංගාවල සිටි ශ්‍රී ලංකාවට ආවේණික ජලජ සත්ත්ව කොට්ටාස ගණනාවක් කෘමිනාශක හේතුවෙන් නැත්තටම නැති විය. රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය හුරු වූ විට ඊට සීමාවක් නොතිබිණි. කුඹුරේ කැට දිය කර හැරීම සඳහා ද රසායනික ඉසින්නට ගොවියා පුරුදු විය. සත්‍යය නම් ගොවියා ප්‍රචාරය ඔස්සේ ඊට හුරු කරන ලදී. මත්කුඩු, අවි-ආයුධ, ඖෂධ මෙන්ම රසායනික පොහොර හා කෘමිනාශක ද ලෝකයේ ජාවාරම්කාර වෙළඳාමකි. අධික ලාභ ලැබීම සඳහා වස-විෂ සහිත රසායනික වෙළෙඳාම එම ආයතනවල ප්‍රධාන කටයුත්ත වෙයි. මේ ලෝක වෙළඳාමට බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටිති. එබැවින් එය වැළැක්වීම ද පහසු නැත.

ශ්‍රී ලංකාවේ රජරට කලාපයේ බො‍ෙහා් ප්‍රදේශවල පස රසායනික පොහොර භාවිතය නිසා විනාශ වී ඇත. භූගත ජලය විනාශ වී ඇත. සෑම ජලාශයකම වතුර විෂ රසායනිකවලින් සමන්විතය. කුඹුරකට බැස්සොත් මී-උණ ඇතිවන්නට පුළුවන. එහි ජලය දිගටම භාවිත කළ හොත් වකුගඩු දෙකම අක්‍රීය වෙයි. රජරට කලාපය තුළ වකුගඩු රෝගය බහුලය. එය මේ වන විට දකුණටත් පැතිර ගොස් තිබේ. වකුගඩු රෝගය හා පිළිකා රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබේ. මේ අතර මී උණෙන් ගොවීහු මිය යති. රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක නිසා පොළොවට, ජලයට හා පරිසරයට විෂ රසායන මිශ්‍ර වී ඇති බව පර්යේෂණ මඟින් සනාථ කරගෙන තිබේ. මේ පිළිබඳ දීර්ඝ සංවාද පැවතිය ද විසඳුමකට අවශ්‍ය පියවර ගන්නට කිසිදු නායකයකු ඉදිරිපත් වූයේ නැත. රසායනික පොහොරවලට අතගැසීම පාලකයන්ට එතරම් සුබදායක වන්නේ නැත. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනප්‍රිය නොවන එම තීන්දුව ගනිමින් රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක ගෙන්වීම තහනම් කළේය. එය බොහෝදෙනකුගේ ඇගයුමට ලක් විය.

කාබනික කෘෂිකර්මය පිළිබඳ වැඩසටහන රටේ අනාගතය දෙස බලා ක්‍රියාවට නංවනු ලබන වැදගත් ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය යුතුය. රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය මානවයාගේ පැවැත්මට පමණක් නොව; සමස්ත ජීව පද්ධතියේම පැවැත්මට තර්ජනයක් බව ප්‍රකාශ වී ඇත. මහා පරිමාණ වාණිජ වගාවන් සිදු කරන දියුණු රාජ්‍යයන් පවා රසායනික පොහොර හා කෘත්‍රිම පලිබෝධ නාශකවලින් බැහැර වීමට උපාය මාර්ග සොයන්නට පටන්ගෙන තිබේ. ඇතැම් රටවල් ක්‍රමයෙන් කාබනික වගාව කරා ගමන් කරන බව දැකගත හැකිය. ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තය මුළුමනින්ම කාබනික වගාවට හුරු වී ඇත. එහි නිෂ්පාදනවලට ලෝකය පුරා අධි ඉල්ලුමක් පවතින අතර, සීකිම් ප්‍රාන්තය කාබනික රාජ්‍යය ලෙස හඳුන්වනු ලැබේ. එය ලෝකයේ එකම කාබනික රාජ්‍යය ලෙස ද හැඳින්විය හැකිය. අප්‍රිකානු රටවල් ශීඝ්‍රයෙන් කාබනික වගාව කෙරෙහි යොමු වන්නට පටන්ගෙන තිබේ. යුරෝපීය රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී ඇත. අප මේ ව්‍යාපෘතිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුව තිබේ.

මේ වැඩසටහන තුළ විවිධ අඩුපාඩු තිබෙන්නට පුළුවන. ඇතැම් ගොවීන් දීර්ඝ කාලයක් තිස්සේ පැවති පුරුදු අත්හරින්නට කැමැති නැත. විවිධ සංවිධාන හා සමාගම් ගොවීන් කුලප්පු කරමින් රසායනික පොහොර වෙත තල්ලු කරන බැවින් තත්ත්වය නරක අතට හැරී ඇත. මේවා පරාජය කළ යුතුව තිබේ. ගොවි සංවිධාන ගණනාවක් කාබනික වගාව සිදු කරමින් ජනාධිපතිවරයාගේ වැඩසටහන සාර්ථක කිරීමට වෙහෙස වෙති. එහෙත් ජනමාධ්‍යවල ඒවා ප්‍රචාරය වන්නේ ඉතා අඩුවෙන්ය. නිතරම ජනමාධ්‍යවල අවධානය යොමු වී ඇත්තේ ගොවි උද්ඝෝෂණවලට පමණි. පුදුමයකට මෙන් වකුගඩු රෝගීන් ඇති පවුල්වල සාමාජිකයෝ ද රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරති. මිනිසුන් වැටී ඇති මුළාවක තරම එයින් පැහැදිලි වෙයි. ආණ්ඩුව ගොවි උද්ඝෝෂණ හමුවේ පියවරක් පසුපසට ගෙන ක්‍රියා කරනු දැක ගත හැකිය. එහෙත් මේ ව්‍යාපෘතිය නතර නොවිය යුතුය. ජාතියේ අනාගතය ඇත්තේ කාබනික කෘෂිකර්මය මත යැයි අපි අවධාරණයෙන් සටහන් කර තබමු.

නව අදහස දක්වන්න