තාක්ෂණය මාරයෙක් ද? | දිනමිණ

තාක්ෂණය මාරයෙක් ද?

අද වන විට ලෝකය තාක්ෂණය අතින් ඉතාමත් දියුණුවක් ළඟා කරගෙන ඇත. අද සෑම දෙයක්ම තාක්ෂණය උපයෝගි කරගෙන කරන්නට තරම් මුළු මහත් ලෝකයම හුරුපුරුදුව සිටියි. එයට ඇති ප්‍රබලම නිදසුන වන්නේ අද කොරෝනා එන්නත ගන්නට කලින් අපගේ තොරතුරු ලියාපදිංචි කරන්නේ මාර්ග ගත ක්‍රමයටයි. අද වන විට අපි අන්තර්ජාලය හා තාක්ෂණය ඔස්සේ ඉතා දිගු ගමනක් ආවත්, මේ තාක්ෂණය යනු කුමක් ද යන්න හරිහැටි අවබෝධයක් තවමත් අපට නැත. එයට හේතුව වන්නට ඇත්තේ හුදෙක් අප මේ තාක්ෂණය භාවිත කරන්නේ නොදැනුවත්කම නිසා වන්නට ඇත.

තාක්ෂණය හුදෙක් මාරයකු ලෙස දකින පිරිස අතර මිනිස් සංහතියෙන්ම මේ තාක්ෂණය නමැති මාරයා මුලිනුපුටා දමන්නට අදහසක් ඔවුන්ට ඇත. නමුත් එය කළ හැකි දෙයක් ද, අද මිනිසාට තාක්ෂණයෙන් තොර ජීවිතයක් තිබේද? අද වන විට සමාජයේ ජීවත් වන ඕනෑම කෙනකුට තාක්ෂණය යනු ඉතාමත් උවමනා දෙයකි. තාක්ෂණයෙන් තොර කිසි දෙයක් කරන්නට අද මිනිසාට නොහැකිය. එසේ පවසන්නට හේතුව අප එතරම් ම තාක්ෂණය හා ඉතා සමීප වන නිසායි.

තාක්ෂණය යනු මාරයකු සේ පැවසුවත්, එසේ පවසන්නේ මුළු මහත් තාක්ෂණයටම නොවන බව පැහැදිලි වන්නේ එසේ පවසන අයගේ ක්‍රියා කලාපය තුළිනි. ඔවුන් තාක්ෂණය තමන්ගේ ජීවිතයට සහාය වන දෙයක් ලෙස දැක්කත් ස්මාට් දුරකතනය සහ ඒ හා සමාන අනිකුත් තාක්ෂණික උපකරණ ඔවුන් දකින්නේ මාරයකු ලෙසයි. නව යොවුන් දරුවන් සිටින මව්පියන් අතරින් බහුතරයක් දුරකතන, රූපවාහිනිය හා අන්තර්ජාලය මාරයකු ලෙස දකින්නේ එය දරුවන් විනාශ කරනවා යන හැඟීම නිසා වන්නට ඇත. අද වන විට මව්පියන් හට දරුවන්ගෙන් දුරකතනය වෙන් කරන්නට නොහැකිය. එයට හේතු වූයේ අද වන විට පවතින වසංගත තත්ත්වය නිසා දරුවන් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ මාර්ගගත ක්‍රමයටයි. එම නිසා දරුවන්ගෙන් දුරකතනය වෙන් කරන්නට නොහැකිය. එදා මව්පියන් දරුවන්ට දුරකතනය තහනම් කර තිබුණි. නමුත් අද තමන්ගේ කනකර විකුණා හෝ දරුවන්ට ස්මාට් දුරකතනයක් අරන් දෙන්නේ අධ්‍යාපන කටයුතු සිදු කරන්නටයි. එදා මාරයකු සේ දැක්ක දුරකතනය අද දරුවන්ට අරන් දෙන්නට සිදු වූයේ මේ පවතින වසංගත තත්ත්වය නිසාය. අද රටේ සෑම නිවසකම කුඩා දරුවන් කල් ගෙවන්නේ ස්මාට් දුරකතනය තුළයි. අසීමිත නිදහස තුළ ළමුන් අන්තර්ජාලය තුළ සැරි සරන්නේ කෙළවරක් නැතිවයි. ඔවුන්ට දුරකතනයෙන් වෙන් වන්නට කාලයක් නැත. සමහර අවස්ථාවල පාන්දර 4ට පටන් ගන්නා පන්තියටත්, රාත්‍රී 11ට අවසන් වන පන්තියටත් දරුවන් සහභාගි වන්නේ තනියමයි. ඔවුන් අධ්‍යාපනය ලබනවා වන්නට ඇත. නමුත් දුරකතන යනු මාරයකු බව පවසන මව්පියන් දරුවාව මාරයකු සමග තනි කර දමන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි.

දරුවන්ට නිදහස දිය යුතුය. නමුත් ඒ නිදහස මව්පියන්ගේ අධීක්ෂණයෙන් තොර නිදහසක් නොවිය යුතුය. එසේ පවසන්නට හේතුව අද රටේ පවතින තත්ත්වයයි. මේ වසංගත කාලය තුළ දරුවන්ට දුරකතනය ලැබුණේ පනින රිළවුන්ට ඉනිමං බැන්දාටත් වඩා භයානකවයි. අපි නිරන්තරයෙන් ම දරුවන්ට දුරකතන දුන්නේ නැති මව්පියන්. එය අප දන්නා කරුණකි. නමුත් අපි අද මව්පියන් ලෙස දරුවන්ට දුරකතනය දීලා, දරුවන්ව දුරකතනයත් සමඟ තනි කර දමා නිදහසේ සිටින්නේ කෙසේද? අපි ඔවුන්ගේ අතට දුන්නෙ මුළුමහත් ලෝකයයි. මේ දුරකතනය ඔවුන්ට ලෝකයේ අස්සක් මුල්ලක් නෑර තිබෙන කරුණු සොයන්නට උපකාර කරන්නේ තත්ත්පරයකටත් වඩා අඩු කාලයකින්. එසේම ඔවුන් මේ යන එන අතරවාරයේ ඔවුන්ව ඇද බැඳ තබා ගන්නා නොයෙකුත් දේවල් ඇත. ඔවුන්ට කුතුහලය දනවන එවන් කරුණු පිළිබඳ විමසන්නට ඔවුන් පැකිළෙන්නේ නැත. අසැබි දර්ශන හා අසභ්‍ය වෙබ් පිටු වෙත ඔවුන් පිවිසෙන්නේ ඔවුන්ගේ සිත්වල ඇති කුතුහලය නිසාමයි. නමුත් එය කුතුහලය අවසානයේ ඇබ්බැහිවීමකට පෙරළෙන්නට ඉඩ කඩ ඇත. ඒ ඇබ්බැහි වීම අසීමාන්තිකව ඔවුන්ගේ මනස විකෘති කරන්නේ, එයින් පිට වෙනත් කිසිදු දෙයක් සිතන්නට ඔවුන්ට ඉඩ නොතබමින්. එය පමණක් නොව අද වන විට ලෝකයේම ගැටලුවකව පවතින වීඩියෝ ගේම් නිසා දරුවන් ඉතා ප්‍රචණ්ඩ බවට පත්වී අවසන්ය. ඒ කොතරම් භයානක ද කියනවා නම් 2018 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීම මානසික රෝගයක් ලෙස තම එකොළොස් වන පරිච්ඡේදයට එකතු කරලා තියෙනවා.

එම නිසාම අප දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම, දරුවන්ට දී ඇති ස්මාර්ට් දුරකතනයට අවධානය ලබා දෙමින් කටයුතු කළ යුතුය. සෑම මොහොතකම දරුවාව අධීක්ෂණය කිරීමට යොමු වීම තුළින් අපට අපගේ අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමට හැකි වෙයි. එසේ අධීක්ෂණයෙන් තොරව දරුවා මේ වසංගතයට හුරු වුව හොත් එයින් දරුවන් මුදා ගැනීමට මව්පියන් ලෙස අපටත්, මුළු මහත් සමාජයටමත් මහත් වෙහෙසක් ගැනීමට සිදු වෙයි. ' මුළු ලෝකය ම අපේ අතින් උදුරා ගත හොත් අප දක්වන ප්‍රතිචාරය කෙබඳු ද?' එවැනි ප්‍රතිචාරයක් නිසැකයෙන් ම දරුවන් ද අපට ලබා දෙයි. එවිට ඔවුන්ගේ ප්‍රතිචාරය හා හැසිරීම ප්‍රචණ්ඩකාරීය. අද වන විට අපේ රටේ මෙවැනි ප්‍රචණ්ඩකාරි වූ දරුවන් පිළිබඳ වූ පුවත් ගොන්නක් දැකිය හැකිය. ඒ සියලු ම දේවලට හේතුව ලෙස මව්පියන් පෙන්වා දෙන්නේ දරුවන් භාවිත කරන දුරකතනය හා ඔවුන් යොමු වී සිටින වීඩියෝ ගේම් ක්‍රීඩාවයි.

අපේ එසේ කටයුතු නොකර සිටින්නේ නම්, දරුවන් අනිවාර්යයෙන්ම මෙයට ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වීම අවසානයේ දරුවන් මානසික රෝගීන් බවට පත් කරයි. ඉන්පසු ඔවුන්ට සිදුවන්නේ, තමන්ගෙන් සාමාන්‍ය ජීවිතය තුළ එදිනෙදා හමුවන සියලු දෙනා හා දෛනිකව සිදුකරන කාර්යයන් පිළිබඳව තිබෙන අවධානය බිඳී යෑමයි. ඔවුන්ට තමන්ගේ පාඩම් කටයුතු අමතක වෙන අතර මව්පියන් ඥාති හිතවතුන් සමඟ සංවාදයේ යෙදීම අපහසු දෙයක් සේ පෙනෙයි. හුදෙකලාව කාලය ගෙවන්නටත් නිදහස තිබෙන සෑම අවස්ථාවකම වීඩියෝ ගේම් ක්‍රීඩාව සිදු කරමින් කාලය ගත කරන්නටත් ඔවුන් යොමු වෙයි. ඉන් අනතුරුව ඔවුන් ක්‍රමක් ක්‍රමයෙන් එයට ඇලුම් වන්නට හේතු වනුයේ ඔවුන්ගේම ලෝකයක් ඔවුන් එය තුළ නිර්මාණය කර ගන්නා නිසායි. මිත්‍රත්වය, නායකත්වය, නිර්භීත බව, කැපකිරීම්, ආයුධ, යාන වාහන හා ස්වයං හා ක්ෂණික තීරණ ගැනීම ඔවුන් ඒ තුළ නිර්මාණය කර ගන්නා බැවිනි. එයින් පිටත සාමාන්‍ය ජීවිතයේ වැඩිපුර කාලයක් ගත කිරීමට ඔවුන් අකැමැතියි. ඔවුන්ට සාමාන්‍ය ජීවිතය තුළ කරන්නට බැරි සියලු දේ වීඩියෝ ගේම් තුළ නිර්මාණය කර ගැනීමට හැකියාව පවතී.

දරුවන් කොපමණ කාලයක් තාක්ෂණය සමඟ එනම් දුරකතනය, අන්තර්ජාලය හා වීඩියෝ ගේම් තුළ සිටියත් දෙමාපියන් ලෙස අප ඔවුන්ට මේ සියල්ලෙහි යථා තත්ත්වය හා ස්වභාවය පිළිබඳව උගන්වා තිබේ නම් දරුවන් කිසිවිටක එයට ඇබ්බැහි වන්නේ නැත. දරුවන්ට දෙන ජංගම දුරකතනය අනිවාර්යෙන්ම මව්පියන් ලෙස අප අධීක්ෂණය කළ යුතුය. අප එය වෙත අවධානය යොමු නොකර සිටින සෑම අවස්ථාවකම අපගේ දරුවා හානිදායක මාවතක ගමන් කරන්නට අවස්ථාව ඇත. ඔවුන් දුරකතනය සමඟ කොපමණ කාලයක් රැඳී සිටින්නේ ද යන්න අවබෝධයක් අපට තිබිය යුතුය. එසේ නැති වුව හොත් ඔවුන් විවිධ දේට ඇබ්බැහි වීම අපට නතර කරන්නට නොහැකිය. ඉතාමත් අවබෝධයෙන් හා හික්මවීමකින් යුතුව දරුවන්ට තාක්ෂණය උපයෝගි කරගෙන කටයුතු කරන්නට දෙමාපියන් ලෙස අප ඉගැන්විය යුතුය. මෙය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද ගැටලුවක් වන ප්‍රශ්නයකි. මෙයට ඇබ්බැහි වන සියලු දෙනාම කිසිම හික්මවීමකින් තොරව, ඉතා ප්‍රචණ්ඩව කටයුතු කරයි. එම නිසා මෙය අප කාටත් පොදු දෙයකි. තාක්ෂණය භාවිත කරන සෑම අවස්ථාවකම මනා අවබෝධයකින් හා හික්මවීමකින් යුතුව කටයුතු කරන්නේ නම් මේ ලෝකය තාක්ෂණයෙන් ජයගැනීමට අප සියල්ලන්ටම හැකි වේවි.

මිතුන් දිව්‍යාංග සිල්වා

 

නව අදහස දක්වන්න