පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් මුදාහැරීමට කියා රු.1,810,000ක් ගත් සැකකරු අත්අඩංගුවට | දිනමිණ

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් මුදාහැරීමට කියා රු.1,810,000ක් ගත් සැකකරු අත්අඩංගුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන නව්ෆර් මව්ලවි ඇතුළු තවත් සැකකරුවන් තිදෙනකු මුදාහරින බවට පවසා ඔවුන්ගේ ඥාතීන්ගෙන් මුදල් රුපියල් 1,810,000ක් ලබාගත් සැකකරුවකු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්ගමුව, තේක්ක වත්ත ප්‍රදේශයේදී පසුගිය 14දා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගෙපලමුල්ගෝල, උහුමීය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෙරට ලියාපදිංචි අපරාධකරුවකු වන අතර ඔහු මීට පෙරද මුදල් වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අයෙකි.

සැකකරු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකයකු ලෙස පෙනී සිටිමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් නව්ෆර් නොහොත් නව්ෆර් මව්ලවි ගේ බිරියගෙන්, ඇයගේ සැමියා සහ මොහොමඩ් ඊබ්‍රහිම් අබ්දුල්ලා නම් සැකකරු නිදහස්කරන බවට පවසමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන තිබූ බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන ලද ෆාතිමා රිකාසා නම් සැකකාරිය නිදහස් කරන බවට පවසමින් ඇයගේ ඥාතියකුගෙන් ද රු.318,000ක මුදලක්ද, රැඳවුම් නියෝග මත සිටි සැකකරුවකු වන මොහොමඩ් සියාම් මොහොමඩ් ශිම්ෂාඩ් යන පුද්ගලයාව මුදා හැරීම සඳහා එම සැකකරුගේ බිරියගේ සහෝදරයා වන මොහොමඩ් සිෆ්රාන් මොහොම්මදු සියාම් යන අයගෙන් ද රුපියල් ලක්ෂ 15ක් ඉල්ලා පසුව ලක්ෂ 12කට එකඟ වී ඉන් රුපියල් ලක්ෂ 04ක් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.

සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ මුදල ලබාදුන් මොහොම්මදු සියාම් යන පුද්ගලයා විසින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදීය.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, තමා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ඥාතීන්ගේ තොරතුරු ලබාගත්තේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයකුගෙන් බවය. සැකකරුට තොරතුරු ලබාදුන් අදාළ පුද්ගලයා සොයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න