පිරවුම්හල්වල ටැංකි ජනතාවට පෙන්වීමට මැදිහත් වෙන්න එපා | දිනමිණ

පිරවුම්හල්වල ටැංකි ජනතාවට පෙන්වීමට මැදිහත් වෙන්න එපා

ඉන්ධන පිරවුම්හල් තුළ ඇති භූගත ඉන්ධන ගබඩා ටැංකි විවෘත කර පෝලිම්වල රැඳී සිටින ජනතාවට පෙන්වීමට පොලිසියට මැදිහත් නොවන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

මේ නියෝගය කඩ කරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා අවධාරණය කර ඇත. ඉන්ධන පිරවුම්හල් වෙත පොලිස් නිලධාරීන් යොදවා ඇත්තේ ජනතාව පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් එම ස්ථානවල මහජන සාමය කඩ වීම් හෝ අපරාධමය සිදු වීමක් වැළැක්වීම හා ඉන්ධන බෙදා හැරීමේ කාර්ය බාධාවකින් තොරව පවත්වාගෙන යෑම ආදි කරුණු කිහිපයක් මුල්කරගෙන බව ද පොලිස්පතිවරයා සඳහන් කරයි.

එසේ පොලිස් නිලධාරීන්ට පවරා ඇති රාජකාරියට පරිභාහිරව යමින් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ගබඩා කර ඇති භූගත ටැංකි විවෘත කර මහජනතාවට පෙන්වීමට පොලිස් නිලධාරීන් මැදිහත් වන බවක් පෙනෙන්නට ඇතැයි ද පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ගබඩා ටැංකි විවෘත කිරීම සහ අදාළ කාර්ය පැවරී ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් ඉන්ධන පිරවුම්හලේ හිමිකරු හෝ පිරවුම්හලේ සේවයේ නිරත පුද්ගලයන්ට බැවින් එම කාර්යය සඳහා පොලිස් නිලධාරීන් මැදිහත් නොවිය යුතු බව පොලිස්පතිවරයාගේ නියෝගයෙහි සඳහන්ය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න