කන්න බැරි හාල් කිලෝ 16000ක් අලුත්ගම-බේරුවල ගබඩාවල | දිනමිණ

කන්න බැරි හාල් කිලෝ 16000ක් අලුත්ගම-බේරුවල ගබඩාවල

අවට කැන්ටින්වලට අඩු ගාණට විකුණලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීමට ඇසුරුම් කරමින් සිටි ස්ථාන දෙකක් වටලා සහල් කිලෝ දහසය දහසක් සොයාගෙන ව්‍යාපාරික ස්ථාන දෙක මුද්‍රාකළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ඊයේ (05) පැවසීය. අලුත්ගම දර්ගා නගරයේ සහ බේරුවල සහල් ගබඩාවක් සහ සහල් පිරිසුදු කර ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් මෙසේ මුද්‍රා තැබූ බව ඔහු පැවසීය. බේරුවල පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරක් මත කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ පොලිසිය එක්ව පසුගිය (04)දා මේ වැටලීම කර තිබේ. වැල්ලම්පිටිය ප්‍රදේශයේ සහල් තොග ගබඩාවකින් සත්ව ආහාර සඳහා යැයි පවසා අලුත්ගම ප්‍රදේශයට රැගෙන විත් එහිදී අපද්‍රව්‍ය කොටස් ඉවත් කර අලුත්ගම, බේරුවල, මග්ගොන සහ පයාගල ඇතුළු ප්‍රදේශවල ආපණ ශාලාවලට අඩු මුදලට අලෙවි කර ඇති බවට හෙළිව ඇතැයි සඳහන් වේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක සහ අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

නව අදහස දක්වන්න