චිත්‍රපටය හැදුවේ පවුලේ හැමෝටම | දිනමිණ

චිත්‍රපටය හැදුවේ පවුලේ හැමෝටම

තට්ටු දෙකේ ඉස්කෝලේ අද (17) පටන් එම්. පී. අයි. මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වලදී තිරගත කෙරේ. ලලිත් රෝහිත එදිරිසිංහගේ කුලුඳුල් චිත්‍රපටය වන මෙය වෛද්‍ය නිශාන්ත ප්‍රදීප් රොද්‍රිගු නිෂ්පාදනයකි. ප්‍රවීණ තිරකතා රචකයෙක්, නවකතාකරුවකු වශයෙන් ද ප්‍රකට ලලිත් සමඟ අපි දැන් තට්ටු ඉස්කෝලෙට ගොඩවදිමු.

l දැනට ප්‍රතිචාර කොහොමද?

අපේක්ෂා කළාට වඩා හොඳයි. වැඩිපුර ගුරු, විදුහල්පති ඇතුළු වියත් මඩුළුවලින්, විචාරක පර්ෂද ආදියෙන් හොඳ අහන්න ලැබෙනවා. ගහක් වෙනුවෙන් කඳුළු හලන්නට තරම් සංවේදීකමක් මෙයින් ඇති කළ බවක් ඒ හුඟ දෙනකුගෙන් අහන්න ලැබුණා. එසේම, පෙර නොවූ විරූ තරම් පරිසරයට සවන් දීමට නැඹුරුවක් මේ නිසා ඇති වූ බවත් ඉන් කියැවුණා. ලෝකයේ ගහක් වෙනුවෙන් චිත්‍රපටයක් හැදුණු බවට මං දැනුම්වත් නැහැ. ඒ අනුව මේ එවැනි මුල්ම නිර්මාණය වෙන්න ඇති. ඉතින් ඒ අතින් සතුටුයි.

l අසතුටුදායක කරුණුත් අසන්නට ලැබෙන්න ඇති?

ඒක මේ වෙලාවේ සිදු නොවන්නට තිබුණු දෙයක්. ඒ ගැනත් මේ දිනවල සමහරු මා සමඟත් කතා කළා. මේ සමඟ තිරගත කිරීම ඇරඹෙන තවත් ළමා චිත්‍රපටයක් ගැනයි ඉන් කියැවුණේ. ඒත් මේ වන විට අපිට ආපස්සට යන්න බැහැ. ආධුනිකයකුට ඉඩක් දෙන්න සමහර කල්ලි, සමාගම් ඇති කරගත් අය කැමැති නැහැ. මෙයින් පසුව තවත් චිත්‍රපටි හදන්න මට උත්තේජනයකුත් මෙවැනි කෙනහිලිකම් නිසා ඇති නොවේවි. ඒත් පිටරටක ඉඳන් කලාවේ ඉදිරි ගමනක යෙදෙන්න මං කල්පනා කරනවා. මෙවැනි ගැටීම් මින් පෙරත් බොහෝ චිත්‍රපටි පිළිබඳ අසන්නට ලැබී තියෙනවා. ආධුනික අපට පමණක් නෙවෙයි. ඒ ඒ කුලකවලට නොයන සම්මානනීය චිත්‍රපටිකරුවන්ටත් මේ දුර්දාන්තය ඇති වුණා.

හොඳ ප්‍රතිචාර පවතින විට එක්වරම ශාලාවලින් ඒ චිත්‍රපට ගලවා ඉවත් කෙරුණා. ඒත් මේ රටේ ළමා පරපුර අතරට ගෙන යෑමේ අරමුණෙන් කළ මේ චිත්‍රපටය නරඹා තිබුණු කිසිවකුත් මෙවැනි අසාධාරණ තීන්දුවක් නොගන්නවා නියතයි. ඒත් නිර්මාණකරුවා මිසෙක නිර්මාණය නොබලාම තීන්දු තීරණ ගන්නා සමහරු නිසා මේ තත්ත්වය ඇති වෙන්න ඇති. ඒ කොහොම වුණත් කලින් දන්වා ඇති පරිදි ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයෙන් පසුව සතියකින් තවත් සිනමා ශාලා ගණනක් තට්ටු ඉස්කෝලෙ වෙනුවෙන් විවෘත වීමට නියමිතයි.

l දැන් අපි නිර්මාණ පිරිවර සිහි කරමුද?

ජගත් චමිල, දමිතා අබේරත්න, ෆර්නි රෝෂිණී, නෙතලි නානායක්කාර, මංජුලා කුමාරි, අයෝධ්‍යා දර්ශිකා, චමීර ලියනගේ, සූර්යා දයාරුවන්, තරුෂි පෙරේරා, ජීවන්ති පෙරේරා, ජයන්ත අබේරත්න, වොල්ගා කල්පනී, මෞලි දුෂ්මන්ත, තිස්ස බණ්ඩාරනායක, අතුල ජයන්ත ආදීන් රංගනයෙන් එක් වෙනවා. සහාය අධ්‍යක්ෂණයෙන් ජයන්ත අබේරත්න, අමිල සඳුන් ප්‍රේමරත්න ද කැමරාවෙන් මයුර කෞශල්‍ය ද අංග රචනයෙන් උහාන් සිතිජ ද කලා අධ්‍යක්ෂණයෙන් සුනෙත් නන්දලාල් ද සංගීතයෙන් ජගත් රස්නායක ද ගැයුමෙන් ජිනේන්ද්‍ර ජයවීර, සොනාලි ගලප්පත්ති, සජිනි කවීෂ ඇතුළු ආධුනික වුවද දක්ෂ පිරිසක් තමයි තට්ටු දෙකේ ඉස්කෝලෙ හැදුවේ.

l අපිට පිටරටත් අමතක කරන්නම බැහැ?

සත්තකින්ම. බොහෝ රටවලින් මේ සඳහා ඇරයුම් ලැබුණා. දෙවසරක් තිස්සේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව ආදී රටවල මේ චිත්‍රපටය පෙන්නුවා. ඔස්ට්‍රේලියාවේ මේ වන විට දෙවැනි වටයටත් මෙරටට සමගාමීව මේ චිත්‍රපටය පෙන්වනවා. ඒ රටවල වැඩිහිටි ප්‍රජාවගෙන් තමයි වැඩි ප්‍රතිචාර ලැබුණේ. මෙහි එන කාලය ඒ අය අත්විඳ තියෙනවා. ළමා පරපුරෙන් එතරම් ආකර්ෂණයක් නොවුණේ මෙවැනි අත්දැකීම් අඩුකම නිසයි. ඉන්දියාවෙන් මේ සඳහා ආරාධනා ලැබී තියෙනවා, ඉංග්‍රීසි සහ දෙමළ බසින් හඬකැවීමට.

ළමුන්ට මේ චිත්‍රපටය වඩා වැදගත් වෙයි කියලා මත පළ වෙනවා නේද?

බොහෝ විදුහල්පතිවරු මෙය ඒ ඒ පාසල්වල සෑම සිසු සිසුවියකටම පෙන්වන්නට කැමැත්තෙන් පසු වෙනවා. ඊට අදාළ නිර්දේශය ළඟදීම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබෙතැයි බලාපොරොත්තු වෙනවා. එවිට මවුපියන් සමඟම මේ චිත්‍රපටය නැරඹීමට ළමුන්ට ඉඩ ලැබේවි.

l ළමුන් සමඟ වැඩ කිරීම කොහොම අත්දැකීමක්ද?

ඒක අපහසු නැහැ. අනෙක සාමාන්‍ය විදියට ඒ දර්ශන ගත්තා මිසෙක ළමුන් වෙහෙස කරවීමට උත්සාහ කළේ නැහැ. එතැනදී පෙර පුහුණු වීම් ආදිය උපකාර වුණා. ඊට ජගත් චමිල ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලද සහාය විශිෂ්ටයි. කුඩාම ළමයි ඒ අයගේ මවුපියන්ගෙන් අහලා තිබුණේ චිත්‍ර තරගයේ ප්‍රතිඵල ආවාද කියලායි. චිත්‍රපටයකට පෙනී සිටිය වගක් ඒ සමහරුන්ට දැනිලා වත් නැහැ. ඒත් අපිට ඕනෑ විදියට ඒ අයගෙන් ඒ අවස්ථා ලැබුණා.

l මේ යටින් දිවෙන ප්‍රේමයක් පිළිබඳත් ඉඟි කෙරෙනවා නේද?

ඒත් එය වැඩිහිටි ප්‍රේක්ෂකයා විඳ ගන්නා දෙයක්. ඒ මිසෙක ළමුන්ට එහි බලපෑමක් නැති බවයි මගේ හැඟීම. ඇත්තෙන්ම එකට එකම චිත්‍රපටි ශාලාවක ඉඳන් ළමුන්ට ජීවිතය විස්තර කර දීමට එහි බලපෑමක් නැහැ. එතැනදීත් කුඩා කාලයේදී යාළු මිතුරුකම් දුරස් වීමෙන් පසුව නැවත තරුණ වියේදීයි මේ දෙදෙනා මුණ ගැහෙන්නේ. ඒ මානුෂික බැඳීම් වචනයෙන් විස්තර කෙරෙන්නේ නැහැ. එහෙම ඕනෑකමකුත් නැති තරමට සිනමා රූපයෙන් ඒ වග කියාපාන බවයි මගේ හැඟීම. ඉතින් මං ප්‍රේක්ෂකයාට පවුලේ සියල්ලන් එක්කම සිනමාහලට ඇවිත් තට්ටු ඉස්කෝලේ නරඹන්නැයි ආරාධනා කරනවා.

නුවන් මහේෂ් ජයවික්‍රම

ලලිත් රෝහිත එදිරිසිංහ

නව අදහස දක්වන්න