Home » රජය ආධාර දිය යුත්තේ කෑමට බීමට නොව; ජනතාව දිළිඳුබවින් ගොඩ ගැනීමේ සැලසුමක් ඇතිවයි

රජය ආධාර දිය යුත්තේ කෑමට බීමට නොව; ජනතාව දිළිඳුබවින් ගොඩ ගැනීමේ සැලසුමක් ඇතිවයි

by gayan
July 8, 2023 1:00 am 0 comment

යම් පවුලකට ජීවත් වීමට රජයේ ආධාරයක් දෙන්නේ නම් එය ආහාර පරිභෝජනයකට නොව; එම අය දිළිඳුකමින් මුදා, ඇති හැකි අය බවට පත් කිරීමට විය යුතු යැයි තමා විශ්වාස කරන බව දඹාන ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ ප්‍රකාශ කළහ. ඔහු මේ බව පැවසුවේ හසලක රණසිංහ ප්‍රේමදාස ජාතික පාසලේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අස්වැසුම සහනාධාර දීමනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙනි.

“අපේ රටේ බොහෝ ජනතාව රජයේ නොමිලයේ දෙන ආධාර මත යැපීමට උත්සාහ කරන තත්ත්වයක් වර්තමානයේ දැකගන්න ලැබෙනවා. මෙය මේ දිනවල අසන දකින දේවලින් පැහැදිලි වෙනවා. තමන්ට හිමිව තිබ ආධාරය අහිමි වූ බව කියමින් එය නැවත දෙන්න කියා ජනතාව අද පාරට බැහැලා. ලේකම් කාර්යාල වටලනවා; ගස් උඩ නඟිනවා; මේක කොහොම හරි දිය යුතුයි කියනවා. ඇතැම් දේශපාලක කණ්ඩායමුත් මේක කොහොම හරි මේ අයට දෙන්න ඕනැම බව පවසනවා. දේශපාලකයන් එහෙම කියන්නේ නම් තමන්ගේ දේශපාලන ගොඩට තවත් ලකුණු දමාගන්න මිස, මේ ජනතාව ගැන ඇති අනුකම්පාව නිසා නොවන බව අපි දකිනවා“ යැයිද වන්නියලැ ඇත්තෝ මෙහිදී පැවසූහ.

“ලෝකයේ සහනාධාර මත යැපෙන රටක් බවට අපේ රට අද පත් වෙලා තිබෙනවා. යම් යම් අවශ්‍යතා මත ජනතාවට සහනාධාර දිය යුතුයි. හැබැයි යම් කාල සීමාවකට එය සීමා විය යුතුයි. ගමක යම් දිළිඳු පවුලක් සිටිනවා නම් ඒ පවුලේ අවශ්‍යතාව හඳුනාගෙන දෙන සහනාධාරයෙන් ඒ පවුල ඇති හැකි පවුලක් බවට පත් කරන්න යම් සැලසුමක් සකස් කර දීලා, ඒ පවුල වැටී සිටින ප්‍රපාතයෙන් අදාළ කාලය තුළ ගොඩ ගත යුතුයි. එහෙම නැතිව ඒ පවුල ජීවිත කාලයටම සහනාධාර මත යැපෙන පවුලක් බවට පත් කරන්න නරකයි.

“රජය විසින් පසුගිය කාලයේ දුන් ආධාර වන ජනසවිය හෝ සමෘද්ධිය දෙන අවස්ථාවේ පෝලිමේ පළවෙනි දිළින්දා බවට එදා පත්ව හිටපු පවුලේ ගෘහ මූලිකයා (පියා හෝ මව) හෝ ඒ පවුල වසර විස්සකට පමණ පසු අදත් සහනාධාර පෝලිමේ සිටිනවා. ඒ අයගේ විවාහ වූ දූදරුවනුත් සහනාධාර ඉල්ලා ඒ පෝලිමේම ඉන්නවා. මේ තත්ත්වය නිර්මාණය කරන්නේ කවුද? තමන්ගේ දේශපාලන අවශ්‍යතා මත යම් යම් කණ්ඩායම් තමයි මේවා නිර්මාණය කරන්නේ, මේ මිනිස්සු මේ තත්ත්වයට පත් කරන්නේ. මේක හරිම කනගාටුදායක වගේම අවාසනාවන්ත තත්ත්වයක්. මෙය වෙනස් විය යුතු කාලය ඇවිල්ලා තිබෙනවා. යම් අයකු මේ සහනාධාරයට සුදුස්සකු වෙනවා නම් එයාට මේ දීමනාව දෙන්නේ වසර පහක් නම් එය මාසිකව නෙවෙයි වසර පහේම ඒවා එක් වරම දෙන්න සැලසුමක් හදන්න ඕනෑ. ඒ දෙන මුදලින් ඒ අයට අවශ්‍ය ගෙයක් නම් ඒ නිවෙස හදා දෙන්න අවශ්‍ය උපදෙස් හා මුදල් දෙන්න ඕනෑ. ආදායමක් ලබා ගන්න අවශ්‍ය කුඹුරක් නම් ඉඩමක් නම් ඒක අරගෙන දෙන්න ඕනෑ. එහෙමත් නැති නම් කරගෙන යන ස්වයං රැකියාව වැඩිදියුණු කරගන්න අවශ්‍ය නම් එයට අවශ්‍ය මූල්‍ය පහසුකම් හා තාක්ෂණය දෙන්න ඕනෑ.

ඒ වගේම තමයි මේ දෙ මුදල් සම්බන්ධයෙන් පෙර හා පසු විපරමකුත් කරන්න වෙනවා. එහෙම කළොත් අපේ රටේ රජයේ ආධාර මත යැපෙන මානසිකත්වය රටෙන් තුරන් වෙලා ඇති හැකි පිරිසක් මේ රටේ බිහි වෙනවා දකින්න අපිට පුළුවන් වේවි,“ යැයිද වන්නියලෑ ඇත්තෝ පැවසූහ.

හසලක සමූහ – ඊ.එම්.එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT