Home » රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

by chanaka
July 11, 2023 7:05 pm 0 comment

රුපියල් මිලියන 1500ක වියදමින් ඉදි කළ රත්නපුර නව අධිකරණ සංකීර්ණය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) ජනතා අයිතියට පත් කෙරිණි.

නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් වු සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව සර්ව ආගමික ආශිර්වාද එක් කිරීම සිදු කෙරුනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රවිනිශ්චයකාර, ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක, රත්නපුර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, වසන්ත වීරසිංහ යන මහත්වරුන් නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් අදහස් පළ කළහ.

රන්තපුර නීතිඥ සංගමය විසින් ජනාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

දැනට පවතින අධිකරණය ගොඩනැගිලි යල්පැනගිය ස්වභාවයක් ගැනීම, අධිකරණය පිහිටි භූමිය නායයාමේ අවධානමක් පැවතීම, වර්තමාන අධිකරණ ක්‍රියාවලීන් සඳහා එම ගොඩනැගිලි වල ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවීම යන හේතූන් සලකා බලා නවීන පහසුකම් වලින් යුතු ගොඩනැගිල්ලකින් සමන්විත අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් කලක පටන් පැන නැගී තිබිණ. ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් රත්නපුර නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම 2018 සැප්තැම්බර් 10 වන දින ආරම්භ කරන ලදී.

ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවා සැපයීම සහ ඉදිකිරීම් භාර කොන්ත්‍රාත්කරු ලෙස ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කටයුතු කරනු ලැබීය. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1500ක් පමණ මුදලක් වැය කර ඇති අතර පවතින අභියෝගාත්මක ආර්ථික තත්වයක් හමුවේ මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන විියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුලත් වන සේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.

මහල් හතරකින් සමන්විත මෙම අධිකරණ ගොඩනැගිල්ල තුළ මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, කම්කරු විනිශ්චයාධිකාරයක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සඳහා අවශ්‍ය සියළු පහසුකම් වලින් සමන්විත වේ.

මෙම අධිකරණ සංකීර්ණය ඉදිකිරීම මඟින් තැන තැන විසිරී පැවති අධිකරණයන් වෙනුවට රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැගිල්ලක් තුළ සිය සේවා අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමේ හැකියාව ලැබෙන අතර අධිකරණයන්හි පවතින තදබදය මඟහරවා ගැනීමටද ඉන් ඉඩකඩ ලැබේ.

නීතියේ ආධිපත්‍ය රටතුළ ස්ථාපිත කිරීම සඳහාත් නීතිමය කටයුතු සම්බන්ධයෙන් මහජනයාගේ පවතින අයහපත් ආකල්පයන් දුරු කිරීම සඳහාත් නවීන තාක්ෂණය සහ පහසුකම්වලින් සමන්විත අධිකරණ පද්ධතියක් රටතුළ ස්ථාපිත කිරීමේ නව රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවට සමගාමීව යමින් මෙය ඉදිකර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT