Monday, May 20, 2024
Home » රෝහලට රැගෙන ආ මළ සිරුරේ සැකකටයුතු සීරීම් තුවාල

රෝහලට රැගෙන ආ මළ සිරුරේ සැකකටයුතු සීරීම් තුවාල

by sachintha
July 20, 2023 1:00 am 0 comment

කොහුවල ප්‍රදේශයේ තෙමහල් ගොඩනැඟිල්ලක කාමරයක් තුළ මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරයකුගේ ස්ථානීය පරීක්ෂණයක් සිදු නොකොට රෝහලට රැගෙන ආ මළ සිරුරේ ස්ථාන රැසක සැකකටයුතු සීරීම් තුවාල තිබීම නිසා එහි ඉදිරි විමර්ශන කටයුතු මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හරහා සිදුකිරීමට කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගෙන තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදී සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටි.

කොහුවල තෙමහල් ගොඩනැඟිල්ලක කුලී පදනම මත යුවලක් රැඳී සිට ඇති අතර, එහි සිටි පුද්ගලයා ඉකුත් 15 දා හදිසියේ මිය ගොස් ඇති බවට 119 හදිසි දුරකතන අංකයට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව කොහුවල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මූලික විමර්ශනයක් සිදු කොට සිද්ධිය සම්බන්ධයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ එදින රාජකාරියේ නිරතව සිටි හදිසි මරණ පරීක්ෂකවරයෙකුට දන්වා තිබේ.

සාමාන්‍යයෙන් එවන් සිද්ධියක් වාර්තා වූ විට මරණ පරීක්ෂකවරයකු සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට මෘතදේහය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තීරණය කරන අතර මෙහි දී මරණ පරීක්ෂකවරයා එම ස්ථානයට නොගොස් පොලිසියට නියෝග කර ඇත්තේ දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන එන ලෙසයි.

ඒ අනුව මෘත ශරීරාගාරයට රැගෙන ආ මළසිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමේදී මළ සිරුරේ ගෙලෙහි මුහුණෙහි හා පපු පෙදෙසෙහි සැකකටයුතු ලෙස සීරීම් තුවාල දක්නට ලැබුණු හෙයින් අදාළ පරීක්ෂණ කටයුතු නවතා වහාම ඉදිරි විමර්ශන මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හරහා සිදුකරන ලෙසට අධිකරණ වෛද්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දී සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර තිබේ.

මේ අතර මියගිය පුද්ගලයා සමඟ තාවකාලික නවාතැන් පොළෙහි රැඳී සිටි ඔහුගේ අනියම් බිරිය බව පැවසෙන කාන්තාව සිද්ධිය වූ දිනට පසු දින එම කාමරය තුළදී ම සළු පටක ආධාරයෙන් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

ඒ අනුව මියගිය පුද්ගලයාගේ මරණයට මියගිය කාන්තාවගේ සම්බන්ධයක් තිබුණා දැයි මේ වන විට සැකයක් මතුව තිබේ.

පළමු සිද්ධිය වූ දා ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට විධිමත් ලෙස පරීක්ෂණ කටයුතු සිදු කළේ නම් එම අභිරහස් මරණයෙහි සුලමුල අනාවරණය කර ගැනීමට අවශ්‍ය මූලික සාක්ෂි රැක ගැනීමට අවස්ථාව තිබූ බව රෝහල් ආරංචි මාර්ග අවධාරණය කර සිටී.

මෙලෙස මියගොස් ඇත්තේ හම්සර් කුමාර් (26) නමැති එක්දරු පියෙකු හා බාලසුබ්‍රමනියම් යෝගේස්වරි නැමැති (37) දෙදරු මවකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.ඩී. නිලන්ත අතුරගේ මහතාගේ උපදෙස් මත, කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පවත්වති.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT