Sunday, May 19, 2024
Home » නිලධාරිවාදි මාන්්න‍ය නොතිබූ විශිෂ්ට නිලධාරියා

නිලධාරිවාදි මාන්්න‍ය නොතිබූ විශිෂ්ට නිලධාරියා

by gayan
August 26, 2023 1:00 am 0 comment

හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ. එච්. ‌‌ජේ. වි‌ජයදාස මහතා අගෝස්තු 17 වැනි දින අභාවප්‍රාප්ත විය. මේ ශෝක ජනක පුවත දින ගණනාවක් යනතුරා ජනමාධ්‍යවලින් ද රටට අනාවරණය නොවූයේ පැය විසි හතරක් ඇතුළත අවසන් කටයුතු අප්‍රසිද්ධියේ කළ යුතු බවට එතුමාගේ අවසන් කැමැති පත්‍රයේ සනිටුහන්ව තිබීම බැව් ඔහුගේ සමීපතම ඥාතියෙක් වූ ලලිත් කන්නන්ගර මහතා වෙතින් දැනගන්නට ලැබිණි.

එතුමා සමීපයේ සේවය කළ රාජ්‍ය නිලධාරියකු ලෙසින් එතුමාගේ දිවි පෙවෙත සහ උත්තරීතර ජන මෙහෙවර ගැන මෙවන් අනුස්මරණීය සටහනක් ගෙත්තම් කරන්නට මසිත් පෙලඹුණේ නිරායාසයෙනි. එම මොහොතේ මගේ මතකය වසර 30ක දුරාතීතය වෙත විහිදී ගියේ නිතැතිණි. එම අපූර්ව සිදු වීම මෙපරිද්දෙන් අපූර්ව ලෙස සිත්තම් වන්නට විය.

“…මා රාජකාරි කළ නිල කාමරයේ දොර වීදුරුව අතරින් ප්‍රධාන කාර්යාලයේ එක පෙළට පිහිටි සේවා කවුළු පැහැදිලිව දිස්වේ. ලිපි ගොනු අතර බොහෝ වේලාවක් නෙත් රඳවා සිටි මා දෙනෙතට මඳ අස්වැසිල්ලක් ගැනීමේ රිසියෙන් ඈතින් නෙත් ගැටෙන සේවා කවුළු වෙත අවධානය යොමු කළෙමි. එහිදී වරිපනම්, වෙළෙඳ බලපත්‍ර, විදුලි, ජල බිල්පත් ගෙවන්නට විශාල ජනකායක් පෝලිමේ තෙරපෙමින් සිටින අයුරු දුටිමි. ඒ අතර උපැස් යුවළක් පැලඳි, වඩා උස් නොවූ තේජවන්ත පුද්ගලයකු කිසියම් බිල්පතක් ගෙවන්න පෝලිමේ තෙරපෙමින් සිටිනු දිස් විය.හේ අන් කවරකුවත් නොව එවකට අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ ලේකම් කේ. එච්. ජේ. විජයදාස මහතා බව සැණෙකින් මම හඳුනා ගතිමි. මේ දසුන මට අදහාගත නොහැක්කක් විය. කිසි ලෙසකින්වත් මේ කාර්යාලයට නොපැමිණ තම අවශ්‍යතාව ඉටුකර ගත හැකි මෙවැන්නෙක් පෝලිමේ සිටීම නුසුදුසු බව වටහාගත් මා ක්ෂණිකව එතුමන් සිටි ස්ථානය වෙත පිය නැඟිමි. එතුමන්ට මා කවරෙක්දැයි හඳුනාගත නොහැකි වූ සෙයක් මගේ ඇතුළු සිතට දැනිණි.

“ඇයි සර් …මෙහෙම පෝලිමේ ඔබතුමාගේ වටිනා කාලය අපතේ යවන්නේ …..ඔබතුමා ඇවිත් මගේ කාර්යාලයේ අසුන් ගන්න….මම කඩිනමින් අවශ්‍ය මුදල ගෙවා ඔබතුමා වෙත රිසිට්පත ගෙන එන්නම්…….”

“ඔබ කවුද ? සිය ගැඹුරු කටහඬින්, අගමැති ලේකම්තුමා මගෙන් පෙරළා විමසුවේ සිය තියුණු දෙනෙත් මා වෙත යොමු කරමිනි. මම මේ මොරටුව නගර සභාවේ ලේකම්වරයා බවත් මගේ නමත් එතුමන්ට පැහැදිලි කළෙමි.

“බොහොමත්ම ස්තූතියි මිස්ටර් කාරියවසම් …මගේ පෞද්ගලික වැඩවලට මගේ නිලය …..තරාතිරම කිසිවිට පාවිච්චි කරන්නේ නැහැ….” 1983 වසරේ අග භාගයේ එක්තරා දිනක එතුමන් මගේ මුළු ජීවිතයටම අමතක නොවන සුලු අපූර්වතම පාඩමක් ප්‍රායෝගිකව පසක් කර දුන් අයුරු අදත් මා සිහිපත් කරන්නේ අසීමිත ගෞරවයෙනි.

මිහිමත බොහෝ දෙනෙක් තමන් දරන තනතුරු තානාන්තර නිසා බැබළෙති. ඇතැම් තනතුරු පුද්ගලයන් නිසා උද්දීප්තව බැබළෙන අයුරු ද අපට කලාතුරකින් දුට හැකිය. රාජ්‍ය සේවයේ විවිධ තනතුරු හොබවා අවසානයේ රාජ්‍ය සේවයේ හිණිපෙත්ත ලෙසින් සැලකෙන ජනාධිපති ලේකම් ධුරයට පත් වූ කේ. එච්. ‌ජේ. වි‌ජයදාස මහතා තමන් දැරූ තනතුර බැබළ වූ එවන් ඉතා දුර්ලභ ගණයේ කීර්තිමත් රාජ්‍ය සේවකයෙක් ලෙසින් බුහුමනට බඳුන් වේ.

එතුමා‌ගේ ගමන් මඟ එතුමා ඍජු ලෙස සිය රාජකාරි ඉටුකළ ආකර්ෂණීය ශෛලිය වත්මන් රාජ්‍ය නිලධාරීන්ට කදිම ආදර්ශයක් වනු නිසැකය. කේ. එච්. ‌‌ජේ. වි‌ජයදාස නොහොත් කන්දෙකුමාර හපුදොරගේ ජෝතියරත්න විජයදාස එතුමා‌ගේ සම්පූර්ණ නාමයයි. එනමුදු කේ. එච්. ‌‌ජේ. යන නමේ මුල් අකුරු තුනෙන් ගම්‍ය වන්නේ කඩිසර හෘදයාංගම ජනමෙහෙවරට කැපවීම යන එතුමා‌ගේ ජීවිතයෙහි කැපී පෙනෙන ලක්ෂණ යැයි අපට හැ‌ඟේ.

කෝට්ටේ තලපත්පිටිය ගම්පෙත නිජබිම කරගනිමින් එතුමා ජන්ම ලාභය ලබන්නේ 1936 වසරේ ජනවාරි 24 වැනි දිනය. හෙන්රි විජේදාස එමලින් ජයතුංග මධ්‍යම පාන්තික ගුරු යුවළ එතුමන්ගේ මවුපියන්ය. ළදරු වියේ සිටම ඔහුට පවුලේ නායකත්වය හිමි වූ සෙයකි. ඒ බාල සොහොයුරියන් දෙදෙනකුට සහ බාල සොහොයුරන් දෙදෙනකුට හේ අයියණ්ඩිය වීමයි.

විජයදාස මානවකයා ශාස්ත්‍රෝද්ග්‍රහණය සඳහා පන්නිපිටිය ධර්මපාල විදුහල වෙත පා තබන්නේ 1946 වසරේදී ය. හෙතෙම දීප්තිමත් ශිෂ්‍යයකු ලෙසින් සිය පාසල් දිවියට සමුදෙන්නේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමර්ථ්‍යය ලබමිනි. 1955 වසරේ දී පේරාදෙණිය සරසවියට පිවිසෙන තරුණ විජේදාසයන් සිවු වසරක් ඇවෑමෙන් තම මවුපියන් වෙත පියමන් කරන්නේ පන්ති සාමර්ථ්‍යයක් සහිත උපාධිධාරියකු විලසිනි. 1960 වසර ඔහුගේ ජීවිතයේ සන්ධිස්ථානයක් සේ සැලකේ. සිවිල් සේවා විවෘත තරග විභාගයෙන් සමත්ව හේ රාජ්‍ය පරිපාලන ප්‍රවාහයට බැඳෙන්නේ එම වසරෙහිය. අනතුරුව අධ්‍යාපන සහ ගුවන්විදුලි අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයෙක් ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය අරඔයි.

1962 සැප්තැම්බර් 08 වන දින විජේදාස මහතා රාජ්‍ය ගුවන්විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම් ලබයි. විජේදාස ආගමනයෙන් ගුවන් විදුලි සේවයේ නවතම පිබිදීමක් ඇති වූ බව ගුවන්විදුලියේ පැරැන්නන් අද පවා සිහිපත් කරන්නේ අසීමිත සතුටකිනි. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්, මඩවල එස්. රත්නායක, මහගමසේකර, දයානන්ද ගුණවර්ධන වන් ප්‍රබුද්ධ වියතුන් පිරිසක් වැඩසටහන් නිෂ්පාදනය සඳහා කැඳවා ගන්නේ එම කාල පරාසයේය.එම පිරිසේ දායකත්වයෙන් සොඳුරු, ජන ආකර්ෂණය දිනාගත් වැඩසටහන් පෙළක් නිෂ්පාදනය වූයේ නව සිංහල සේවා අධ්‍යක්ෂවරයාගේ සමීප අධීක්ෂණයෙනි.

ධම්ම චින්තා ආගමික වැඩසටහනෙන් අනතුරුව දේශානුරාගී ගීත ප්‍රචාරය, විකාශනයට එක්වන්නේ එතුමා‌ගේ උපදෙසිනි. “මේ සිංහල අපගෙ රටයි, රත්නදීප ජන්මභූමි…” වන් සදා අනුස්මරණීය ජාතිකානුරාගී ගීත පටිගත කිරීම සිදුකරන්නේ ද මේ යුගයේ දී ය. ග්‍රාමීය සේවයෙන් කෘෂිකාර්මික ගැටලු සඳහා විසඳුම් ලබාදීමත්, ගොවි ජනතාවගේ නිර්මාණාත්මක හැකියාවන් රටට හඳුන්වාදීමත් සඳහා එතුමා පුරෝගාමීව කටයුතු කළේය. කිවුලේගෙදර, කුරුළුබැද්ද, මුවන්පැලැස්ස වන් ජනාදරය දිනූ නාට්‍ය ගුවන්විදුලියට එක්වන්නේද එතුමානන් ගුවන්විදුලි සේවයේ නිරතව සිටි වසර පහමාරක කාල පරාසයෙහිය. ගුවන් විදුලියේ දේශීය හැඩතල සකසන්නට, එතුමන් දුන් අනුපමේය සහාය ගුවන්විදුලි වංශ කථාවෙන් අපේ අනාගත පරපුර දැනුම්වත් කරනු නියති.

අනතුරුව එතුමා පත්වීම ලබන්නේ, අම්පාර දිස්ත්‍රික්කයේ අතිරේක දිසාපති ලෙසිනි. ජනතා ප්‍රශ්න මැනවින් අවබෝධ කරගෙන, කඩිනමින් ඒවාට සාධනීය විසඳුම් ලබාදීමට නව අතිරේක දිසාපතිවරයා ගත් ප්‍රයත්නය ගැමි ජනතාවගේ මහත් අමන්දානන්දයට හේතුවක් විය. එතුමාගේ කාර්යක්ෂම රාජකාරි විලාසය කෙරෙහි පැහැදුණූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය 1967 වසරේ දී එතුමන් වෙත, පොලොන්නරු දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවක් ලබාදුන්නේ මහ දිසාපති තනතුරට උසස්වීමක් ද ලබා දෙමිනි. කෘෂිකාර්මික ප්‍රදේශයක් වූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට, විශේෂයෙන් ම ගොවි ජනතාවට පොදු ගැටලු විසඳාලීමට නව දිසාපතිවරයාගේ මෙහෙයවීමෙන් සුවිශේෂි යන්ත්‍රණයක් සැකසිනි. වාරිමාර්ග කඩිනමින් මැනවින් ප්‍රතිසංස්කරණය වන්නට විය. බිත්තර වී, පොහොර සහනාධාරය ගොවීන් අතට පත් වූයේ නියමිත කන්නය ඇරඹීමට පෙරාතුවය. එම කාල වකවානුවේ කෘෂි නිෂ්පාදනයන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දිස්විය. කෘෂි නිෂ්පාදනය අලෙවිය සඳහා ද නිසි ක්‍රමවේදයක් සැකසීමට එතුමා පුරෝගාමී විය.

පොලොන්නරුව මහ දිසාපති ලෙස රාජකාරියේ නියැළී සිටි මුල් භාගයේදීම, අප කථානායකයාගේ දිවිගමනට වසන්තය උදාවිය. හේ 1968 ජනවාරි 24 වන දින නිමල්කා වීරසූරිය හා යුගදිවියට එළැඹිණි. එම විවාහයෙන් විජයදාස දම්පතීන්ගේ කැදැල්ලේ චාමලී සහ උදිත යන දරු දෙදෙනා ජන්මය ලබන්නේ පවුලට ආලෝකයක් ලබාදෙමිනි. 1970 වසරේ දී විජයදාස සූරින් වෙත ස්ථාන මාරුවක් ලැබෙන්නේ කෑගල්ල මහ දිසාපති ලෙසය. පළපුරුදු අත්දැකීම් සම්භාරයක් සහිත මේ රාජ්‍ය නිලධාරියා කෑගල්ල දිස්ත්‍රික්කයේ ද ජනතාව වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටු කළ බව වාර්තාගතය.

ඉතා කාර්ය බහුල රාජකාරි ජීවිතයක් ගත කළ ද සුළු විවේකය, කාලීන ප්‍රශ්න අරඔයා විවිධ ශාස්ත්‍රීය ලිපි ලේඛන සම්පාදනය කෙරෙහි ද එතුමන් යොමු වූ බව දක්නට ඇත.එතුමා විසින් රචිත Govermance Heritage and Sustainability නමැති කෘතිය ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන්ගේ ද නොමද සම්භාවනාවට පාත්‍ර විය.මේ කෘතියෙන් එතුමන් සර්වකාලීනවම මානව සමාජයට වැදගත් වන පණිවිඩයක් ජනගත කිරීමට සාර්ථක උත්සාහයක් ගෙන ඇති බව පැහැදිලි වේ.

අප මූලික වශයෙන් සැලකිලිමත් වන්නේ මානව පැවැත්ම පිළිබඳ පමණි.නමුත් ශාක හා සත්ත්ව ජීවීන් ඇතුළු පරිසරය මෙන්ම, ජලය වැනි ස්වාභාවික සම්පත් සියල්ලම ව්‍යූහාත්මක සමස්තයක කොටසක් වන අතර, එය මිනිසාගේ පැවැත්ම සඳහා සමබරව තබාගත යුතු සනාතන දහමක් බැව් මේ කෘතිය අපට ප්‍රත්‍යක්ෂ කරවයි.

එම සමබරතාව පවත්වා ගනිමින්, තිරසර සාධනීය සංවර්ධනය ළඟා කරගත හැකි බව අපේ මුතුන්මිත්තන් මැනවින් අවබෝධ කරගෙන සිටි අපූර්වතාව තත් කෘතියෙහි මැනවින් ගෙන හැර දක්වයි.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් පශ්චාත් උපාධිය ලද විජේදාස මහතා, 1972 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ කෘෂිකාර්මික සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙසින් රාජකාරි භාර ගත්තේය.

1975 වසරේ හෙතෙම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත් විය. එම වකවානුවේ දේශීය සහ විදේශීය සමාගම් සතු වතු රජයට පවරා ගැනීමේ අතිභාරධූර කාර්ය ඉටු කරනු ලැබූවේ මෙතුමාගේ අධීක්ෂණය යටතේය. එතුමාට 1977 වසරේ දී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ සංචිතයේ නිසොල්මන් රාජකාරි අත්දැකීමක් ලබන්නට ද අවස්ථාවක් හිමි විය. 1977 අග භාගයේදී පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙසින් ද ,අනතුරුව එම වසරේ දී ස්ථාපිත, පරිසර අධිකාරියේ ප්‍රථම සභාපතිවරයා වීමේ භාග්‍යය ද, පරිසර හිතකාමියෙක් වූ එතුමාට හිමි විය. එම අවධියේ දී එතුමා ජාතික පරිසර පනත සකසා සම්මත කරගැනීම පිණිස පුරෝගාමීව කටයුතු කළ අයුරු ප්‍රශංසනීය වේ. 1989 වසරේ දී එතුමා රාජ්‍ය සේවයේ ඉහළම හිණිපෙත ලෙස සැලකෙන ජනාධිපති ලේකම් පදවියට පත් විය. 1994 දක්වා පුරා වසර 05 ක රාජකාරි කාලය තුළ එතුමන්ගෙන් දේශයේ අභිවෘද්ධිය පිණිස සැලසුණු මෙහෙවර අති ප්‍රශස්ත බව ජනතා පිළිගැනීමයි.

කීර්තිමත්, ජෝතිමත්, කන්දෙකුමාර හපුදොරගේ ජෝතියරත්න විජේදාස පරිපාලන වේදියානන් ඉකුත් අගෝස්තු මස 17 වන දින සිය දිවිසැරිය නිමා කළ මොහොතේ හේ සිය දිවියේ 87 වන වියේ පසු විය. මෙම සදානුස්මරණීය සහෘදයා වෙත අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු. එතුමානන් වසර කිහිපයකට ඉහත අප පරිපාලන වෘත්තීය වේදීන් පිරිසක් හමු වූ අවස්ථාවක තෙපලූ හෘදයාංගම ආවර්ජනයකින් මෙම අනුස්මරණ ලිපිය නිමා කිරීම මැනවැයි හැඟිණි.

‘‘මා බොහෝ දුරට සාර්ථක මිනිසකු බව විශ්වාස කරමි. ඉතා කුඩා අවධියේ සිටම ප්‍රශ්න කර, ඇසින් දැක, කනින් අසා, තර්ක කර, අත්හදා බැලීමෙන් බොහෝ දේ සාක්ෂාත් කර ගැනීම ඊ‌ට හේතුවක් වූවා විය හැකියි. ජනතාවට ඇහුම්කන් දෙමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා දෙමින්, මම දැඩි විනය පාලනයකින් යුතුව රාජකාරි කළෙමි. විශේෂයෙන් කාල කළමනාකරණය පිළිබඳවත්, සැලසුම් සහ සූදානම පිළිබඳවත්, මම සැමවිටම දැඩි අවධානය යොමු කළෙමි. ප්‍රතිපත්ති ගරුක බව, නීතිගරුක බව, මෙන්ම අදීන චින්තනයෙන් යුක්ත වීම ද මගේ ජීවිතය ශක්තිමත් කළ, කුමන ගැටලුවකදී හෝ නොසැලී සිටීමේ පන්නරය ලබා දුන් සාධනීය සාධකයන් බව මම තරයේ විශ්වාස කරමි.’’

 

ආචාර්ය ගාමිණී කාරියවසම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT