Sunday, May 19, 2024
Home » පාකිස්තානයේ මාධ්‍ය නිදහස බිඳ වැටෙයි

පාකිස්තානයේ මාධ්‍ය නිදහස බිඳ වැටෙයි

by gayan
August 26, 2023 1:00 am 0 comment

සෝමාලියාව සහ මියන්මාරයට සමානව පාකිස්තානයේ ද මාධ්‍යවේදීන්ගේ වෘත්තිය අවදානම් තත්ත්වයකට ඇද වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජර්මනියේ බර්ලින් නුවර කේන්ද්‍ර කරගත් ප්‍රකට මාධ්‍යවේදියකු වන ඔලිවර් ගිලාර්ඩ් විසින් පසුගියදා නිකුත් කර ඇති ‘පාකිස්තානය නමැති අගාධය‘ කෘතියට අනුව පාකිස්තානයේ දේශපාලනඥයන්, ත්‍රස්තවාදී කණ්ඩායම්, වෙනත් බලවත් පුද්ගලයන් සහ විවිධ රාජ්‍ය ආයතනවල තර්ජනයට මුහුණ පා සිටින බව එම කෘතිය මඟින් පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ. පසුගිය වසරේ ඔක්තෝබරයේ කෙන්යාවේදී ඝාතනයට ලක් වූ පාකිස්තානයේ ප්‍රකට මාධ්‍යවේදී අර්ෂාඩ් ෂරීෆ්ගේ ඝාතනයත් සමඟ පාකිස්තානයේ මාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර රටවල් පවා ආරක්ෂිත නොවන බව තහවුරු වන්නේ යැයි එම කෘතියෙහි වැඩිදුරටත් සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දූෂණය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා දේශපාලන මර්දනය වැනි තීරණාත්මක කරුණු ආවරණය කිරීම් සීමා කරමින් ස්වයං වාරණයක් පාකිස්තාන මාධ්‍ය සංස්කෘතිය තුළ මුල් බැස ගෙන ඇතැයි ද, ජාන් මොහොමඩ් මහාර් සහ අස්ගර් කාන්ඩ් වැනි එරට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වීම ඊට හොඳම නිදසුන බව ද එහි සඳහන් කර තිබේ.

පාකිස්තානයේ විවිධ ප්‍රාන්තවල සිදුවන ගැටුම් ආවරණය කිරීමේදී අනාරක්ෂිත තත්ත්වයක් මාධ්‍යවේදීන්ට උද්ගත වී ඇත. පසුගිය 12 වැනිදා සින්ද් ප්‍රවෘත්ති නාලිකාවක ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවකු වන ජාන් මොහොමඩ්ට සින්ද් ප්‍රාන්තයේදී නාඳුනන කණ්ඩායම මාරාන්තික ප්‍රහාරයකට ලක්වීමට සිදු වූ අතර අතර, ඔහුට මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔහුගේ කාර්යාලය අසල මෝටර් රථයේ සිටියදීය. ඊට පෙර අගෝස්තු 7 වැනිදා අස්ගර් කාන්ඩ්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ කයිර්පූර් දිස්ත්‍රික්කයේදීය. එම බිහිසුණු ප්‍රහාරයෙන් අස්ගර් කාන්ඩ්ට වෙඩි පහරවල් 9ක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මෙවැනි පසුබිමක් මත පාකිස්තානයේ දූෂණ වංචා හා වෙනත් අක්‍රමිකතා අනාවරණය කරන මාධ්‍යවේදීන්ට රටින් පිටවීම හැර අන් විකල්පයක් නැති බව ද වාර්තා වේ. එසේ රටින් පිටුවහල් වන මාධ්‍යවේදීන් ආරක්ෂිත බවට විශ්වාසය පළ වූවද, පසුගිය වසරේ කෙන්යාවේදී මාධ්‍යවේදී අර්ෂාඩ් ෂරීෆ්ගේ ඝාතනයත් සමඟ එම විශ්වාසය බිඳ වැටී තිබේ. පාකිස්තාන රජය ප්‍රකාශ කර ඇති පරිදි කෙන්යාවේදී අර්ෂාඩ් ෂරීෆ් ඝාතනය කිරීම පාකිස්තානය තුළ ක්‍රියාත්මක කරනු ලැබූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි.

පසුගිය වසරේ මාර්තුවේ සිට මේ වසරේ මාර්තුව දක්වා වසරක කාලය ඇතුළත පාකිස්තාන මාධ්‍යවේදීන්ට, මාධ්‍ය වෘත්තිකයන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව තර්ජන හා පහරදීම් සම්බන්ධව අවම වශයෙන් සිදුවීම් 140ක් වාර්තා වී ඇති අතර, එය ඊට පෙර වසරට වඩා 63%ක පමණ වර්ධනයක් බව ද වාර්තා වේ. මාධ්‍යවේදීන් ඉලක්ක කරගත් සිදුවිම් අතරට ශාරීරික පහරදීම් 51ක්, මාධ්‍ය උපකරණ හා මාධ්‍යවේදීන්ගේ නිවාසවලට පහරදීම් හෝ ප්‍රවෘත්ති ආයතන පරිශ්‍රවලට හානි කළ ප්‍රහාර 21ක්, සහ සිදුවීම් 14ක් සමඟ මරණ තර්ජන අවස්ථාවන් 7ක් ඇතුළත් බව ද සඳහන් වේ.

මාධ්‍යවේදීන් සඳහා වැඩිම අවදානම් කලාපයක් ලෙස ඉස්ලාමාබාද් නුවර හඳුනාගෙන ඇති අතර, පාකිස්තාන මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීම්වලින් 40%ක් ඉස්ලාමාබාද් නුවරින් වාර්තා වී තිබේ. මීට අමතරව පන්ජාබ් ප්‍රාන්තයෙන් එවැනි සිදුවීම් 25%ක් ද, සින්ද් ප්‍රාන්තයෙන් සිදුවීම් 23% ක්ද වාර්තා වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT