Thursday, May 16, 2024
Home » වසර 300කට වඩා පැරණි දැවැන්ත ඉඹුල් ගස අනතුරේ
මැදගොඩ පත්තිනි දේවාල පූජා භූමියේ පිහිටි

වසර 300කට වඩා පැරණි දැවැන්ත ඉඹුල් ගස අනතුරේ

by mahesh
September 27, 2023 1:00 am 0 comment

වසර 300 කටත් වඩා පැරණි යැයි සැලකෙන මැදගොඩ පත්තිනි දේවාල භූමියේ පිහිටි වට අඩි 25 ක් පමණ වන ඓතිහාසික දැවැන්ත නා ඉඹුල් වෘක්ෂය මෑතක සිට ක්‍රමයෙන් පොළොව දෙසට ඇලවෙමින් පවතී. එමෙන්ම වෘක්ෂයේ පොළොව මතුපිට පිහිටි මුල් ඉරී ගොස් ඇති අතර, බලධාරීන්ගේ අවධානය මේ වෙත ඉක්මනින්ම යොමු විය යුතු වේ.

ඓතිහාසික සීතාවක රාජධානියට අයත් අවිස්සාවේල්ල – මැදගොඩ පුරාණ පත්තිනි දේවාලය වසර 500 කටත් වඩා ඉතිහාසයක් ඇති ඉපැරණි පූජා භූමියකි. එම දේවාලයේ ආරම්භක දිනය ලෙස ක්‍රි.ව.1482.07.06 සඳහන් වන අතර, සීතාවක රාජධානියේ රජකම් කළ සීතාවක රාජසිංහ රජු විසින් මෙම දේවාලය ඉදිකරවූ බවද ප්‍රකටය. සීතාවක රාජසිංහ රජු මෙම දේවාල භූමියට ආසන්නයෙන් ගලා බසිනා කැළණි ගඟේ අඟුලකින් පෙතංගොඩ උයන දක්වා ගමන් කරමින් සිටියදී මෙම ස්ථානයට ආසන්නයේදී එම අඟුල නතර වී ඇති බවත් ඉන් අනතුරුව රජුගේ අමාත්‍යවරුන් ලවා අවට පරීක්ෂා කිරීමේදී මෙම දේවාල භූමිය පිහිටි ස්ථානයේ පහනක් දැල්වෙන බව දැක ඒ බව රජුට දන්වා ඇති බවත් පුරාවෘත්තවල සඳහන් වේ.

පසුව රජු පැමිණ එම ස්ථානයේ බාරහාර වී පසුව පිටත්ව ගොස් ඇති අතර , ඉන් අනතුරුව සීතාවක රාජසිංහ රජු විසින් අක්කර 631 රූඩ් 01 පර්චස් 18 භූමි භාගයක් මෙම දේවාල භූමිය සඳහා සන්නසකින් වෙන් කර දී ඇති බව සඳහන් වේ. ඒ සමඟම පත්තිනි දෙවියන් උදෙසා මැදගොඩ පත්තිනි දේවාලය ඉදිකිරීමට කටයුතු කර ඇති අතර, එහි රාජකාරී 18 ක් ඉටුකිරීම සඳහා පුද්ගලයන් මෙම මැදගොඩ ගම්මානයේ පදිංචි කරවා තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් මෙම භූමිය මේ වන විට පූජා භූමියක් වශයෙන්ද ගැසට් කර ඇති අතර, වත්මන් බස්නායක නිලමේ අජිත් බණ්ඩාර මහතා ඇතුළු භාරකාර මණ්ඩලයක් විසින් මෙහි පාලනය සිදු කරනු ලැබේ.

වාර්ෂික පෙරහැර මංගල්‍ය, අලුත් සහල් මංගල්‍ය ඇතුළු කටයුතු මෙන්ම දිනපතා පුද පූජාවන්ද මෙහි සිදු කෙරෙන අතර, තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රාජසිංහ රජුට අයත් යැයි පැවසෙන කාලතුවක්කුවක්ද මෙම දේවාලය සතුව තිබේ. එය මෙහි පෙරහැර පැවැත්වෙන කාලයේදී ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දෙන අතර, අදටත් පෙරහැර ආරම්භ වීමේ සහ ආපසු ගෙවදීමේ සංඥාව නිකුත් කරනු ලබන්නේ මෙම කාලතුවක්කුව පත්තු කිරීමෙනි.

එවන් ඓතිහාසික වටිනාකමක් ඇති මෙම භුමියේ පිහිටි වසර 300 කටත් වඩා පැරණි යැයි සැලකෙන එසේම වට අඩි 25 ක් පමණ වන ඓතිහාසික මෙන්ම දැවැන්ත නා ඉඹුල් වෘක්ෂය මෑතක සිට ක්‍රමයෙන් ඇලවෙමින් පවතී. එමෙන්ම වෘක්ෂයේ පොළොව මතුපිට පිහිටි මුල් ඉරී ගොස් ඇති ආකාරය ද දැකගත හැකි වේ.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා බලධාරීන් ඇතුළු වගකිවයුතු ආයතන හා පුද්ගලයන් දැනුවත් කර ඇතත් මේ දක්වා කිසිදු අයෙකුගේ අවධානය මේ කෙරෙහි යොමු වී නොමැති බවත් මෙම ස්ථානය භාර බස්නායක නිලමේ අජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටී. අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ මෙම ඓතිහාසික දැවැන්ත වෘක්ෂය දිනෙන් දින ඇලවී පෙරලී ගියහොත් මතුපරපුරට දැක ගැනීමට වත් නොහැකි වන බවත් ඒ නිසා අදාළ බලධාරීන්ගේ අවධානය මේ කෙරෙහි යොමු කර මෙම වෘක්ෂය අනාතග පරම්පරාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස මෙහි බස්නායක නිලමේතුමන් මෙන්ම, පාරම්පරික කපු මහතුන්ද සියලු දෙනා වෙනුවෙන් ඉල්ලා සිටිති.

අවිස්සාවේල්ල විශේෂ - කල්පනී පද්මපෙරුම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT