Saturday, May 10, 2025
Home » චීන – ශ්‍රී ලංකා මිතුදම වර්ධනය කිරීම මගේ වෑයමයි

චීන – ශ්‍රී ලංකා මිතුදම වර්ධනය කිරීම මගේ වෑයමයි

by sachintha
September 28, 2023 1:00 am 0 comment

චීන බෞද්ධ සංස්කෘතික ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානී, ලී ජු විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික අංශ ප්‍රධානී, බීජිං හි ෂෙං ජි කලායතනයේ ප්‍රධානී, චීනයේ ෆුජියැං පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති, ෂී වූයැංග් නාහිමි

චීනයේ බුදු දහම වේගයෙන් පැතිරෙනවා

රාමඤ්ඤ නිකාය මට ලබා දෙන ගෞරවයට ස්තුතියි

දෙරට අතර මිත්‍රත්වය බුදු දහම නිසා තවත් තර වුණා

චීන බෞද්ධ සංස්කෘතික ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානී, ලී ජු විශ්වවිද්‍යාලයේ කලා හා සංස්කෘතික අංශ ප්‍රධානී, බීජිං හි ෂෙං ජි කලායතනයේ ප්‍රධානී, චීනයේ ෆුජියැං පළාතේ බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති, ෂී වූයැංග් නාහිමි චීනයේ ෆුජියැං පළාතේ පිහිටි වසර දෙසීයක පමණ ඉතිහාසයක් ඇති බාඕලියන් සෙන් විහාරයේ විහාරාධිපති ෂී වූයැංග් නාහිමියන් එකසිය විසි පහකට අධික දූත පිරිසක් සමඟ ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ලෝකවාසී බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් ද උන්වහන්සේ සිදු කර ඇති සමාජ සත්කාරක මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් “ලෝකත්ථචාරී ලෝක ශාසන ශෝභන ලංකාභිමිත්‍ර ධම්මඝෝෂ ” ගෞරව නාමය ප්‍රදානය කිරීම මේ සංචාරයේ දී සිදු වේ. බීජිං විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය මෙන්ම අන්තර් ආගම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇති උන්වහන්සේ චීනයේ සම්ප්‍රදායික බුදු දහම රට පුරා ප්‍රචාරය කිරීම වෙනුවෙන් වෙහෙස වී ක්‍රියා කරයි. 2018 වසරේදී TOP CHINA සඟරාව චීනයේ හොඳම පුද්ගලයන් දස දෙනා අතරට ෂී වූයැංග් ස්වාමීන් වහන්සේ ද නම් කළේය. එලෙස තෝරා ගත් චීනයේ එකම භික්ෂූන් වහන්සේ ද වේ. මේ උන්වහන්සේ සමඟ සිදු කළ සංවාදයකි.

දශක දෙකක් තිස්සේ ඔබ වහන්සේ වරින් වර ශ්‍රී ලංකාවට වැඩම කරමින් විශාල සමාජ මෙහෙවරක් ද ඉටු කර තිබෙනවා. 125කට අධික දූත පිරිසක් ද සමඟ මෙවර සිදු කරන ශ්‍රී ලංකා සංචාරය වඩාත් විශේෂයි. ශ්‍රී ලංකාව පිළිබඳ ඔබවහන්සේ තුළ ඇති හැඟීම වචනවලට පෙරළිය හැකිද?

ශ්‍රී ලංකාව පොහොසත් බෞද්ධ සංස්කෘතික උරුමයක් ඇති ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථාන සහ සරල ජන සිරිත් විරිත් ඇති සුන්දර දිවයිනක්. මේ සුන්දර දිවයින මගේ හදවතේ ෂැංග්‍රිලාව බඳුයි. මගේ හදවතේ ශ්‍රී ලංකාව මගේ ආත්මයේ පිවිතුරු දේශයයි. මුල් බුදු දහමේ ජීවය ව්‍යවහාරය ද බොහෝ සේ දරා සිටින්නේ මේ මනරම් දිවයිනයි.

මම ශ්‍රී ලංකාව සලකන්නේ මගේ දෙවැනි නිවහන වශයෙන්. මම ශ්‍රී ලංකාවට පැමිණීමට පටන් ගෙන මේ වන විට වසර විස්සකට වැඩි කාලයක් ගෙවී ගොස් තිබෙනවා. මගේ ආචාර්යවරයකු වගේම උපදේශකයෙක් වශයෙන් ගෞරවයෙන් සලකන දෙල්වල සීවලී නාහිමියන් සමඟ මා මීට විසි වසරකට පමණ පෙර පළමු වරට ශ්‍රී ලංකාවට ආවා. එසේ පැමිණි අවස්ථාවේදී ථේරවාදී බෞද්ධ ඉගැන්වීම් පාලි භාෂා ආදී ශාස්ත්‍ර හැදෑරුවා. ඊට පෙර තායිලන්තයේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී මම නා හිමිපාණන්ගේ ශිෂ්‍යයෙක් වශයෙන් කටයුතු කළා. නායක හිමිපාණන් ගේ මඟ පෙන්වීම, ළෙන්ගතු බව, පෞරුෂය මට බොහෝ සෙයින් බලපා තිබෙනවා.

මෙවර ඔබවහන්සේගේ සංචාරයේ ඇති විශේෂත්වය කුමක්ද?

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් මා වෙත ගෞරව නාමයක් ප්‍රදානය කෙරෙනවා. එසේ වුවද මේ සංචාරයේ අරමුණ ඒ සම්මානය ලබා ගැනීම පමණක් නෙවෙයි. වැදගත් පූජනීය ස්ථාන වන්දනා කරගැනීමට වගේම බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ යන භික්ෂුවක ලෙස ශ්‍රී ලංකාවේ මානවවාදී සංස්කෘතිය අවබෝධ කර ගැනීමටත් සංස්කෘතික හුවමාරුවක යෙදීමටත් මම අපේක්ෂා කරනවා. මෙවර මා සමග 130 කට වැඩි දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබ වහන්සේ සිදු කරමින් ඇති මෙහෙවර ගැන යමක් කිව හැකිද?

ශ්‍රී ලංකාව චීනයේ සමීප මිත්‍රශීලී රටක්, කලාපීය සගයෙක්. චීන භික්ෂුවක ලෙස චීනය පිළිබඳ තොරතුරු පැහැදිලිව නිරවුල්ව සහෝදර ශ්‍රී ලාංකික ජන ජනතාව සමඟ බෙදා ගැනීමට වගේම චීනයේ හඬ ඔවුන් වෙත රැගෙන යාමේ අත්හළ නොහැකි වගකීමකුත් මට පැවරී තිබෙනවා. මම අදහන පරිදි ඔබේ රට ශ්‍රී ලංකාව මගේ දෙවැනි නිවහනයි. ඒ නිසා එරට ප්‍රතිරූපය ධනාත්මකව සත්‍යවාදීව මෙන්ම බලවත් සේ ප්‍රවර්ධනය කිරීමත් මගේ වගකීමක් ලෙස මම සිතනවා. ලාංකීය සංඝරත්නය හා ජනතාව මට ලබා දුන් පිළිගැනීමටත් සහයෝගය වෙනුවෙනුත් මා ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි.

මේ සංචාරයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ඔබ වහන්සේ වෙත ” ලෝකත්ථචාරී ශාසන ශෝභන ලංකාභිමිත්‍ර ධම්ම ඝෝෂ “ගෞරව නාමය පිරිනැමීම සිදු වෙනවා. මේ ගැන ඔබවහන්සේ අදහස කුමක්ද?

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් මා වෙත පිරිනමනු ලබන ගෞරවය වෙනුවෙන් මා කෘතවේදී විය යුතුයි. මේ ගෞරවය හුදෙක් මට පමණක් නොව අපේ චීන සංඝරත්නයටම කරන ලද ගෞරවයක් ලෙස මා සලකනවා. එසේම, මෙය මා තවදුරටත් දිරි ගැන්වීමටත් හේතුවක්. ඒ නිසා, ඒ ගැන මා තුළ ඇත්තේ තෘප්තිමත් හැඟීමක්. කිසිදු අයහපතක් කිරීමෙන් වැළකී යහපතෙහිම යෙදෙමින් සිත පිරිසිදුව තබා ගනිමින් ක්‍රියා කිරීම බුදු දහමේ ඉගැන්වීමයි. මා ගමන් කරමින් සිටින්නේ ඒ මාර්ගයේයි.

චීනයේ බුදු දහම ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් ලංකාවත් ඓතිහාසික මෙන්ම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. චීනයේ වර්තමාන බෞද්ධ ප්‍රබෝධය කෙබඳුද?

මේ වන විට බුදු දහම පෙර නොවූ විරූ අන්දමින් විකාශනය වෙමින් වර්ධනය වී තිබෙනවා. අපගේ පක්ෂ කමිටුවේ සහ රජයේ ප්‍රබල නායකත්වය යටතේ මහජනයා වන අපි නීතියට සහ රෙගුලාසිවලට අනුකූලව බෞද්ධ සංස්කෘතික උරුමය තවදුරටත් රැක ගනිමින් හා සංවර්ධනය කරමින් සිටින්නේ. විශේෂයෙන් “අනුකම්පාව ලෝකයට උපකාර කරයි ” යන කියමනෙන් අරුත් ගැන්වෙන පරිදි බුදු දහමේ සමාජ කාර්යභාරය සාපේක්ෂ වශයෙන් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ක්‍රියාත්මකයි.


බුදු දහම චීන සංස්කෘතිය කෙරෙහි ඇති කර තිබෙන බලපෑම දෙස ඔබවහන්සේගේ අදහස කෙසේද?

ඉදිරි දැක්මක් සහිතව අපට ඒ දෙස බලන්නට පුළුවන්. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් අපේ රට විශාල වැදගත්කමක් ලබා දෙනවා. මේ වන විට බෞද්ධ සංස්කෘතිය අපේ මාතෘ භූමියේ සාම්ප්‍රදායික සංස්කෘතියේම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති බව කියන්න පුළුවන්. රටේ නොයෙක් පළාත්වල බෞද්ධ විද්‍යාල ඇති කිරීමට රජය ප්‍රබල ලෙස අනුබල දෙමින් සිටිනවා. එමඟින් භික්ෂූන් වහන්සේලාගේ නිපුණතා තවදුරටත් වර්ධනය කරගැනීමට අවස්ථාව සැලසෙනවා.

ශ්‍රී ලංකා චීන සමීප මිත්‍රත්වය වර්ධනය වීමටත් බුදු දහම කේන්ද්‍රකර කර ගනිමින් දෙරට ඇති වූ සම්බන්ධතා හේතු වූ බව කිව හැකිද?

ඔව්, පැහැදිලිවම. ශ්‍රී ලංකාව හා චීනය අතර දීර්ඝ කාලීන සමීප මිත්‍රත්වය තුළ බුදු දහමේ චමත්කාරය පිළිබිඹු වෙනවා. අප දෙරට අතර දේශපාලන ආර්ථික සංස්කෘතික බැඳීම් හා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගොඩනැඟෙමින් වර්ධනය වූ සහයෝගිතාවයට මෙන්ම එය තවදුරටත් ඉහළ නැංවීමටත් බුදු දහම වාහකයක් වුණා. ඉතිහාසය හදාරන විට ඒ බව අපට හොඳින්ම නිරීක්ෂණය කළ හැකියි. මේ පිළිබඳ පුරාවිද්‍යාත්මක වගේම ලිඛිත මූලාශ්‍ර මඟිනුත් සාධක සහිතව දැන ගැනීමට පුළුවන්. වර්තමානය වන විට අප දෙරට අතර ගොඩනැඟී ඇති සමීප මිත්‍රත්වය ඒ සම්බන්ධතාවයේම විකාශනයක් බව කිව හැකියි.

දෙරට අතර ආගමික ශාසනික සම්බන්ධතාවලට අතිරේකව සමාජයීය සංස්කෘතික ආදී සම්බන්ධතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අපේ සංඝ සමාජය හා ශ්‍රී ලංකා රජය සමඟ ඉදිරියේ දී ඔබ වහන්සේට කවර අන්දමේ කාර්ය භාරයක් ඉටු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවාද?

අප දෙරටේම බෞද්ධ කව හරහා සංස්කෘතික හුවමාරුව තවදුරටත් පුළුල් කළ යුතුයි. අධ්‍යාපන කටයුතු සඳහා දෙරටේ භික්ෂූන් වහන්සේ හුවමාරු කර ගැනීම වැනි නොයෙක් වැඩසටහන් එමඟින් දියත් කළ හැකි වෙනවා. දෙරට අතර බෞද්ධ සංස්කෘතිය ඔප නැංවෙන කලා ප්‍රසංග, සංදර්ශන ආදිය පැවැත්වීම, උරුම ගවේෂණය වැනි වැඩපිළිවෙළ වඩාත් පුළුල්ව දියත් කළ යුතුයි. දේශීය වෛද්‍ය ක්‍රම ආදිය ගැන පවා ජනතාව තුළ ඇති සම්ප්‍රදායික දැනුම ඔස්සේ පර්යේෂණ කරන්න පුළුවන්. මේ ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය සහාය නිරන්තරයෙන්ම ලබාදීමටත් තවදුරටත් වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමටත් අප සෑම විටම සූදානම්. අප දෙරට අතර සහයෝගීතාව සංස්කෘතික හුවමාරුව ආදි කාරණා සම්බන්ධව කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකාවේ රජයත් මහා සංඝරත්නයත් මා තමන්ගේම පවුලේ අයෙක් ලෙස සලකා කටයුතු කරාවි කියලා මම සිතනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංගීතය, නර්තනය ආදී කලා ක්ෂේත්‍ර ඇසුරු කරමින් ලෝකයට දායාද කළ හැකි විශිෂ්ට නිර්මාණ තියෙනවා. එහිදී ලාංකේය කලාකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් මා උනන්දු වෙනවා.

බුදු දහමේ පණිවිඩය, හරය ඔබ වහන්සේ ලෝකයට රැගෙන යමින් සිටින්නේ කලාව උපයෝගී කර ගනිමින්. මොකක්ද මේ ක්‍රමවේදය?

සංගීතය හා නැටුම් සම්ප්‍රදායික චීන සංස්කෘතියේ වැදගත් අංග. ” කලාවේ උල්පත ආගමයි ” යනුවෙන් කියමනකුත් තියෙනවා. පූජා නැටුම්, යාඥා ,ගීතිකා ආදිය ලෝකවාසී ජනයාගේ සංස්කෘතික මූලාශ්‍ර වශයෙන් සැලකීමට පුළුවන්. කලාව උපයෝගී කර ගනිමින් බෞද්ධ සංස්කෘතිය පිළිබඳ දැනුම්වත් කිරීම ගැන වර්තමාන සමාජය උනන්දුයි කියන දේ මට පෙනෙනවා. ඒ ප්‍රවණතාව වඩා ඵලදායිව වර්ධනය කිරීම සම්බන්ධයෙන් මා වඩාත් උනන්දුයි.


ඔබවහන්සේ ලොව පුරා නොයෙක් රටවල චාරිකාවේ යෙදෙනවා. මේ ගැන යමක් කිව හැකිද?

මේ වන විට මම වසර ගණනාවක් තිස්සේ ජපානය, දකුණු කොරියාව, ප්‍රංශය, ඩුබායි, ජර්මනිය, හන්ගේරියාව, ඔස්ට්‍රියාව, කාම්බෝජය, තායිලන්තය ආදි රටවල් ගණනාවක මේ අන්දමින් චාරිකා කර තිබෙනවා. මෙහි දී ලොව දැනට පවත්නා ආගම්වල අරමුණක් යැයි කිව හැකි විශ්වීය ආදරය ප්‍රවර්ධනය කිරීමටත් මා වෑයම් කර තිබෙනවා. ඒ ඒ ආගම්වල දේශනා ක්‍රම විවිධයි. එසේ වුවත්, ආගම් අතර සම්බන්ධය මෙන්ම සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම ලෝක සාමයට පවා ඉවහල් වන කාරණයක් බව කිව යුතුයි.

ඔබවහන්සේ මේ සංචාරවලදී අත්විද ඇති හැටියට බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් බටහිර ලෝකයේ ඇති ප්‍රතිචාරය කෙබඳුද?

දීර්ඝ කාලයක් තිස්සේ බෞද්ධ දර්ශනය ගැන බටහිර රටවල් පරීක්ෂණ කරමින් සිටින්නේ. ‘ ෂෙන් බුදු දහම ‘ ගැන දැනගැනීමටත් යුරෝපයේ වගේම අමෙරිකාවෙත් උනන්දුවක් තියෙනවා. ලෝකය අත්කරගනිමින් ඇති භෞතික දියුණුවත් සමඟ පෙරදිග හා අපරදිග අතර ඇති ගැටුම උග්‍ර වුවත් බෞද්ධ ඉගැන්වීම් හා මඟ පෙන්වීම ලෞකික වශයෙනුත් මිනිස්සුන්ගේ කායික මානසික නීරෝගීභාවය වෙනුවෙන් විශාල දෙයක් කරමින් සිටිනවා.

චීන සංචාරකයන් අතර ශ්‍රී ලංකාව වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් කිරීම සඳහා ඔබවහන්සේගේ මෙවැනි සංචාර හා දිරිගැන්වීම් ඔස්සේ ඔවුන් වෙත පණිවිඩයක් රැගෙන යාමට අපේක්ෂා කරනවාද?

චීනයත් ශ්‍රී ලංකාවත් අතර සමීප කලාපීය මිතුරන් ලෙස ඇති දිගුකාලීන මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමත් දෙරට අතර මානව ශාස්ත්‍ර හා සංස්කෘතික ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමත් මගේ වෑයමයි. ජනාධිපති ෂී ජිංග් පිංග් විසින් අපේක්ෂා කරන්නේ ද මානව වර්ගයා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ලෙස ගොඩනැගීම, මානව ශිෂ්ටාචාරයේ නව ස්වරූපයක් නිර්මාණය කිරීම මෙන්ම ජයග්‍රාහී ජාත්‍යන්තර සහයෝගිතාවක් සඳහා ” එක මාවතක් එක තීරයක් ” (One route One belt)සංකල්පය ඔස්සේ ක්‍රියා කිරීමයි. ඒ නිසා අපේ මේ වෑයම මඟිනුත් ඔවුන් දිරිගැන්වෙනු ඇති බව අපට විශ්වාසයි.

Top Chen සඟරාව 2018 වසරේ දී චීනයේ හොඳම පුද්ගලයන් 10 දෙනා අතරට ඔබ වහන්සේ ද තෝරා ගත්තා. එලෙස තෝරා ගත් චීනයේ එකම භික්ෂූන් වහන්සේද ඔබ වහන්සේ වෙනවා. මෙහි විශේෂත්වයක් තිබෙනවාද?

Top Chen සඟරාවේ එම තෝරා ගැනීම අපේ මාතෘ භූමිය, පක්ෂ කමිටුව, රජය හා අපේ ජනතාව මා වෙත ලබා දුන් පිළිගැනීමක් වගේම දිරිගැන්වීමක් ලෙසයි මා සලකන්නේ. අපේ දේශයේ ආගමික විශ්වාසයන්ට නිදහස ප්‍රවර්ධනය කිරීමත් ඉන් සංකේතවත් වෙනවා. ලෝකයේ ප්‍රධාන ආගම් 5ම මනාව උරුම වී වර්ධනය වී ඇත්තේ අපේ මහා චීන දේශයේයි.

ධමිමික සෙනෙවිරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT