Home » රාජ්‍ය නිලධාරීන්ගේ බුද්ධි ගලනය මිථ්‍යාවකි !

රාජ්‍ය නිලධාරීන්ගේ බුද්ධි ගලනය මිථ්‍යාවකි !

by sachintha
October 5, 2023 1:02 am 0 comment

රැකියා සහ අධ්‍යාපන අවස්ථාවන් සොයා තරුණ ප්‍රජාව විදේශගතවීමේ වැඩි ප්‍රවණතාවයක් මෑත කාලයේ දකින්නට ඇත. ගෝලීය අධ්‍යාපන අවස්ථාවන්, ගෝලීය රැකියා වෙළෙඳපොළ පුළුල් කිරීම ගෝලීය ආර්ථිකය හා බැඳුණු නියතයකි. ගෝලීය ආර්ථික රටාවට සරිලන වෘත්තීය දැනුම හා අධ්‍යාපන සහතික සහිත පිරිස විදේශගත වෙති. මෙය “සියවසේ මහා බුද්ධි ගලනය” ලෙස අර්ථ දක්වන්නට බොහෝ පිරිස් උත්සහ දරති. මෙය බලවත් මිථ්‍යාවකි!

රාජ්‍ය සේවකයින් යනු පුහුණුවක් හා විශේෂඥතා සහිත වෘත්තිකයින්ය. රටේ විමධ්‍යගත අරමුදලෙන් වැටුප් ලබන සේවකයින්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 මඟින් වසර 5කට දේශීය/විදේශීය නිවාඩු ලබා ගත හැකිය. රටක බුද්ධි ගලනයක් සිදු වන්නේ නම්, වෛද්‍යවරුන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවය තුළින් එය සංඛ්‍යාත්මකව ප්‍රදර්ශනය විය යුතුය.

ඉහත චක්‍රලේඛය ප්‍රකාරව, 2023.09.15 දිනට සමස්ත රාජ්‍ය සේවය තුළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ විශේෂ වියදම් ඒකකවල නිලධාරීන් 483,238 කින් 2,709 (0.56%) දෙනෙකු වැටුප් රහිත පස් අවුරුදු විදේශ නිවාඩු ලබා ඇත. එලෙසම පළාත් රාජ්‍ය සේවයේ සමස්ත නිලධාරීන් 398,528 දෙනාගෙන් 1,170ක් (0.3%) විදේශ නිවාඩු ලබා ඇත. අමාත්‍යාංශ හා පළාත් සභා සේවකයින් 3,879 ක් (0.32%) මේ යටතේ විදේශ ගත වී ඇත. මෙය ලක්ෂ 12ක පමණ රාජ්‍ය සේවයට බලපෑම් කරන්නක් නොවේ.

ශ්‍රී ලංකාව දැවැන්ත බුද්ධි ගලනයක්, මහා විනාශයක්, අනර්ථයක් පාමුල යැයි කියන්නේ සමස්ත රාජ්‍ය සේවයෙන් 0.32%ක වැටුප් රහිත නිවාඩු ලබා විදේශගත වූ පසුබිමකය. පුදුමයට කරුණ නම්, වසර 5ක වැටුප් රහිත දේශීය නිවාඩු ලබා මෙරටම වෙනත් වෘත්තීන්ගේ නිරත රාජ්‍ය නිලධාරී සංඛ්‍යාව 1,506 කි. එයින් 79 ක් මාණ්ඩලික නිලධාරීන්ය. ඉතිරි 1,427 විධායක නොවන නිලධාරීන්ය. එයින් අදහස් වන්නේ, විදේශගත වන පිරිසෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් වැටුප් රහිත නිවාඩු ලබා රට තුළම රැඳීසිටින බවය. එනම්, රාජ්‍ය නිලධාරීන්ගේ බුද්ධි ගලනය මිථ්‍යාවකි!

ගොබෙල්ස් න්‍යාය

දේශීය හා විදේශීය වසර 5ක නිවාඩු ලබා ගැනීමේ රටාව ප්‍රත්‍ය ලෙස පෙන්වන්නේ වෘත්තීය හැකියාව, විෂය ප්‍රවීණත්වය ඇති පිරිස් රජය ලබාදුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන දෙස් – විදෙස් රැකියා කරමින් තම ආර්ථිකය සවිමත් කර ගන්නා බවය.

එකම බොරුව සිය දහස් වරක් පවසන විට එය සත්‍යය ලෙස පෙනී යන බව ගොබෙල්ස් න්‍යායයි. වර්තමානයේ රාජ්‍ය සේවයේ වෛද්‍යවරුන් ද, කථිකාචාර්යවරුන් ද, රාජ්‍ය සේවකයින් ද සංක්‍රමණයවීම, බුද්ධි ගලනය කපුටු පිහාටුව කපුටන් හත් දෙනෙකු කළ කතාවකි. දත්ත හා සංඛ්‍යා මඟින් නිරුවත් වන මිථ්‍යාවකි.

මෙරට විශ්වවිද්‍යාල 17 සහ අනෙකුත් ආයතන ද ඇතුළුව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යටතේ වන ආයතන 22න්ම, වසර දෙකකට වැඩි කාලයකට නිවාඩු ලබා 2023 වසරේ විදේශගත වී ඇති පිරිස 143කි. 2022 වසරේ විදේශගත වූ සංඛ්‍යාව 228කි. 1971 වසරේ මෙරට ඉංජිනේරු උපාධිය ලැබූ සංඛ්‍යාවෙන් 45%ක් එංගලන්තයට සංක්‍රමණය වී ඇත. 1974දී වෛද්‍ය උපාධි ලැබූ පිරිසෙන් 45% ක් එංගලන්තයට පමණක් සංක්‍රමණය වී ඇත. වර්තමානයේ, රාජ්‍ය සේවයේ වසර 5ක නිවාඩු ලබා විදේශගත වී ඇත්තේ 0.32% කි. මේ සියල්ලම කිසිදා ආපසු රටට නොපැමිණිය ද, රට බිඳ වැටී ද? නැත!

රැකියා සුරක්ෂිතභාවය

2020 සිට 2023 අගෝස්තු 31 දක්වා විශ්වවිද්‍යාලයන්හි සප්ත වාර්ෂික නිවාඩු ලැබූ සංඛ්‍යාව ගැන තත්ත්වය සලකා බලමු. කොළඹ (80), පේරාදෙණිය (41), ජපුර (35), කැලණිය (54), විවෘත (17), රුහුණ (81), රජරට (10), අග්නිදිග (8), දෘෂ්‍ය හා ප්‍රාසාංගික කලා (13)ක් ලෙස නිවාඩු ලබා ශ්‍රී ලංකාවේ රැඳෙන විට, විදේශගතව ඇත්තේ එයට වඩා අඩු සංඛ්‍යාවකි. සප්ත වාර්ෂික නිවාඩුව යටතේ විදේශගත නොවී ලංකාවේ රැඳී සිටින කථිකාචාර්යවරුන් අතර මහා බුද්ධිගලනයක් කෙසේ නම් පැවතිය හැකිද?

සප්ත වාර්ෂික නිවාඩුව යනු වැටුප් සහිත නිවාඩුවකි. නියමිත කාලය තුළ ඕනෑම දිනක නැවත සේවයට වාර්තා කළ හැකි, රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ කිසිදු අවදානමක් නැති (0% Job Risk)වරප්‍රසාදයකි. 2020 සිට 2023 දක්වා සප්ත වාර්ෂික නිවාඩු ලබා විදේශගත වීම වෙනුවට ශ්‍රී ලංකාවේම රැඳී සිටීමේ වැඩි ප්‍රවණතාවය කොළඹ විශ්වවිද්‍යාලයේ කලා, අධ්‍යාපන (100%), දේශීය වෛද්‍ය (100%), නීති (100%), විද්‍යා පිඨවල ද වෛද්‍ය පීඨයේ ද (විදේශගතවීම වෙනුවට මෙරට රැඳීම) එලෙසම පවතී. පේරාදෙණියේ කලා, දන්ත වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, විද්‍යාපීඨවල ආචාර්යවරු ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට එකතුවීම මිස විදේශගතවීම සීමිතය. කැලණියේ පරිගණක, සමාජ විද්‍යා, වාණිජ්‍ය, විද්‍යා පිඨවල කථිකාචාර්යවරුන් සප්ත වාර්ෂික නිවාඩු ලබා ශ්‍රී ලංකාවේ රැඳෙනවා මිස විදේශගත වී නැත. නිවාඩු ලබා විදේශගත වීම නොව බහුතරයක් සිදු කරනුයේ, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට එකතුවීම හෝ ව්‍යාපාරයක් හෝ වෘත්තියක් සිදු කිරීමය.

2020 – 23 සමයේ වසර දෙකකට වැඩි අධ්‍යයන නිවාඩු ලබා ගැනීමේ ප්‍රවණතාවය සැලකීමේ දී කථිකාචාර්යවරුන් මෙරට රැඳීම වෙනුවට, විදේශගත වී ඇත. මෙය අලුත් තත්ත්වයක් නොවේ. කථිකාචාර්යවරුන් 70 – 80 දශකයන් හි සමාජවාදී රාජ්‍යයන්ට ද, වර්තමානයේදී චීනය හා ගෝලීය ආර්ථිකය ස්ථාපිත බටහිර රටවල් ද, ඉන්දියාව ද තම පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා තෝරා ගනිති. 2017 – 2020 වර්ෂ තුනක මෙසේ නිවාඩු ලැබූ පිරිසෙන් 87%ක් මෙරටට පැමිණ නැවත සේවයට වාර්තා කර ඇත.

සියවසේ මහා වෛද්‍ය හිඟය

නිදහසින් පසු අඛණ්ඩවම ශ්‍රී ලංකාවේ උපාධිධාරීන් හොඳ රැකියා, පුහුණුව, යහපත් ජීවන තත්ත්වයක් සහ උසස් වැටුප් සොයා විදේශගත (සංක්‍රමණය) වන්නේය. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 11% ක් එලෙස වීදේශගතව ඇත. ඉංජිනේරු, තාක්ෂණික, පරිගණක, වාණිජ්‍ය හා මුල්‍ය ක්ෂේත්‍රයන් ද එසේමය. අති බහුතරයක් වන කලා උපාධිධාරීන්ට එම අවස්ථාව දුලබය. (2021/2022 අධ්‍යන වර්ෂය වෙනුවෙන් කලා උපාධි පාඨමාලා සඳහා 11,521ක්ද, කළමනාකරණ හා වාණිජ උපාධි පාඨමාලා සඳහා 8,001 ක්ද ලෙස සිසුන් බඳවා ගෙන ඇත.

මහා ඝෝෂාවක් නැගා වෛද්‍යවරුන් විදේශගතවීමේ කතාව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සකලවිධ කළමනාකරණ දුබලතාවයන් මත ගොඩනැඟී ඇත. ඉදිරි මාස හතර තුළ අවම වශයෙන් වෛද්‍යවරුන් 2,100 ක් රාජ්‍ය සේවයට එකතුවේ. 2023 ඔක්තෝම්බර් මස විදේශ උපාධි ලැබූ 567ක්, මෙරට වෛද්‍ය පීඨ උපාධි ලැබූ 1,056ක් හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ලැබූ 450ක් ද ඒ අතර වෙති. “සියවසේ මහා වෛද්‍ය හිඟය” දත්ත මත පදනම් නොවන මිථ්‍යාවකි.

මෑතක දී දේශීය වෛද්‍යවරුන්ගේ රට හැර යාමේ ප්‍රවණතාවයක් (බුද්ධි ගලනයක්) පවතින බවට ද මාධ්‍ය වාර්තා පළ කර තිබුණි. අද වන විට දේශීය වෛද්‍යවරු (ආයුර්වේද, යුනානි) 1,300 ක් රජයේ රැකියා නොමැතිව සිටී. 2024 පෙබරවාරි 28 දිනවන විට තවත් දේශීය වෛද්‍යවරු 300 ක් පුහුණුව අවසන් කර රජයේ රැකියා නොලැබූ ආයුර්වේද වෛද්‍යවරුන් ගොඩට එකතු වේ. යුරෝපයේ, මැදපෙරදිග හා ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපළ ඉල්ලුමක් ඔවුනට තිබේ. වැඩිහිටියන්ගේ සුරක්ෂාව, සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම, රෝග වළක්වා ගැනීම වැනි ක්්‍ෙෂ්ත්‍රයන්හි “ගෝලීය රැකියා ඉල්ලුම සැපයීම” සඳහා මේ පිරිසෙන් කොටසක් යොමුවෙමින් ඇත. රට තුළ පුළුල් ඉල්ලුමක් නොමැති පුහුණු වෘත්තිකයින් විදේශ රැකියා ලබා ගැනීම, රටක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට යහපතක් වේ.

ගෝලීය ආර්ථිකයේ විචිත්‍රත්වය

ඉන්දියානු, කොරියානු, චීන වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන්ගේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම මඟින් ශ්‍රී ලාංකිකයින්ට ප්‍රතිකාර කරති. මෙරට හෙළ වෙදකම (පාරම්පරික සාම්ප්‍රදායික වෙද මහත්වරු) සොයා විදේශිකයින් හය දහසකට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව මෙරටට පැමිණෙයි. විවිධත්වය ගෝලීය ආර්ථිකයේ විචිත්‍රත්වයයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අතිශයෝක්තියට නංවා ඇති නමුත් 2023.08.23 දිනට මේ වසරේ දී රජයේ සේවයෙන් ඉල්ලා අස්වී ඇති වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 78කි. සේවය අතහැරයාම් 121කි. සත්‍ය ලෙසම මොවුන්ගෙන් බහුතරය නම් විදේශගතව ඇත. 14/2022 චක්‍රලේඛය යටතේ වැටුප් රහිත නිවාඩු ලබා මේ වසරේ විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් 100 දෙනාම නැවත මෙරටට නොපැමිණෙන්නේය යන්න හිතළුවකි. එසේ වුව ද, මේ වසරේ වෛද්‍ය සේවයට එක්වීමට අපේක්ෂිත 2,100 සමඟ ගළපා ගැනීමේ දී එය රටට දරාගත නොහැකි පාඩුවක් නොවේ. නමුත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ රට හැරයාම නිර්මාණාත්මක පිළියම් යෙදිය යුතු ගැටලුවකි. අප විසින් පිළිතුරු සෙවිය යුතු සැබෑ ගැටලුව එයයි.

සෞඛ්‍ය සේවයේ වැඩිම සේවක හිඟය (අනුමත සේවක සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී) පවතින්නේ විකිරණ ශිල්පී, ශ්‍රවණවේදී, ඖෂධවේදී හා හෙද සේවයේ ය. පුහුණුව අවසන් කළ හෙද නිලධාරීන් 3000 ක් සහ ඖෂධවේදීන් දහසක් දැනට රටෙහිසිටී. ඔවුන්ට පත්වීම් ලබා දී මේ සේවක හිඟය වහා විසඳිය යුතුව තිබේ. එවිට රෝගීන්ට සිදුවන පීඩාව අවසන් කළ හැකි වනු ඇත. එසේ නොවේ නම්, මේ පුහුණු ශ්‍රමිකයින් තොග පිටින් විදේශගතව තම ජීවන තත්ත්වය උසස් කර ගැනීමේ අවස්ථා පුළුල් කර ගනු ඇත.

කථිකාචාර්යවරුන්ගේ හිඟය ගැන මෑතකකෝප් කමිටුවේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසූවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සකස් කළ ශිෂ්‍ය ගුරු අනුපාතය අනුව මෙරට කථිකාචාර්යවරුන් 12,992ක් සිටිය යුතු බවත් දැනට සිටින්නේ 6,548ක් බවත් ය. මෙය විශ්වවිද්‍යාල සඳහා අනුමත සේවක සංඛ්‍යාව නොව “සිටිය යුතු යැයි උපකල්පනය කරන”සංකල්පීය සංඛ්‍යාවකි. මෙරට විශ්වවිද්‍යාලයන් හි 2023 ජනවාරි 1 දිනට අනුමත ස්ථිර සේවක සංඛ්‍යාව 8,393 කි. එයට වැඩිපුර එකම සේවකයෙකු හෝ විශ්වවිද්‍යාලයන්ට බඳවා ගැනීමට විශ්වවිද්‍යාල පාලක මණ්ඩලවලට නීතියෙන් නම් ඉඩක් නැත.

(1990 සිට ඉදිරි දශකයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සේවයේ නිරතවී සිටි ආචාර්යවරුන් පහතින් නිරූපණය වේ.

මුලාශ්‍රය – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

2021දී මෙරට විශ්වවිද්‍යාලයන් හි අධ්‍යයන කාර්ය මණ්ඩලය 7,004ක් විය. 2023.01.01 දිනට එය 8,393 කි. පසුගිය වසර දෙක තුළ පැවති කාර්ය මණ්ඩලයට සාපේක්ෂව වැඩිම අනුමත සේවක සංඛ්‍යාවක් වර්ධනය වී ඇත්තේ විශ්විවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රයේ ය. රජරට, වයඹ (සහ යෝජිත ඌව වෙල්ලස්ස) වෛද්‍ය පිඨ 3 හේතුවෙන් 2021 වසරේ 855ක් වූ වෛද්‍ය පිඨ කථිකාචාර්ය සංඛ්‍යාව, 2023 දී 1,218 දක්වා වැඩි වී ඇත.

මෙවන් පසුබිමක, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේසංගමය පුවත්පත් සාකච්ඡාවක දී පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨයන්හි ස්ථිර කාර්ය මණ්ඩලය 1600 – 1700ක් නමුත්, සිටින්නේ 800ක් බවය. මෙය පට්ටපල් කෙබරයකි. 2023 ජනවාරි 1 දිනට මෙරට වෛද්‍ය පීඨයන්හි ස්ථිර කථිකාචාර්යවරුන් සංඛ්‍යාව 1,218 කි. වෛද්‍ය පීඨයන්ට මේ වනවිටත් බෙදා ඇත. කොස් ද බෙදා ඇත. මෙහෙම රටක් අන්දවන්නට දත්ත විකෘති කළ හැක්කේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටම පමණී. කාබනික පොහොර, කරන්ට් වදින ගිලන් රථ සේවාව, හෙදියන්නට උපාධි දීමට විරුද්ධවීම, පැරා මෙඩිකල් ෆැකල්ටියට විරුද්ධවීම, 2021 ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිවීම, අහවල් එක ගෙදරදීම හදා ගැනීමටත් වඩා ව්‍යාජයක් වෛද්‍ය විද්‍යාලයන්හී මානව සම්පත් හිඟය පිළිබඳ පතුරවන්නට ඔවුහු උත්සහ දරති.

සත්‍යතත්ත්වය නම්, වෛද්‍ය පීඨයන්හි සප්ත වාර්ෂික නිවාඩු ලබන බහුතරය විදේශගත නොවන අතර, ඔවුහු මෙරටම පුද්ගලික අංශයේ සේවය කිරීමය. කොළඹ වෛද්‍ය පීඨයේ දෙදෙනෙකු විදේශගත වන විට, 25ක් පුද්ගලික අංශයේ සේවය කරති. පේරාදෙණියේ 6 විදේශගතය. 9ක් මෙරට වෛද්‍ය සේවයේ ය. කැලණියේ 2ක් විදේශගත වන විට 7 ක් ශ්‍රී ලංකාවේ රෝගීන් බලති. රුහුණේ 4 බැඟින් සමව දේශීය රැඳී හා විදේශගතව ඇත. යාපනයේ 12 ක් විදේශගත වන විට 22ක් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රතිකාර කරති.

වසා ඇති සත්‍යය

ද්විතීයක අධ්‍යාපනයක් ලැබූ තරුණ ප්‍රජාව සැලකිය යුතු ප්‍රමාණයක් විදේශ ගත වන බව ඇසට පෙනෙන සත්‍යයකි. ඔවුන් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හි උපාධි ලැබූවන් ද, නැතිනම් විදේශීය සම්බන්ධතා සහිත පෞද්ගලික ආයතනයන් හි උසස් අධ්‍යාපනය හැදෑරූවන් ද යන්න අප ගැඹුරින් සමීක්ෂණය කළ යුතුය. මෙරට ප්‍රධාන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වන ලයිසියම්, ගේට්වේ, ස්ලිට්, ඇපිට්, එන්.එස්.බී.එම් හා නවලෝකහි අධ්‍යාපනය ලබා විදේශගත වන ප්‍රමාණය 35% ඉක්මවන පාඨමාලාවන් තිබේ. මාලඹේ මූලස්ථානය කර ගත් උසස් අධ්‍යාපන ආයතනයක 2020 – 2022 උපාධි/ඩිප්ලෝමා ලැබූ පිරිසෙන් 66% ක් මේ වන විට විදේශ රැකියා හා උසස් අධ්‍යාපනය සඳහා යොමුවී ඇති බව පාලනාධිකාරිය පවසයි.

ද්වීතියක පාසල් අධ්‍යාපනය හා සරසවි පිවිසුම අතර ඇති කාල පරාසය විසින් සම්පත් හා හැකියාවන් ඇති දරුවන් විකල්ප උසස් අධ්‍යාපන සුදුසුකම් ලබාගැනීමට පෙලඹෙති. ඔවුන් බහුතරය ගෝලීය ආර්ථිකය තුළ ඉල්ලුමක් ඇති විෂයයන් තෝරා ගනිති. රැකියා ස්ථානය ශ්‍රී ලංකාව ද, ලෝකයේ වෙනත් තැනක් ද යන්න තවදුරටත් තීරණය කරනුයේ රජයේ විශ්වවිද්‍යාල පමණක් නොවේ.

14/2022 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවයේ වැඩිම පිරිසක් නිවාඩු ලබා විදේශගත වී ඇත්තේ අධ්‍යාපන (378), සෞඛ්‍ය (725), මහජන ආරක්ෂාව (363), රාජ්‍ය පරිපාලන (226), මුදල් (144) ක්ෂේත්‍රයන්හිය. අධ්‍යාපන උපාධිධාරීන් ප්‍රමාණයට වඩා ඩිප්ලෝමාධාරීන් (බහුතරය විද්‍යාපීඨ) ද, සෞඛ්‍ය සේවයේ උපාධිධාරීන්ට වඩා (හෙද, වෛද්‍ය සහාය, උපස්ථායක) ද විදේශගත වේ. වෛද්‍යවරුන් විදේශගතවීම පිළිබඳව අතිශයෝක්තියට නැඟූ මිථ්‍යාවෙන් සැබෑ සත්‍යය වසා ඇත.

පහසු රැකියා සොයා

දකුණ (220), මධ්‍යම (218), සබරගමුව (144), වයඹ (149) හා සැලකීමේ දී බස්නාහිර (9) පළාත් සභාවේ නිලධාරීන් විදේශගත වන්නේ නැති තරම්ය. රාජ්‍ය සේවකයින් විදේශගතවීමට ප්‍රධානතම හේතුව සම්පත් බෙදීයාමේ විෂමතාවය බව කනගාටුවෙන් හෝ පිළිගත යුතුව ඇත.

1990 සිට 2022 දක්වා කිසිදු අවස්ථාවක රජයේ වෛද්‍ය විද්‍යාලයන්හි අනුමත ස්ථිර කාර්ය මණ්ඩලයෙන් 75% කට වඩා සේවයේ යොදවා නැත. 1990 දී මෙරට වෛද්‍ය පීඨයන්හි අනුමත මහාචාර්යවරුන් සංඛ්‍යාව 59ක් වුව ද, සේවයේ නිරත වී ඇත්තේ 41(69%)කි. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරුන් (I ශ්‍රේණිය) අනුමත සංඛ්‍යාව 35ක් නමුත්, සේවයේ නිරතව ඇත්තේ 21 (60%)කි. අනුමත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්(II ශ්‍රේණියේ) 105 දෙනාගෙන් සේවය කළේ 74 ක් (70%) පමණී. කථිකාචාර්යවරුන් 175 දෙනාගෙන් සේවයේ නිරත වී ඇත්තේ 102 (58%) කි. 1990දී 387ක අනුමත කාර්ය මණ්ඩලයෙන් සේවයේ නිරතව ඇත්තේ 250 (65%)කි. වෛද්‍ය විද්‍යාලයන්හි පමණක් නොව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළම දශක කිහිපයක් පුරා පවතින්නේ මේ තත්ත්වයේය.

රජිත් කිර්ති තෙන්නකෝන්

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT