Home » ඇස් කණ්ණාඩි ඇතුළු කෝටි දෙකක බඩු සොරාගත් 4 මාට්ටු

ඇස් කණ්ණාඩි ඇතුළු කෝටි දෙකක බඩු සොරාගත් 4 මාට්ටු

-ඒ අතර දුරකතන කුලුනු ඉදිකරන සමාගමක හිමිකරුවකුත්

by sachintha
October 5, 2023 1:02 am 0 comment

 

දිවයිනේ සුප්‍රසිද්ධ ඇස් කණ්ණාඩි ආයතනයකින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා ඇස් කණ්ණාඩි අටසිය අනූවක් ඇතුළු ස්ථාන රැසකින් සොරාගත් රන් භාණ්ඩ හා දේපළ සමග සන්නිවේදන කුලුනු ඉදිකරන සමාගමක හිමිකරුවෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. සිය අනියම් බිරිය සමග ප්‍රධාන සැකකරු තම ජීවනෝපාය සලසා ගැනීම සඳහා වැටුප් ගෙවමින් තවත් සිවු දෙනෙකු ද සේවයට බඳවාගෙන කොට්ටාව, තලංගම, අතුරුගිරිය සහ මාලඹේ යන පොලිස් වසම්වලින් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ හා දේපළ මෙසේ සොරාගෙන ඇති බව පොලිසිය කියයි .

ඒ අනුව සොරාගත් ඇස් කණ්ණාඩි අටසිය අනූවකින් ඇස් කණ්ණාඩි 597ක්, එල්.ඊ.ඩී රූපවාහිනී යන්ත්‍ර තුනක්, රන් පවුම් 5ක් හා ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිල දී ගත් රුපියල් ලක්ෂ 48ක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් හා ජංගම දුරකතනයක් පොලිස් භාරයට ගෙන තිබේ.

මීට පෙර කොට්ටාව ප්‍රදේශයේ ඇස් කණ්ණාඩි අලෙවි සැලකින් ඇස් කණ්ණාඩි 890ක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසියට ලැබී තිබුණි.

ඒ අනුව විමර්ශන සිදු කරමින් සිටි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට තොරතුරක් ලැබී තිබුණේ සැකකටයුතු මෝටර් රථයක් කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ නවතා තිබෙන බවටයි.

ඒ අනුව නිලධාරී කණ්ඩායමක් ක්ෂණිකව එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී සැකකටයුතු ලෙස පුද්ගලයින් සිව් දෙනෙකු රැඳී සිටි මෝටර් රථයක් හමු වී තිබේ. පසුව එම මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී ඇස් කණ්නාඩි 597ක්, අඟල් 40, 42 සහ 52 ප්‍රමාණයේ එල්.ඊ.ඩී රූපවාහිනී යන්ත්‍ර තුනක්, ජංගම දුරකතනයක්, රන් පවුම් පහක රන් භාණ්ඩ හා වැගන් ආර් මෝටර් රථයක පැති කණ්ණාඩි දෙකක් හමු වී තිබේ. ඒ අනුව මෝටර් රථයේ තිබූ භාණ්ඩ පිළිබඳව එහි සිටි සිව් දෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදු කිරීම නිසා සැක සිතී අත්අඩංගුවට ගෙන දිගින් දිගටම ප්‍රශ්න කිරීමේ දී කොට්ටාව පොලිස් වසමේ තවත් ව්‍යාපාරික ස්ථානයක් ඇතුළු නිවාස අටක් කඩා මුදලින් රුපියල් 360,000ක් හා රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක තොරතුරක් ද අනාවරණය වී තිබුණි.

ඒ අනුව තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී පොලිස් භාරයට ගත් ඇස් කණ්ණාඩි 597ක් කොට්ටාව ඇස් කණ්ණාඩි අලෙවි සැලෙන් සොරාගත් ඒවා බවත් ඉන් ඇස් කණ්ණාඩි 303ක් ප්‍රධාන සැකකරුවෙකු ගේ මිතුරෙකු සන්තකයේ තිබෙන බවටත් තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. මීට අමතරව හෝමාගම නගරයේ පෞද්ගලික ආයතනයක සේප්පුවක් කපා රුපියල් 140,000 මුදලක් සොරා ගැනීම , අතුරුගිරිය නගරයේ වෙ‍ෙළඳ සැලක 250,000ක් වටිනා ජංගම දුරකතන සොරා ගැනීම, මාලඹේ නිවාස තුනකින් රුපියල් ලක්ෂ පහක් වටිනා රට බීම හා රූපවාහිනී යන්ත්‍ර තුනක් සොරාගැනීම, තලංගම නිවසකින් රන් පවුම් හතළිහක් සොරා ගැනීම ඇතුළු සොරකම් රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු 2015 – 2017 වසර දෙක තුළ අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවාස 25ක් කඩා දේපළ සොරාගැනීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට ඇප මත නිදහස්ව සිටින්නෙකු බව ද පැවසේ.

එසේම ප්‍රධාන සැකකරු දුරකතන සන්නිවේදන කුලුනු ඉදිකරන සමාගමක හිමිකරුවකු බවත් ඔහුගේ අනියම් බිරිය හා එක්ව මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් ජාවාරමෙන් උපයා ගන්නා මුදලින් ලක්ෂ 48ක් වටිනා මෝටර් රථයක් මිලදීගෙන අති අතර සුඛෝපභෝගී තෙමහල් නිවසක් උඩහමුල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින බවත් පැවසේ.

ඊට අමතරව සැකකරුට එරෙහිව ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් විවෘත වරෙන්තු දෙකක් නිකුත් කර ඇති බව ද පැවසේ. මේ වෙන විට ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඇය සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. අත්අඩංගුවට ගත් උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි ‘චූටි’ හා අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි ‘ චුක්කා’ ඇතුළු සිව් දෙනෙකු (04) දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය යන මහත්වරුන් ගේ ඍජු අධීක්ෂණය යටතේ, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. පී. එස් ජයමහ හා සහකාර පොලිස් අධිකාරී වෙදමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බුද්ධික චතුරංග, පො. සැ (59518) නිශාන්, පො.කො (73034) ලක්මාල් (84855) රොෂාන් (80094) ජයන්ත (94036) විජේසිංහ (96619) දිසානායක (101997) රත්නායක (103782) දර්ශන ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT