Sunday, May 19, 2024
Home » ශිෂ්‍යත්වයට සූදානම් වූ නෙත්සරණිට දිවි අහිමි කළ මාරක අනතුර

ශිෂ්‍යත්වයට සූදානම් වූ නෙත්සරණිට දිවි අහිමි කළ මාරක අනතුර

by yasara
October 11, 2023 12:08 pm 0 comment

අනුරාධපුර, තලාව නගර මධ්‍යයේ පිහිටි වටරවුමේදී ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක යතුරු පැදියක් ගැටීමෙන් ඊයේ (10) රාත්‍රියේ යතුරු පැදියේ ගමන් කළ දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් විය.

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව නගර මධ්‍යයේ පිහිටි වටරවුමේදී බවුසර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් තලාව ප්‍රාථමික විද්‍යාලයේ පස්වැනි වසරේ ඉගෙනුම ලබන, තලාව කරගහවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10 ක් වන ඩබ්ලිව්.නිසල්‍යා නෙත්සරණී විමලසේන දියණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇය මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට සිටින දියණියක් බවද පොලීසිය පවසයි.

මෙම අනතුර ඊයේ (10) රාත්‍රී 7.00 ට පමණ සිදු වී ඇති බව තලාව පොලිස් ස්ථානයේ රථවාහන අංශය පවසයි.

කොළඹ සපුගස්කන්ද ප්‍රදේශයේ සිට අනුරාධපුර දක්වා ධාවනය කෙරෙමින් තිබූ ඉන්ධන රැගත් බවුසරයක තලාව නගරයේ පිහිටි වටරවුමේදී දකුණු දෙසින් පැමිණි යතුරු පැදිය ගැටී අනතුර සිදුව තිබෙන බවත්, ඒ අවස්ථාවේදී යතුරු පැදියේ ජීවිතක්ෂයට පත් දැරිය හා ඇගේ මව පැමිණ තිබෙන බවත් තලාව පොලිස් ස්ථානයේ රථවාහන අංශය පවසයි.

යතුරු පැදිය බවුසර් රථයේ ගැටීමත් සමඟින් දියණිය බවුසර් රථයේ රෝදයට යටවී හිසට බරපතල හානී සිදු වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් පැවසීය.

ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විටත් දියණිය ජීවිතක්ෂයට පත්ව සිටි බවත්, මවට කිසිදු අනතුරක් සිදු වී නොමැති බැවින් ඇය රෝහලෙන් මුදා හැර නිවසට යොමු කළ බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

අනතුරට පත් බවුසරය හා යතුරු පැදිය තලාව ප‌ොලිස් ස්ථානය මගින් පොලිස් භාරයට ගෙන ඇති අතර, අනතුරින් රථ වාහන ද්විත්වයටම දැඩි අලාභ හානී නොමැති බවද පොලීසිය පැවසීය.

අනතුරට පත් බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජීවිතක්ෂයට පත් දස හැවිරිදි දැරියගේ මෘත දේහය මේ වන විට තලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ වලින් අනතුරුව ඇගේ දේහය පවුලේ ඥාතීන්ට භාර දීමට නියමිතිය.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලිස් ස්ථානයේ රථවාහන අංශය පරීක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT