Thursday, May 16, 2024
Home » ඔන්ලයින් පනත සරල බහුතරයකින් සම්මත කළ හැකියි
සංශෝධනයන්ට යටත්ව

ඔන්ලයින් පනත සරල බහුතරයකින් සම්මත කළ හැකියි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

by sachintha
November 8, 2023 1:04 am 0 comment

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නමැති පනත් කෙටුම්පතේ වගන්ති 31ක් පිළිබඳ ලබා දී ඇති සංශෝධනයන්ට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව අභියෝගයට ලක් කරන ලද මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඊයේ (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිබඳ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියේය.

පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පහත පරිදි වේ.

3, 5, 7, 9, 11, සිට 23 දක්වා ද 25 සිට 32 දක්වා ද 36, 37, 42, 45, 53 සහ 56 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.

එසේ වුව ද වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන්ට යටත්ව එම වගන්ති පනත් කෙටුම්පතෙහි පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නේ නම් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය.

ඒ අනුව ඉහත කරුණුවලට යටත්ව, පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් කරයි. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ සඳහන් කර ඇති සංශෝධනවලට යටත්ව, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT