Home » අරවින්ද අද සදාතනික විශිෂ්ටත්වයට

අරවින්ද අද සදාතනික විශිෂ්ටත්වයට

by sachintha
November 15, 2023 1:01 am 0 comment

 

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු වන අරවින්ද ද සිල්වා අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ක්‍රීඩකයකුට පිරිනමන ඉහළම ගෞරවය වන Hall of Fame නාමයෙන් පිදුම් ලබයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දිග්විජය කළ ක්‍රීඩකයන් විශිෂ්ටත්වයට පත් කිරීම උදෙසා මේ ගෞරව නාමය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (15) මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතරතුර අරවින්දට පිරි නැමීමට නියමිතය. ඔහු සමඟ ඉන්දියාවෙන් බිහි වූ තවත් විශිෂ්ට පිතිකරුවකු වන විරෙන්දර් ෂෙවාග් සහ අසූව දශකයේ එරට කාන්තා ක්‍රිකට් පිටියේ දස්කම් පෑ තුන්ඉරියව් ක්‍රීඩිකා ඩයනා එඩුල්ජි ද Hall of Fame ගෞරවයට පාත්‍ර වනු ඇත. Hall of Fame ගෞරවයට පාත්‍ර වන සිව්වැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ද ඔහුය. මීට පෙර මුත්තයියා මුරලිදරන් (2016), කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (2021) මේ ගෞරව නාමය දිනා ගත්හ.

1996 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලාහෝර් නුවර පැවැති අවසන් මහා තරගයේදී නොදැවී ශතකයක් රැස් කරමින් කුසලානය කරා ශ්‍රී ලංකාව පිල රැගෙන ගිය මේ විශිෂ්ට පිතිකරුවා ජාත්‍යන්තර විචාරකයන්ගේ නොමඳ පැසසුමට ලක්වූයේ එවකට ලෝක ක්‍රිකට් පිටියේ සිටි මනරම් පහරවල් රැසකට හිමිකම් කී පිතිකරුවකු ලෙසිනි. ඒ ගෞරවය ඔහු දිනා ගත්තේ ‘පූල්’ සහ ‘කට්’ පහරවල් සඳහා විශාරදයකු වූ හෙතෙම ‘ලේට් කට්, ලෙග් ග්ලාන්ස් සහ කවර් ඩ්‍රයිව්’ පහරවලින් ද පිටියේ හතර අතට පන්දුව යොමු කිරීමට සමත්කම් දැක්වීමෙනි.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල බිහි කළ නොම්මර එකේ ක්‍රිකට් ක්‍රීඩකයා වන අරවින්ද ජාතික කණ්ඩායමට සේන්දු වූයේ 19 හැවිරිදි වියේදීය. එවකට ප්‍රහාරාත්මක පිතිකරුවකු ලෙස නම් දරා සිටි හෙතෙම ශ්‍රී ලංකා පිල ඉන්දියාවට එරෙහිව මංගල ටෙස්ට් ජයග්‍රහණය ලැබූ 1985 සැප්තැම්බරයේ පී.සරා ඕවල් පිටියේ පැවැති තරගයේ ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිමේදී ඔහු අංක 3 පිතිකරුවා ලෙස පිටියට පැමිණ ලකුණු 75ක් රැස් කළේය. එහෙත් ඊට වසර දහයකට පසු එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තය වෙනුවෙන් එරට පළමුපෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම ඔහුගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූ අතර, එහි අග්‍රඵලය 1996 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ රැස් කළ විශිෂ්ට ශතකය බව විචාරකයන්ගේ අදහසය.

වසර 2003 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 93කදී ශතක 20ක් සමඟ ලකුණු 6361කුත්, එක්දින තරග 308කදී ශතක 11ක් සමඟ ලකුණු 9284කුත් රැස් කර සිටි අරවින්ද සැබැවින්ම මේ ගෞරවයෙන් පිදුම් ලැබිය යුතුව තිබුණේ මීට වසර ගණනාවකට පෙරය.

‘මා වෙනුවෙන් පෙනී සිටි සහ මා හැඩ ගැස්වූ සියලුදෙනා සමඟ මා මේ ගෞරවය බෙදා හදා ගනිමි’ Hall of Fame ගෞරවයට පාත්‍ර වීම ගැන අරවින්ද ද සිල්වා එසේ කීවේය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT