Home » ඉන්දියාව හොඳම තුරුම්පු අතේ තියාගෙන නවසීලන්තයට එරෙහිව අද වන්කඩේ පිටියට
ලෝක ක්‍රිකට් පළමු අවසන් පූර්ව තරගය

ඉන්දියාව හොඳම තුරුම්පු අතේ තියාගෙන නවසීලන්තයට එරෙහිව අද වන්කඩේ පිටියට

by sachintha
November 15, 2023 1:00 am 0 comment

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය අද මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පස්වරු 2ට ආරම්භ වීමට නියමිතය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව වන්කඩේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සමඟ තරගයට සහභාගි වී ලකුණු 302ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් අතර, නවසීලන්තය මේ ක්‍රීඩාංගණයේදී මූලික වටයේ කිසිදු තරගයකට සහභාගි වූයේ නැත.

තරගාවලියේ මූලික වටයේ තරග 9ක් පිට පිට ජයගෙන අපරාජිතව සිටින රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයක්ම ඉහළ මට්ටමකින් තබා ගනිමින් ඉතා සමබරව සිටින බව පෙනේ.

නවසීලන්තය මෙවර තරගාවලියේ ආකර්ෂණීය ආරම්භයක් ලබා පිට පිට තරග 4ක් ජයගත් අතර, පසුව ඒ ආකාරයෙන්ම පිට පිට පරාජයන් හතරක් අත්විඳ පසුබෑමකට මුහුණ දුන්නේය. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මූලික වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කර ගැනීමට සමත් විය.

මේ අනුව බලන කළ මේ අවසන් පූර්ව තරගයේ කණඩායම් දෙකෙන් වැඩි වාසි ඉන්දීය පිල සතුව තිබේ.

දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව වන්කඩේ පිටියේ සහභාගි වූ පළමු තරග තුනේදී මුළු ලකුණු සංඛ්‍යාව 350 ඉක්මවීමත් සමඟ මෙය පිතිකරුවන්ට වාසිදායක තණතිල්ලක් බවට මත පළ විය. ලෝක කුසලානයේ මුම්බායිහිදී පැවති තරගයක් දෙවැනියට පන්දුවට පහර දෙන කණ්ඩායමක් ජයග්‍රහණය කළ එකම අවස්ථාව වාර්තා වූයේ ඔස්ට්‍රේලියාව විසින් ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීම පමණි. එබැවින් අද තරගයේ කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම නිසැකවම සිදුවේ. වන්කඩේ ක්‍රීඩාංගණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් පමණ වන අතර, ආර්ද්‍රතාවය සියයට 49ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුම්බායි වන්කඩේ තණතිල්ලේ ඓතිහාසික වශයෙන්, පළමුව පන්දුවට පහර දෙන කණ්ඩායමට අතිමහත් වාසියක් ලැබී නැත. මෙහි ක්‍රීඩා කළ එක්දින තරග 27න් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කණ්ඩායම් තරග 14ක් ජයගෙන ඇති අතර, හඹා ගිය කණ්ඩායම් අවස්ථා 13කදී ජයග්‍රහණය කර සම මට්ටමක පවතී.

රෝහිත් ෂර්මාගේ කණ්ඩායමට විශේෂතම වාසිය වී ඇත්තේ 33,000කට පමණ අසුන්ගත හැකි මුම්බායි වන්කඩේ පිටිය නිල් පැහැති ටීෂර්ට්වලින් සැරසී පිරුණු සෙනඟක් ඉදිරියේ ක්‍රීඩා කිරීමට ලැබීමය.

ඉන්දියාව සහ නවසීලන්තය එක්දින සුදු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ අයිසීසී ඉසව්වලදී 13 වතාවක් එකිනෙකා හමු වී ඇත. එහිදී ඉන්දියාව ජයගෙන ඇත්තේ ජයග්‍රහණ 4ක් පමණි. මේ තරගාවලියේදී ඉන්දියාව සති 3කට පෙර ධර්මශාලාහිදී නවසීලන්තය පරාජය කළ නමුත් එය එතරම් පහසුවෙන් ලබාගත් ජයක් නොවිණි. එහිදී නවසීලන්තය ලකුණු 273ක් ලැබූ අතර, ඉන්දියාව පන්දු 12ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

මේ කණ්ඩායම් දෙක මේ ආකාරයෙන්ම 2019 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේදී හමු වූ අතර, එහිදී විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිල ලකුණු 18කින් පරාජය වී ඉවතට විසිවී ගියේය. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්තයේ දැවැන්ත ප්‍රහාරයට ලක් වූ ඉන්දීය ක්‍රීඩකයන් 5ක්ම අද තරගයේදී පිටියට පිවිසෙන බැවින් එම සිදුවීම තවමත් මතකයේ රැඳී ඇත.

ඉන්දියාව ඉවතට ගිය එම තරගයේදි නවසීලන්තය අසාමාන්‍ය දෙයක් කළේ නැත. මූලික දේ නිවැරදිව කළ නවසීලන්ත පිල කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට තීරණය කර ලකුණු 239ක් රැස් කළේය. වර්ෂාව හේතුවෙන් තරගය අතිරේක දිනය දක්වා කල් ගියද, නවසීලන්තය නිසි පාලනයකින් ඉන්දියාවට එරෙහිව පන්දු යැවීමේ සැලසුම් මනාව ක්‍රියාත්මක කළ බැවින් සියලු දෙනා ලකුණු 221කට දැවී ගියහ.

ඉන්දියාව සහ නවසීලන්තය 1987 ලෝක කුසලාන හමුවීමේදී බැංගලෝර්හිදී ලකුණු 16 කින් හා නාග්පූර්හිදී කඩුලු 9කින් ඉන්දියාව ජයගෙන ඇත. 2003 ලෝක කුසලාන තරගාවලියේදී සෙන්චූරියන්හිදී ඉන්දියාව කඩුලු 7කින් ජයගත් අතර, අනෙක් සියලු අවස්ථාවලදී නවසීලන්තයට පරාජය වී තිබේ.

කෙසේ වුවද දෙරට අතර පැවති එක්දින තරගවලදී ඉන්දියාව තරග 59ක ජයග්‍රහණ ලබා ඇති අතර, නවසීලන්තය තරග 50ක ජය වාර්තා කොට ඇත. තරගයක් ලකුණු සම වී හා තරග 7ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව තිබේ. ඉන්දියාව හා නවසීලන්තය අවසන් වරට හමු වූ එක්දින තරග 10දී නවසීලන්තය තරග 4ක ජය වාර්තා කළේය. එයින් අවසන් එක්දින තරග 4ම පිට පිට ජයගෙන ඇත්තේ ඉන්දියාව වන අතර තරග දෙකක් විසඳුමකින් තොරව නිමාවට පත් විය.

විරාත් කෝලි මෙවර තරගාවලියේ තරග 9කදී ශතක 2ක් හා අර්ධ ශතක 5ක් සමග ලකුණු 594ක් රැස් කර ගෙන ඇත්තේ සාමාන්‍ය 99ක් ලෙසිනි. අද හමු වන ප්‍රතිවාදී නවසීලන්තයට එරෙහිව මෙවර ලකුණු 95ක් ලබා ගැනීම ද විශේෂත්වයකි. නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර තරග 9කදී ශතක 3ක් හා අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 565ක් ලබා ලකුණු සාමාන්‍ය 70.63ක් රඳවා සිටී. රවීන්ද්‍ර මෙවර තරගාවලියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 75ක් ලබා ගත්තේය.

මේ තරගයේදී කෝලි දුර්ලභ වාර්තා දෙකක් කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, තවත් එක්දින ශතකයක් රැස් කළ හොත් එක්දින ශතක 50ක් රැස් කළ පළමු පිතිකරු බවට ඔහු පත් වනු ඇත. සචින් තෙන්ඩුල්කාර් සිය ක්‍රිකට් දිවියේ එක්දින තරග 463කට ක්‍රීඩා කර ඇති අතර ශතක 49ක් සහ අර්ධ ශතක 96ක් සමඟින් ලකුණු 18,426ක් රැස් කර තිබේ.

ඊට අමතරව, කෝලි තවත් ලකුණු 80ක් රැස් කළ හොත් එක් ලෝක කුසලාන තරගාවලියක වැඩිම ලකුණුලාභියා ලෙස සචින්ගේ වාර්තාව බිඳ දමනු ඇත. 2003 ලෝක කුසලාන තරගාවලියේදී සචින් ලකුණු 673ක් ලබා ගත්තේය.

ජස්ප්‍රිත් බුම්රා තරග 9කදී කඩුලු 17ක් දවාගෙන ඇති අතර, ඔහුගේ සාමාන්‍යය 15.64 කි. නවසීලන්ත වේග පන්දු යවන මිචෙල් සැන්ට්නර් තරග 9කදී කඩුලු 16ක් දවාගෙන ඇත්තේ සාමාන්‍ය 24.87ක් ලෙසිනි.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT