ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් කාන්තා විස්සයි20 තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීමට සමත් වූවාය. මෙවර බිග්බෑෂ් තරගාවලියට විදෙස් ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී අවධානයට ලක් නොවූ 33 හැවිරිදි වමත් ආරම්භක පිතිකාරිනිය අවසන් මොහොතේදී සිඩ්නි තන්ඩර්ස් පිලට තෝරා ගනු ලැබුවේ පළමුව තෝරා ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා මැරිසන් කේප් කණ්ඩායමට එක් නොවීම හේතුවෙනි. ඉන් අනතුරුව ආපසු නොහැරුණු මේ ප්‍රහාරාත්මක පිතිකාරිනිය තරගාවලියේ හොඳම ක්‍රීඩිකාවගේ සම්මානයට පාත්‍ර වූයේ තරගාවලිය අවසන් වීමටත් පෙරය. බිග්බෑෂ් තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව තෝරා ගනු ලබන්නේ එම තරගාවලියේ විනිසුරුවන්ගේ ඡන්ද විමසීමෙනි.
ඊයේ පැවැති අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන තරගයෙන් සිඩ්නි තන්ඩර්ස් පිල ඉවතට විසි වූවද, ඊයේ තරගයත් සමඟ මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම් 14කින් අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 552ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණට පත් වූ චමරි පන්දු යැවීමෙන් ද කැපී පෙනෙන දස්කම් පාමින් කඩුලු 9ක් දවාලීමට සමත් වූවාය. ඇගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙවර තරගාවලියේදී සිවුවැනි තැන අත්කර ගැනීමට ද සිඩ්නි තන්ඩර්ස් පිල සමත් විය. මීට අමතරව තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් අටේම පුහුණුකරුවන් විසින් තෝරා ගනු ලැබූ තරගාවලියේ හොඳම කණ්ඩායමට ඇය ඇතුළත් කර තිබේ. වසර 2017දී පළමුවරට මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිල නියෝජනය කරමින් බිග් බෑෂ් කාන්තා තරගාවලියට එක්වූ චමරි බිග්බෑෂ් පිටියට එක් වූ තුන්වැනි අවස්ථාව මෙය වේ.
සිඩ්නි තන්ඩර්ස් පිල බිග්බෑෂ් පිටියේ ඉහළට ඔසවා තැබූ චමරිගේ සුපිරි දස්කම් හේතුවෙන් පසුගියදා සිඩ්නි සික්සර්ස් පිල සමඟ පැවැති තරගයේදී සිඩ්නි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් ‘Chamari Bay’ ලෙස නම් කිරීමට ද එම කණ්ඩායමේ බලධාරීන් පියවර ගෙන තිබිණි. බිග්බෑෂ් පිටියේ ඇගේ දස්කම් හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන සුපර් ස්මෑෂ් කාන්තා විස්සයි20 ලීග් තරගාවලියේ 2023-24 තරගවාරයට ද ඇය තෝරාගෙන තිබේ. එහිදී ඇය නෝදර්න් බ්‍රේව් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය.