Sunday, May 19, 2024
Home » ජනපති සහ යාපනේ සිවිල් සමාජකේන්ද්‍රයේ සභාපති අතර හමුවක්

ජනපති සහ යාපනේ සිවිල් සමාජකේන්ද්‍රයේ සභාපති අතර හමුවක්

by sachintha
January 8, 2024 1:43 am 0 comment

උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක් පෙරේදා (6) පස්වරුවේ යාපනයේදී සිදු විය.

කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ සිවිල් සමාජයේ පවතින ගැටලු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, ඒ ගැටලු නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත් වී සිටින බවත්, යාපනය මඟහැර කොළඹ ජීවත් වන දේශපාලනඥයන් ඒ ගැටලුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කනගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථ් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. උතුරු පළාතේ කුල පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නැති බැවින් ගැටලු මතු වී ඇති බවද පැවසූ අරුන් සිද්ධාර්ථ් මහතා ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

එවැනි පාසල් 100ක් නම් කරන ලෙස පැවසූ ජනාධිපතිවරයා ඒ පාසල් 100 ඉදිරි මාස 6 තුළ සංවර්ධනයට පියවර ගන්නා බව මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු විය. කුල ප්‍රශ්න ඉදිරියට දමමින් මහජන ප්‍රශ්නවලට විසඳුම් නොදෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධයෙන් සොයා බලන බවද ජනාධිපතිවරයාැ සඳහන් කළේය.

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ අතුරුදන් වූවන්ගේ පවුල් බව පවසමින් සංගම් නිර්මාණය කරගෙන සිටින බහුතරයකගේ අතුරුදන් වූවන් සිටින්නේ විදේශ රටවල බවයි. ඒ සම්බන්ධයෙන් අතුරුදන් වූවන්ගේ සංගමයේ ඕනෑම අයකු සමඟ විවාදයකටද තමා සූදානම් බවත්, ඔවුන් අතුරුදන් වූවන්යැයි පවසමින් විදේශගතව සුඛෝපභෝගි ජීවිත ගත කරමින් සිටින බවත් සිද්ධාර්ථ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. යාපනය ජනතාව මුහුණ දී සිටින එහෙත් කතා බහට ලක් නොවන ගැටලු කිහිපයක් ඇතුළත් ලිපියක්ද යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ ක්‍රියාකාරීහු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT