Saturday, May 10, 2025
Home » තෛපොංගල් දා ඉංගිරියෙන් රයිගම්වත්තට නෑගමනක්

තෛපොංගල් දා ඉංගිරියෙන් රයිගම්වත්තට නෑගමනක්

by sachintha
January 18, 2024 1:00 am 0 comment

‘හැම අවුරුද්දකම ජනවාරි මාසයේ තෛපොංගල් උත්සවය මහත් ඉහළින් සමරයි. නමුත් මේ දමිළ සිරිත් විරිත් සංස්කෘතිකාංග දැකබලා ගන්නට සිංහල දරුවන්ට අවස්ථාව ලැබෙනවා නම් එය ඔවුන්ගේ ජීවිතයේ වටිනා අවස්ථාවක් වෙයි.

මේ ආකාරයට දමිළ ජනතාව සමරන තෛපොංගල් උත්සවය වෙනුවෙන් දමිළ ජනතාව වෙසෙන රයිගම්වත්තට නෑගම් ගියේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ළමා සමාජ දහයක දූ දරුවන්ය. නම්බපාන, ඉංගිරිය, වගවත්ත, නිමලගම, ගැටකොස්සාව, කැකුළදොල, මාපුටුගල හා රත්මල්ගොඩ ආදි ළමා සමාජවල සිංහල දරුවන් 80ක් පමණ ද එම වසම්වල ආර්ථික සංවර්ධන නිලධාරීන් ද මෙම නෑගමනට එක් වූහ.

ඉංගිරිය වැඩබලන ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. ළමා හිමිකම් නිලධාරී යෂිකා සමරවීර, කැකුලාදොළ ආර්ථික සංවර්ධන නිලධාරී චාරුණී නවගමුව, සංස්කෘතික නිලධාරීන් වන යොහාන් රණසිංහ සහ කෝසලා හර්ෂණී, මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරී රුවන් පීරිස් මහත්ම මහත්මීන් මෙම නෑ ගමනේ බර ඉසිලීය.

ඉංගිරිය සහකාර ප්‍රාදේශීය ලේකම් මංජුලා ප්‍රියදර්ශනි ඇතුඑ නිලධාරීන් පිරිස සහ දරුවන් උදෑසනම එකතුවුණේ මහ ඉංගිරිය බෝධිය අසලටය. ඔවුන් නෑගමනට අතිරස, කොකිස්, කැවුම්, ආස්මි, හැලප හා කෙසෙල් ආදි කැවිලි ගෙනවිත් තිබුණේ දමිළ දරුවන්ට ලබා දීමටය. සියලු දරු දැරියන් ළමා සාරි සහ ජාතික ඇඳුමින් සැරසී පැමිණ සිටියහ. එතැන් සිට හැතැප්ම දෙක තුනක් පාගමනින් ඔවුන් ගියේ රයිගම්වත්ත ශ්‍රී කුරුංගි මහා මාරිඅම්මන් කෝවිලටය. එතැනදී පොට්ටු තබා පැන් ඉස නෑදෑ පිරිස පිළිගත්තේ කුමාර ලිංගේෂ්වර කුරුක්කල්තුමන් ඇතුළු දමිළ දරුවන් විසිනි.

තෛපොංගල් උත්සවයේ සිදුකෙරෙන ආගමික වතාවත් සේම ප්‍රමුඛතාවයක් දෙමින් ඉටු කළ චාරිත්‍රයක් වූයේ කෝලම් රටා ඇඳීමය. එයින් පසුව සියලු දෙනා එක්ව සැරසිලි කොටිපොන්ගල් පානෙයි මුට්ටියක එළිමහනේ පොංගල් බත ඉව්වේය. අනතුරුව පොංගල් බත ප්‍රථමයෙන් හිරු දෙවියන්ට පූජා කර ඉන්පසුව සිංහල දෙමළ දරුවන්ට පිළිගැන්වීය.

ජාතීන් අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන තිබුණේ ඉන් අනතුරුවය. මුතු අහුර ළමා සමාජයේ පබසර සහ මලිත් ඉදිරිපත් කළ වෙස් නැටුම කාගේත් සිත් ගත්තේය. ඉංගිරිය බටහිර ළමා සමාජයේ උඩරට නැටුමත්, මාපිය වරුණ ආශීර්වාදාත්මක කවි ගායනාවත්, දමිළ නර්තනාංග මෙන්ම ගායනාවන් ඉදිරිපත් කරමින් ඔවුන් ද සභාව පිනවන්නට කටයුතු කළහ.

දහවලට හැම දෙනාටම ලැබුණේ තෝසේ සහ වඩේය. දමිළ සංස්කෘතියේ ආහාර රටාවන් ද ඔවුන්ට දැන කියා ගන්නට ලැබුණි. රයිගම්වත්ත කෝවිලේ කුමාර ලිංගේෂ්වර කුරුක්කල්තුමන් සිංහල දරුවන්ට පොංගල් උලෙළ ගැනත් සිරිත් විරිත් සංස්කෘතිකාංග ගැනත් සංස්කෘතික නිලධාරී යොහාන් රණසිංහ සිංහල සංස්කෘතිකාංග ගැනත් හරි අපූරුවට විස්තර කියා දෙන ලදි. මේ ආකාරයට පැවති ඉංගිරියේ නෑගමන හරි අපූරු සංස්කෘතික හුවමාරු මංගල්‍යයම විය.

 

අඟුරුවාතොට සමූහ – මංගල ප්‍රසන්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT