Home » මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට හර්ෂ ද සිල්වා

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට හර්ෂ ද සිල්වා

මුදල් - ක්‍රම සහ විධි කාරක සභා 2ටම විපක්ෂයෙන් පාඨලී නම් කර නෑ

by manjula
February 10, 2024 1:00 am 0 comment

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබේ.

එම කාරක සභාවට පත් කළ සමාජිකයන්ද කථානායකවරයා විසින් ඊයේ (9) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. ඒ අනුව ශෙහාන් සේමසිංහ, (වෛද්‍ය) සීතා අරඹේපොල, (ආචාර්ය) සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, (ආචාර්ය) නාලක ගොඩහේවා, නිමල් ලාන්සා, එම්.ඒ. සුමන්තිරන්, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, යූ.කේ. සුමිත් උඩුකුඹුර, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත, නීතිඥ මධුර විතානගේ සහ එම්.ඩබ්.ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරුන් මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට තිබේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා මෙවර නම් නොකිරීමට විපක්ෂය තීරණය කර තිබිණි. ඒ වෙනුවට මෙවර ඉදිරිපත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවාගේ නමයි.

එමෙන්ම ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ධුරයේ මෙතෙක් කටයුතු කළේ පාඨලි චම්පික රණවක මහතා වන අතර නව සභාවාරයේදී එම කාරක සභාවට විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති සාමාජික ලයිස්තුවේද ඒ මහතාගේ නම සඳහන්ව නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ පසුගිය 7 දා විපක්ෂනායකවරයා ඇතුළු සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාවෙන් ඉවත්ව ගියද පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් සභාවෙහි රැඳී සිටියහ.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT