Home » අඩපණ වූ ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක ණය සහන ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව පළවේ

අඩපණ වූ ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩගන්න කෝටි 2000ක ණය සහන ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව පළවේ

by sachintha
February 28, 2024 1:04 am 0 comment

අඩපණ වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා රුපියල් කෝටි 2000ක මුදලක් වාණිජ බැංකු හා බලපත්‍රලාභී මූල්‍ය ආයතන හරහා සහනදායී පොලී අනුපාතයන් යටතේ ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ. සංරචක දෙකකින් යුතු එකී ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 2000ක් යෙදවීමට නියමිත අතර, ඉන් රුපියල් කෝටි 1500ක් දැනට පවත්වාගෙන යනු ලබන සහ නව ව්‍යවසායන් ශක්තිමත් කිරීමටත්, ඉතිරි රුපියල් කෝටි 500ක මුදල අක්‍රිය ණය කාණ්ඩය යටතේ පවතින ව්‍යවසායන්ට සහාය වීමටත් යොදවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

විශාල සංචිත ප්‍රමාණයක් නොමැති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇතැම් ව්‍යාපාර වසා දමන්නත් ඇතැම් ව්‍යාපාරවල කොටස් වසා දමන්නත් සිදු වීමෙන් ව්‍යාපාර රාශියක් අඩපණ වුණ බවත් මේ තත්ත්වය පිළිබඳව මුදල් විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ජාත්‍යන්තර සංවිධානවලට කරුණු දැක්වීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුව එම ණය පහසුකම් ලබා දීමට එකඟවී තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව, යෝජිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. පවතින ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟලුම් සහ වෙනත් විවිධ වාණිජ මෙහෙයුම් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු පිරිසකට සිය ව්‍යවසායන් තවදුරටත් පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී තිබෙනවා. ඒ සඳහා සහනයක් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා කාරක ප්‍රාග්ධන සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. යෝජිත වැඩසටහන මඟින් දැනට ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කර ගැනීමට සහ ප්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය ණය පහසුකම් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා සහනදායී පොලී අනුපාත යටතේ ලබා දීමට අපේක්ෂා කරනු ලබනවා.

කොවඩ් 19 වසංගතය නිසා රට සම්පූර්ණයෙන් වසා දැමීමත් ඒ හා සමඟ ඇති වෙච්ච දැවැන්ත ආර්ථික අර්බුදයත් නිසා 2022 වසරේ දී රටේ ආර්ථිකය සෘණ 08 දක්වා ආපසු හැකිළීම සිදුවුණා. ඒ අවස්ථාවේ ඇති වුණු ඉල්ලුම් සංකෝචනයත් පිරිවැයෙන් හැදුණු විශාල උද්ධමනයත් හේතුකොට ගෙන සමහර ව්‍යාපාර ආයතන පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයට පත්වුණා. විශාල සංචිත ප්‍රමාණයක් නොමැති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඇතැම් ව්‍යාපාර වසා දමන්නත් ඇතැම් ව්‍යාපාරවල කොටස් වසා දමන්නත් සිදු වීමෙන් ව්‍යාපාර රාශියක් අඩපණ වුණා. මේ තත්ත්වය පිළිබඳව මුදල් විෂය භාර ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා ජාත්‍යන්තර සංවිධානවලට කරුණු දැක්වීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබෙනවා කෝටි 2000ක ණය මුදලක් වාණිජ බැංකු හා බලපත්‍රලාභී මූල්‍ය ආයතන හරහා සහනදායී පොලී අනුපාතයන් යටතේ ඒ අඩපණ වුණ ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා ලබා දෙන්න. දැනට අකර්මණ්‍යව පවතින ප්‍රශ්නවලට මුහුණදී තිබෙන මූල්‍ය දුෂ්කරතා ඇති වෙලා තිබෙන පවත්වාගෙන යා නොහැකි ව්‍යාපාර ආරම්භ කරන්නත් එදිනෙදා ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ දි අවශ්‍ය වන කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ඉෂ්ට කර දීම සඳහා වාණිජ බැංකු හා බලපත්‍රලාභී බැංකු වෙතින් ණය මුදලක් ලැබෙනවා සහන පොලී අනුපාතය යටතේ. බැංකුවලට එම ණය ලබා දීම සඳහා රුපියල් කෝටි 2000කට වැඩි මුදල් ප්‍රමාණයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර තිබෙනවා.

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT