Home » මහරගමදී ගරාජයක් මුවාවෙන් කළ භූගත කසිප්පු ස්කාගාරයක් වටලයි

මහරගමදී ගරාජයක් මුවාවෙන් කළ භූගත කසිප්පු ස්කාගාරයක් වටලයි

by mahesh
March 15, 2024 1:00 am 0 comment

ගරාජයක් පවත්වාගෙන යන මුවාවෙන් මහරගම පන්සල පාරේ හත්වන පටුමගේ ඉඩමක කලක සිට ඉතා සූක්ෂ්මව පවත්වාගෙන ගිය භූගත නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා එහි තිබූ ගෝඩා මිලි ලීටර් පන්ලක්ෂ හතළිස් දහසක් සමඟ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය.

පොලිසිය කියා සිටියේ, යුක්තිය මෙහෙයුම යටතේ මහරගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන් ඉදිරිසිංහ මහතාට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් ගෝඩා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බවයි.

වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරු ගෝඩා නිෂ්පාදනය කරමින් සිට ඇති අතර, එම අවස්ථාවේදී පොලිසිය දැක සැකකරු පලා යෑමට උත්සාහ කිරීමත් සමඟ ඔහු පසුපස පොලිසිය ලුහුබැඳ අත්අඩංගුවට ගෙන නිෂ්පාදනය කරමින් තිබූ ගෝඩා මිලිලීටර් 540,000ක් පොලිස් භාරයට ගත් බව පැවසේ. සැකකරු ඔහුගේ පුතාට අයත් ගරාජයක කලක සිට ඉතා සූක්ෂ්මව පොළොව යට වළලා මෙම නීති විරෝධී මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර, මෙම කසිප්පු ඉතා සූක්ෂ්මව මහරගම, මිරිහාන, බත්තරමුල්ල, කොට්ටාව, කැස්බෑව හා බොරලැස්ගමුව ප්‍රදේශවලට බෝතලයක් රුපියල් 1,200 බැඟින් අලෙවි කර තිබේ.

සැකකරු මීට පෙර අවස්ථා කිහිපයකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් වරදකරු වූ පුද්ගලයකු බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් (65) හැවිරිදි සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජන් ඉදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ (50007) කමල්සිරි, (51921) පුෂ්පකුමාර, කා.පො.සැ (55497) දීපානී, පො.කො (10715) ජයවීර, (73917) සමන්, (88199) එරංග, (92521) සමරසිංහ, (92530) මදුශංක, (100223) ජයසුන්දර, (102922) රාජපක්ෂ, (102924) කවිද ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

කොට්ටාව - ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT